කවි පොත් පිටු අතරින්

කවිය – යතුර පාපිස්ස යට  කවියා  – ඉලක්ෂ ජයවර්ධන  කවි පොත – කඩා වැටෙන තරුවක් 

ජනකවි ඇසුරින් ප්‍රේමය සහ කයිකතන්දර …….

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ කයිකතන්දර පොතෙන් ස්ත්‍රිය, සහ ප්‍රේමය ඇසුරු කරගත් කයිකතන්දර කීපයක්. 

ගමක පෙම්වතුන් දෙන්නෙක් උන්නා.  කාලෙකදි කොල්ලා වෙන ගමක තරුණියක් කැන්දගෙන ආවා. හදවත බිඳුණු ගෑණු ළමයත් ටික කාලයක් දුකින් ගත කරලා, වෙන ගමකට දීග ගියා.

ටික කාලෙකට පස්සෙ අර තරුණයා දුර ගමනක් ගියා. ඒ යද්දි, අතරමග දි රෑ වුණ නිසා නවාතැන් ගන්න ගෙදරකට ගොඩ වුණා. එතකොට තමයි දැක්කෙ, කලින් යාළු වෙලා හිටිය ගෑණු ළමය දීග ගියපු ගෙදර කියලා.

ඒ ගෙදර පිරිමියා උන්නෙ නෑ. ඉතින් අර ගෑණු ළමයත් වෙනස් කමක් පෙන්නන්නෙ නැතුව, කන්න බොන්නත් දීලා, ඉස්සර ගෙවල්වල තිබුණ නෙව උස් පිල, අන්න ඒ පිල පිටට පැදුරක් එලලා කොට්ටෙකුත් දීලා, ‌ගේ ඇතුළට ගිහිං දොර වහගත්තා.

මේ වැඩේට හිත රිදුණ අර තරුණයා සෑහෙන වෙලාවක් කල්පනා කර කර උන්නා. අන්තිමේ ගේ ඇතුළට ඇහෙන්න මෙන්න මෙහෙම කවියක් කීවා:

ආදි අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
ගොඩ නුපුරුදු – දිය නුපුරුදු සතුන් වගේ

උඹලගෙ සෙනේ හුණු නැති බුලත් විට වගේ

ඒක ඇහුණ ගෑණු ළමයා කීවා:

ආදි අපි දෙන්න දෙන්න ම තමුන්නේ
දැන්දි අපි දෙන්න දෙන්න ම අනුන්නේ
නොදැන නොවෙයි පිළ පිට පැදුර දුන්නේ
යතුර දෙන්ට මේ ගෙයි දොර අනුන්නේ

එක මනුස්සයෙක් බිරිඳක් කැන්දගෙන ආවා. ටික දවසක් යද්දි මේ කාන්තාවට බොහොම අමාරු ලෙඩක් හැදුණා. ටික දවසක් බෙහෙත් කරලා, යකැදුරුකනුත් කරලා, හොඳක් වෙන්නෙ ම නැති තැන, බිරිඳගෙ සරීරයත් වැහැරිලා ගිය තැන, අර මනුස්සයා, තමන්‌ගෙ බිරිඳ ආපහු ගෙදර ගිහින් ඇරලුවා.

තමංගෙ ගෙදර, අම්ම තාත්තගෙ සාත්තුවටයි, වෙද හෙද කමටයි ටික කාලෙකින් ම අර කාන්තාව සනීප වෙලා, හිටියා වගේ ම ලස්සන උනා. ඊට පස්සෙ වෙන දීගෙක ගියා.

දවසක් ඒ කාන්තාව තමුංගෙ අලුත් සැමියත් එක්ක නෑ ගමනක් යන ගමං, වෙලක් මැදින් ගියා. ඒ කුඹුරේ සී සාමින් හිටියා, ඇගේ පරණ සැමියා. එයා මේ කාන්තාව දැකලා මෙහෙම කිව්වා:

උදක් උදාරම් ගන රන් ලිය ගෙ හැටී
කදක් අරන් මේ වෙල දිගෙ යනෙන හැටී
ඇදක් නැතුව ඇගෙ වරලස කෙළින් සිටී
එදත් මෙහෙම වුණි නම් එක් වෙන්ට සිටී

ඒක ඇහුණු කාන්තාව කීවා:

පුන් සඳ ගැබ තුලේ රිවි නැද්ද එළි වෙලා
බිම් තැනි තලාවේ දිය නැද්ද බොර වෙලා
මන් ඇර වෙන ගෑණු ලොව නැද්ද ලෙඩ වෙලා
පුන් සඳටත් කැළලක් නැද්ද සිදු වෙලා

තමන්ගෙ ආත්මාර්ථකාමී කම නිසා ‌කෙළවීම ගැන තරහෙන් හිටි පිරිමියා ට හිතුණා, තමන් සී සාමින් හිටිය පාරත් වැරදුණාමේ ගැහැණිය දැක්ක නිසා කියලා. එයා තවත් කවියක් කීවා තරහෙන්:

ඕවිට හරහ යන්නේ මඟ පෙනීලා
පෑවිට සෙනේ විය දස අත මුදාලා
කීමට තරහ වුනේ ද මෙ නුඹ පාලා
හීවිට වැරදුනේ හැතිරිය පෙනීලා

ඒකට පිළිතුරු විදිහට කාන්තාව කීවා මෙහෙම:

එදා ඉසලු තලපත තද වැස්සේයා
එදා කළ කතා අවුරුදු ලස්සේයො
නෙතින් එන කඳුළු දඩ මඩ අස්සේයා
ඉතින් හිමි නොඑමි නුඹ පිටිපස්සේයා

තවත් වරක්, මනමාලියක් කැන්දාගෙන එනව තරුණයෙක්. මනමාලිත්, මඟුලට අන්දවපු තැලි පිළි පිටින්. ඒ අතරමඟදි නොගැඹුරු ගඟකින් එගොඩ වෙන්න තිබුණා. 

ඉතින් කට්ටිය ගඟට බැහැලා මඟක් දුර එද්දි, මනමාලි දැක්කා මනමාලයගෙ කකුල් දෙකේ ම වණවෙලා තිබුණු තුවාල. ඒක දැකලා පිළිකුල් හිතුණු ඒ තරුණිය ආපහු හැරිලා යන්න ගියා.

එයා ව නවත්ත ගන්න ගොඩක් මහන්සි වුණු තරුණයා අන්තිමේ ගඟ මැද ඉඳං මෙහෙ ම කිව්වා:

සද්ද මිණි ගිගිරි කොඩි බැඳ ආ එතනා
සිද්ද වුණු දෙයක් නැත ඇවිදින් මෙතනා
බැද්ද තනි මගයි බැසලා නොය එතනා
රෙද්ද මගේ දීලා පලයන් එතනා

ඒක ඇහුණු එතනා, මඟුල් පෝරුව මත මනමාලයා තමන්ට අන්දවපු රෙද්ද ගළවලා මේ කවිය කියමින් ගඟ මැද උන්න මනමාලයා දිහාවට විසි කළා.

සුද්ද දෙමවුපිය දෙන්නා තැනු සන්දා
ඉද්ද අත ගගා වෑයම් කළ සන්දා
බැද්ද කොළ කඩා අඳිතත් නැති සන්දා
රෙද්ද උඹේ ඕනෑ නම් ඕන් ඉඳා

ලෝක යුද්ධ කාලේ, රටේ තැන් තැන්වල වැඩ පොළවල් තිබුණා. ඒවයෙ වැඩ කරන්න පිට පළාත්වලින් තරුණයො ඇවිදින් නතර වෙලා උන්නා.

අරනෝලිස් හෙවත් අරා, එහෙම එක ගමක තිබුණු වැඩ පොළක වැඩ කළා. ඔය වැඩපොළ ගාව තිබුණා කෝපි කඩයක්. ඒ කෝපි කඩේ උන්නා ලස්සන තරුණියක්.

ඔය කියන කඩේට හවස් අතේ ගිහින් බුලත් විටක් හපලා, කෝපි එකක් බොන්න වැඩපොළේ තරුණයො පුරුදු වෙලා උන්නා. අර තරුණියගෙ හිත ගියේ ඔය කොල්ලො අතරින් අරා ට.

ඒත් ඉතින් ගෑණු ළමයි තමන්ගෙ කැමැත්ත කෙලින් ප්‍රකාශ කරන්නෙ නෑනෙ. ඉතින් අරාට ඒක තේරුණේ නෑ. මිනිහා ටික කාලෙකින් ඔය වැඩපොළෙන් අස්වෙලා ගමට ගියා.

ඉතින් අර ගෑණු ළමයට හරි ම දුකයි. ඒත් අරා හොයාගෙන යන්න පුළුවනෑ. ටික කාලයක් දුකෙන් ගත කරලා, දුක දරාගන්න ම බැරි තැන එයා කවියක් ලියලා, අරා ට ලියුමක් යැවුවා. මේ තියෙන්නෙ ඒ කවිය:

බුලත් විටක් කන්න පහුගිය දවස්වල ඉඳ හිටලා මෙහෙ ආව ගිය අරෝ
මට නම් උඹ නොදැක ඉන්ට බැරෝ
නිවාඩුවක් නැත්නම් නිවාඩුවක් අරගෙනවත් මෙහෙ ඇවිත් යන්ට වරෝ
නැත්නම් මා මැරෝ

ඒ ලියුමෙ පාතින් ලියලා තිබුණා, පද දෙකක් කොට උනේ, අනික් පද දෙක දිග වුණ නිසා ය කියලා.

රංචාගොඩ පුංචි මහත්තයා ඉහළ යැයි සම්මත කුළයක තරුණයෙක්. එයා රදා පවුලක තරුණියකට ආදරය කළා.  එයාගෙ වැඩිහිටියෝ මොන විදිහට උත්සාහ කළත් මේ සම්බන්ධය කඩා දමන්න බැරි උනා. අන්තිමේ වැඩිහිටියො ටික එකතු වෙලා, බලි යාගයක් කරන්න ලෑස්ති කළා.

බලිය පටන් ගන්න ලෑස්ති වෙලා ආතුරයා හොයන කොට, එයා අර පෙම්වතියගෙ ගෙදර බව දැනගන්න ලැබුණා. ඉතින් පණිවිඩ කාරයෙක් යැව්වා එයාව එක්කරගෙන එන්න. 

රංචාගොඩ පුංචි මහත්තයා කවියක් ලියලා අර පණිවිඩ කාරයා අතේ මහගෙදරට එව්වා.

නුසුපුදිලී ළතඹුරුවන් පැහැය දිලී
පැ කොඳදලී ඇගෙ ගහනත දෙමට මලී
ලු කළහෙළී අඳුරටවන් සඳසෙ දිලී
මෙ සළු කෙලී ඇරලා මට කුමන බලී

මේ කවිය කියවලා බලපු එයාගෙ වැඩිහිටියො, අහල එව්වා, “අම්මප උඹට කිළුටු නැද්ද ඔය රදා ගෙදර ලගින එක?” කියලා. ඒකටත් පුංචි මහත්තයා තව කවියක් ලියල එව්වා…

උවනත් සපිරි සඳ වරලස හේම කුළ
කොඳ දත් කැකුළු තුඟු පියයුරු හේම කළ
ලොබ සිත් වඩන දුටු සළු ලිය නාඳු ගළ‍
සිඹිතත් කිළුටු නැත සුසිලිටු නබී මුළ

ඩ්‍රැකීගේ අඩවිය – https://drackey.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගැනුනකි.

වැල කෑ පබිලා

මෙන්න ඔහු දවසක් කී කථාව. අහගන්න.

“තොසින් වසන හේනේ දැන් කාලේ

ඉසන් අප්පුගේ පුත් මම පබිලේ

ගසින් වැටුණු වැල කුණකට ආලේ

අසන්න මහතුනි මට වුනු අවුලේ

ලාබෙට ලැබුනට පුහු පොල් කෑවා

ඒපිට වැල කුණකුත් ඇද       බෑවා

මේවට බඩ පුම්බාගෙන        ආවා

කෑමට නරකයි කොයිවත්   මේවා

ගහේ තිබුණු කුණු වැල ගෙඩියකට වෙලා   ඔට්ටු

රහේ ඉඳන් හොඳයි කියා ඔක්කොම කලෙ තට්ටු

ඔහේ ඉතින් බඩ පිපුනයි ගෙඩියක් සේ        පිට්ටු

කොහේ ගියත් වැල නොකන්න එදා          වුනයි මට්ටු

රෝගේ තදවී හැදුනයි         වමනේ

වාගේ බෙර ගෙඩියක් බඩ   පිපුනේ

මාගේ ලොකු අයියගේ කර පිටිනේ

මෝගේ ගෙදරට කෙරුවයි ගමනේ

තාත්තා ඇයි බොල ආවේ ඇහුවා

බේත් ගන්න මම ආවයි       කීවා

සාත්තුවට කවුරුත් නැත     කීවා

මාත් ඔහේ වැටිලා         බුදියෑවා

තුන් වේලක් ලුණු කැඳටම      වේලුනි

ඉන් මගේ පණ ටික යාන්තම් බේරුනි

ඔන්න ඉතින් මේ වුන දේ       අහමිනි

කන්ට එපා කුණු වැල හෙම   මහතුනි”

දයානන්ද ගුණවර්ධනයන්ගේ “ආනන්ද ජවනිකා” නාට්‍යයෙන්

රචනය: ශ්‍රීමත් ඩි. බී. ජයතිලක

චරණ රූපවාහිනියේ ගී ලන්කාරේ වැඩසටහනේදී රොඩ්නි වර්ණකුල මහතා එය ගායනා කල අයුරු

https://drackey.blogspot.com/2023/10/blog-post_21.html

ලිව්වෙ ඩ්‍රැකී විසින් October 21, 2023 

සේයාරූ –  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *