කැනඩාවේ කවි සිතුවිලි

දැනෙනවා මට නුඹව.

හැරගියා නොව තවම

හදවතේ තත් අතර

නුඹ තවත් මිලින වි

ඉන්නවා නිදි නැතිව

ප්‍රේමයේ රන් පහස

දුන් නුඹට මං නිතර

ලං උනා සිහි නැතිව

රැයපුරා සද කුමට

අඩ අදුරේ සද සිත

මට මගේ නෙතු අගට

ලංකලා නුඹේ‍ සුවද

සිපගන්න බැරි කමට

ශ්‍යාමලී ගමගේ.

Brampton – Canada

සිනමා සිත්තමක්……..

කාලය ගෙවී අඩ සියවස ලබන             විට

මිතුරන් පිරිවරන්නට වැට කඩොලුත්    එමට

ගිම්හානයට පරිසරයම වෙනස්          කොට

පරිසරයම සුබ පැතුමක්  ගෙනේ          අපට

ඇවිදන් ගිහින් ජීවිතයේ නෙක            යුගය

නෙක ගව් ගෙවා එතෙරක ඇරබුණු     දිවිය

දරුවන් වඩා දුක සිරකල ඒ              සමය

සිනමා සිත්තමක් සේ දිස්වෙයි නැත   සැකය

ආ ගිය තැන් සේම කල කී හැම           දේම

කාලය එක්ක වී වෙනසක්             හැමදාම

පෝරුවේ බැදුණු අතැගිලි තිබෙනා       සේම

සක්මන් ගමන් ඉදිරියේදී වෙයි           කෝම

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

පොසොන් උදාන  

අරුණු  ප්‍රභා දම් රැස් අනුබුදු              වඩින

පිරිණු   තරිඳු පායා මිස්සක             සොබන

දරුණු  කෝප මද රෝ බිය සිත්           සතන

තුරුණු සිහිල් මෙත් ගුණ දහරින්         නිවිණ

දද  ලෙළ පොසොන් පෝදා මෙත් සිසිල  හමා

සිත්  තුල පිරුණු බිය සංකා කෙලෙස්     නිමා

බිඟු  රළ විලස සිව් දිග ඇදි සිරස        නමා

දන කැළ රකිති වෙහෙරේ සිල් සුවය      අමා

ඉසිරි  මිනිස් ගුණ දම් සිහිලෙන්     තෙමෙනා

විසිරි  මල් සුවඳ සිල් සුවඳේ           එතෙනා

අසිරි  පොසොන් සිතුවම් මිහිමත    ඇඳෙනා

සසිරි  දැයක සෙනෙහස් මල් යළි     පිපෙනා

ළකල් කැකුළු එළිවැට මද නල       එතෙනා

අගිල්  කපුරු සුවඳේ බෝපත්         සැලෙනා

සුනිල්  නෙතින් බුදුරැස් ලෝ සත        නිවනා

සියල්  සතට දළදා සමිදේ               සරණා

දොන් සුසිල් ප්‍රේමරත්න 

Ottawa – Canada

අමිල සෙනෙහස 

දැනි සෙනෙහසට පණ පෙව් ජීවිත     අඹරේ

මගෙ සුදු මැණික නුඹ විය දියබිඳ    කතරේ

ගත අඩපනව මියැදෙන අනියත        සසරේ

විඳි පෙම් සුවඳ සුරැකිව ඇත හද    ගැඹරේ

දරු මුණුබුරන් හා සතුටින ගත        කෙරුව

දින අවසන්ය උන් හට ඇත ලොව       හුරුව

අප හට අපව හිමිවිය සෙනෙහස        දැරුව

යමු ඉදිරියට පැදගෙන යලි දිවි           ඔරුව

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

දස්කොන්ට වැරදුණා 

දස්කොන් උඹට වැරදුණු බව   සැබෑවකි

ඉක්මන් ගමන් ගොස් යළි නේනා    බවකි

ලපයෙන් කිනම්  කාරි ද රජ හිත    ගලකි

මැටියෙන් තැනූ රුව කෙරුවේ  විනාසෙකි

සිර ගත කරපු ඔබ ලියු කවි       පන්තියට

එය හසුවුණා සොර සතුරන්ගේ      ඇසට

ලෙව්කේ රාළ හැංගුව හින්දා         උඹට

රජුගෙන් සමාවත් අහිමිව ගිය        කලට

අවසන පාළු රජ මැදුරේ කවි          ලියමි

කකියන වේදනාවෙන් මා කඳුළු      බොමි

එළිවුණ පෙමක නින්දාවෙන් දිවි     ගෙවමි

ලප නැති භවයක දි ඔබ හා එකතු   වෙමි

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

අසිරිය ලංකාවේ

සිටියත් කැනඩාවෙ  බැහැරව   ලංකාවේ

සිතිවිලි සැරිසරයි නිතරම        ලංකාවේ

ඇස් දෙක පෑදුවේ මව්බිම        ලංකාවේ

අමතක කළ හැකිද අසිරිය      ලංකාවේ

සිවුපා සතුන් වසනා වන උයන්        ඇත

ගංගා වැව් පොකුණු ජලයෙන් පිරී    ඇත

අව්ව වැස්ස දෙක නොඅඩුව ලැබී    ඇත

සරු පොළවක්ය රට වට කර මුහුද  ඇත

ශීතල ඇතත් හිම වරුසා කොහෙත් නැත

උණුසුම ඇතත් ගිනි කඳු පිපිරිලා     නැත

සාගිනි ඇතත් ඉන් මියගිය කෙනෙක් නැත

හෙළබිම තරම් සම්පත් පිරි රටක්   නැත

රට මැද කඳුකරය කවදත්        සුන්දරය

දිය ඇලි රැසක් ගෙනදෙයි පිරිසිදු    ජලය

සරල ජීවිතය ඇත්තේ              පිටිසරය

රැකගතයුතුම දෙය වෙයි ලක්    පරිසරය

සිසිල් මාන්නප්පෙරුම 

Brampton – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *