කැනඩාවේ කවි සිතුවිලි

ඒ ඔබයි …….

සඳ රෑ  යාමයේ 

සල රූ පෙරහැරේ 

සිහිනයේ මතුවුනේ 

ඔබයි 

වැහි පොදේ මතුවෙලා 

සිත මගේ කැලබුවේ 

දේදුන්න වාගේ 

තමයි 

රැළි නගා දිය මතින් 

ඇදි ඉරක් වන් ලෙසින් 

පාවෙලා ගිය බවත් 

සැබැයි 

තිස් වසක් ගිය නමුත් 

සයනයේ සිහිනයේ 

ඉදහිටක යලි රැදී 

ඉන්නවා නම් තමයි 

රැළි ගැහුණු කම්මුලෙන් 

සුද පෙනුණු කෙහෙ රොදින් 

මුහුණු පොත් පිටු තුලින් 

මතුවෙවී යන බවත් හැබැයි 

උගුරටත් හොරකමින් 

බොන බෙහෙත් වඩි ලෙසින් 

ඇවිද යන මතකයන්  

හරි හැඩයි 

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

තල් අරඹට යළි කළුවර      

ගිලන් ඇඳ මගෙ වැලපෙනා සඳ 

තල් වැටත් සුළඟට ගියා 

දෙවියො ඉදිරියෙ සලෙලු ඇවිදින්

ඉතිරි ඇහැ ගලවං ගියා…..

තලා පොඩි කර හුස්ම හිර කර

සුදු ගව්ම ඉරලා තියා                  

ඇයයි මගෙ දුව අම්ම ගේ රුව

යළි දකින්නට නැති කළා…..

අළුයමේ පොත් කියවලා

වෙද නලා සිත්තම් කළා 

උදෑසන මගෙ මුව දොවා

දෙදෙන දෙවි නිති නැමදුවා…..

නොනවතින ගිය ගමන නැවතුනෙ

දෙවඟක රුව ගත් නිසා

දෙවියනේ ඔබෙ දෑස කුමට ද

මගේ ඇහැ ගලවං ගියා….. 

ඩොලර් කොල බර තුළාවට ගිය 

විත්ති යේ පස යට ගියා 

කඳූළු බර උනුසුම් වෙලා              

වලාකුළකට එක්‌ වුනා…..       

           

 නිමල් රත්නායක 

වියපත් සෙනෙහස 

ගරා වැටුණු මගේ නිවහන – එදා තිබුණු සෙනෙහස් බැමි 

කඩා වැටී වහලේ උළු – කරදර වැස්සෙන් තෙමුණා

ඔබේ සිනා මැකී ගිහින් – බොර වූ සුදු බිත්ති පුරා 

සදාකාලිකයි සිතූ – සෙනෙහස් දොර වැහුනා

එදා වගෙම ඉදෙන බතක – උණුහුම විඳගන්නට බෑ

ලිප් බොක්කේ වයිරා – උණුහුමට නිදනවා

මිදුලේ මල් පැල වෙනුවට – වල් පැල වැවිලා සිතුලෙස 

දෙවොලේ මැටි පහන් බිඳී  – අඳුර රජ වෙලා 

මැණිකේ නුඹ සෙනෙහස් තෙල් – සුවඳ අරන් වඩිනු මැනවි

පහන් පැළට පත්තිනි දෙවි – බැල්ම හෙළනවා

අපේ දරුපැටව් වැඩි නෑ – උන්ගේ කුසගිනි පුරවන

සදාතනික සෙනෙහස – තවමත් දළු ලනවා

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

තප්පරේ.. කප්පරක්..

තප්පර කටුවත්..

අඩුවැඩි කරමින්..

හදගිණි ලැවිවා..

මතකය අවුලින්..

නුපන් හෙට ගැන..

ලියනා වදනින්..

හිරකර හසරැල්..

වැලලුවා කදුළින්..

සිපගනු වරදට..

මා දන් අයුරින්..

වගකිව යුතු නැත..

තප්පර කටුවෙන්..

ශ්‍යාමලී ගමගේ..

Brampton – Canada

සඳු එපා මගෙ ලොවට

 මැවු සිහින පොද තාම තනි රකියි මගෙ          හදට

ළඟ දැවටි කියු කතා සිහිව එයි දැනි             පෙමට

දින ගණන් මඟ බලා සිටිමි එන තුරු              පැලට

යලි දකින තුරු ඔයා මොටද පුන් සඳ            මෙමට

බැඳි සෙනෙහෙ බොඳ නොවෙයි සතුටකිය    ලන්වීම

යලි යලිත් දකින්නට මඟ බලයි                 තුන්යාම

නුඹ එදා මගෙ හිතත් රැගෙන ගිය             හින්දාම

ළය දවයි දරාගනු හැකිද මෙම                වෙන්වීම

මටම පමණක් උරුම බවකි හද         කොඳුරන්නෙ

උණු කඳුළු බිඳු ඔහේ නෙතු කොනෙහි    නළියන්නෙ

අද හෙටම එයි කියා දුකද තුනි             කරගන්නෙ

මදනලක ඔතා එව් හාදුවයි                  එයදන්නෙ

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *