දැනෙනවා මට නුඹව.
හැරගියා නොව තවම
හදවතේ තත් අතර
නුඹ තවත් මිලින වි
ඉන්නවා නිදි නැතිව
ප්‍රේමයේ රන් පහස
දුන් නුඹට මං නිතර
ලං උනා සිහි නැතිව
රැයපුරා සද කුමට
අඩ අදුරේ සද සිත
මට මගේ නෙතු අගට
ලංකලා නුඹේ සුවද
සිපගන්න බැරි කමට
ශ්‍යාමලී ගමගේ.
Brampton – Canada
සිනමා සිත්තමක්……..
කාලය ගෙවී අඩ සියවස ලබන විට
මිතුරන් පිරිවරන්නට වැට කඩොලුත් එමට
ගිම්හානයට පරිසරයම වෙනස් කොට
පරිසරයම සුබ පැතුමක් ගෙනේ අපට
ඇවිදන් ගිහින් ජීවිතයේ නෙක යුගය
නෙක ගව් ගෙවා එතෙරක ඇරබුණු දිවිය
දරුවන් වඩා දුක සිරකල ඒ සමය
සිනමා සිත්තමක් සේ දිස්වෙයි නැත සැකය
ආ ගිය තැන් සේම කල කී හැම දේම
කාලය එක්ක වී වෙනසක් හැමදාම
පෝරුවේ බැදුණු අතැගිලි තිබෙනා සේම
සක්මන් ගමන් ඉදිරියේදී වෙයි කෝම
රුවන් හරිස්චන්ද්‍ර
Toronto – Canada
පොසොන් උදාන
අරුණු ප්‍රභා දම් රැස් අනුබුදු වඩින
පිරිණු තරිඳු පායා මිස්සක සොබන
දරුණු කෝප මද රෝ බිය සිත් සතන
තුරුණු සිහිල් මෙත් ගුණ දහරින් නිවිණ
දද ලෙළ පොසොන් පෝදා මෙත් සිසිල හමා
සිත් තුල පිරුණු බිය සංකා කෙලෙස් නිමා
බිඟු රළ විලස සිව් දිග ඇදි සිරස නමා
දන කැළ රකිති වෙහෙරේ සිල් සුවය අමා
ඉසිරි මිනිස් ගුණ දම් සිහිලෙන් තෙමෙනා
විසිරි මල් සුවඳ සිල් සුවඳේ එතෙනා
අසිරි පොසොන් සිතුවම් මිහිමත ඇඳෙනා
සසිරි දැයක සෙනෙහස් මල් යළි පිපෙනා
ළකල් කැකුළු එළිවැට මද නල එතෙනා
අගිල් කපුරු සුවඳේ බෝපත් සැලෙනා
සුනිල් නෙතින් බුදුරැස් ලෝ සත නිවනා
සියල් සතට දළදා සමිදේ සරණා
දොන් සුසිල් ප්‍රේමරත්න
Ottawa – Canada
අමිල සෙනෙහස
දැනි සෙනෙහසට පණ පෙව් ජීවිත අඹරේ
මගෙ සුදු මැණික නුඹ විය දියබිඳ කතරේ
ගත අඩපනව මියැදෙන අනියත සසරේ
විඳි පෙම් සුවඳ සුරැකිව ඇත හද ගැඹරේ
දරු මුණුබුරන් හා සතුටින ගත කෙරුව
දින අවසන්ය උන් හට ඇත ලොව හුරුව
අප හට අපව හිමිවිය සෙනෙහස දැරුව
යමු ඉදිරියට පැදගෙන යලි දිවි ඔරුව
දර්ශනි රූපසිංහ
Hamilton – Canada
දස්කොන්ට වැරදුණා
දස්කොන් උඹට වැරදුණු බව සැබෑවකි
ඉක්මන් ගමන් ගොස් යළි නේනා බවකි
ලපයෙන් කිනම් කාරි ද රජ හිත ගලකි
මැටියෙන් තැනූ රුව කෙරුවේ විනාසෙකි
සිර ගත කරපු ඔබ ලියු කවි පන්තියට
එය හසුවුණා සොර සතුරන්ගේ ඇසට
ලෙව්කේ රාළ හැංගුව හින්දා උඹට
රජුගෙන් සමාවත් අහිමිව ගිය කලට
අවසන පාළු රජ මැදුරේ කවි ලියමි
කකියන වේදනාවෙන් මා කඳුළු බොමි
එළිවුණ පෙමක නින්දාවෙන් දිවි ගෙවමි
ලප නැති භවයක දි ඔබ හා එකතු වෙමි
කුසල හාමුදුරුවෝ
Brampton – Canada
අසිරිය ලංකාවේ
සිටියත් කැනඩාවෙ බැහැරව ලංකාවේ
සිතිවිලි සැරිසරයි නිතරම ලංකාවේ
ඇස් දෙක පෑදුවේ මව්බිම ලංකාවේ
අමතක කළ හැකිද අසිරිය ලංකාවේ
සිවුපා සතුන් වසනා වන උයන් ඇත
ගංගා වැව් පොකුණු ජලයෙන් පිරී ඇත
අව්ව වැස්ස දෙක නොඅඩුව ලැබී ඇත
සරු පොළවක්ය රට වට කර මුහුද ඇත
ශීතල ඇතත් හිම වරුසා කොහෙත් නැත
උණුසුම ඇතත් ගිනි කඳු පිපිරිලා නැත
සාගිනි ඇතත් ඉන් මියගිය කෙනෙක් නැත
හෙළබිම තරම් සම්පත් පිරි රටක් නැත
රට මැද කඳුකරය කවදත් සුන්දරය
දිය ඇලි රැසක් ගෙනදෙයි පිරිසිදු ජලය
සරල ජීවිතය ඇත්තේ පිටිසරය
රැකගතයුතුම දෙය වෙයි ලක් පරිසරය
සිසිල් මාන්නප්පෙරුම
Brampton – Canada