මීට අවුරුදු 15-20 ක කාලයක් පටන් මට එතුමා මුණ ගැසී තිබුනත්, කතාබහ කිරීමේ අවස්ථාව ලැබුනෙ දැනට අවුරුදු දහයකට පෙර මිසිසාගා විහාරස්ථානයේ වැඩිහිටි සුහද හමුවේදී. ඉතාමත් සුහදශීලී සහ ප්‍රියමනාප පෙනුමක් ඇති ඔහු මා ලඟට විත් මගේ ඉතාමත් වයෝවෘධ මවගේ සුවදුක් විමසූ ආකාරය මට අද වගේ මතකයි. ඔහු කිහිප විටක්ම, මගේ මෑණියන් රැකබලා ගැනීම පිළිබඳව මට අනේක වාරයක් ප්‍රශංසා කලා.
කෙටියෙන් කියනවා නම් සමහරු ඔහුව නම්කරන “කැනේඩියානු ශ්‍රී ලාංකිකයින්ගේ පියා” යන සමාජ විරුදාවලිය එතුමා සමාජයට ඉටු කල සේවාවට සාධාරණ යෙදුමක්. මේ වනවිට සෞඛ්‍ය උපදෙස් මත වැඩිහිටි නිවාසයක නේවාසිකව ජීවිතයේ සැදෑ සමය ගෙවන ඔහුගේ සේවය ජාති, ආගම් බේදයකින් තොරව සෑම කැනේඩියානු ශ්‍රී ලාංකික සහ වෙනත් ජන කොට්ඨාශයන්ටම ලැබුනු හැටි අපි අත්දැක තිබෙනවා. විශේෂයෙන්ම කැනඩාවට පැමිණි අළුත් සංක්‍රමණිකයින්ට අලුත් පරිසරයකට හුරුවීමට අත හිත දීම, ප්‍රවාහන පහසුකම් ලබාදීම, මත් ද්‍රව්‍ය , අනිසි සබඳතා වැනි සමාජ උවදුරු වලින් පීඩා විඳි පවුල්වලට විසඳුම් ලබා දීම, රජයේ කටයුතු වලදී විහාරස්ථානය නියෝජනය කිරීම වැනි දේ ඔහු අතින් සිදු වූ සමාජ මෙහෙවර අතරින් කිහිපයක් පමණයි. එදාවේල ගැටගහගෙන තමන් යහපත් ජීවිතයක් ගෙවන බහුතර පිරිස අතරේ මෙවැනි උත්තරීතර මනුෂයයින් බිහිවීමත් ඉතාමත් විරලයි. තරුණ පරපුරටත්, වැඩිහිටි පරම්පරාවටත් මෙවැනි උදාර සේවාවන් ආදර්ශයට ගැනීම සඳහා ඇලෝයි පෙරේරා මහතා වැනි පුද්ගලයන් ගැන ඩිජිටල් අවකාශයේ ලේඛන ගත කිරීම අත්‍යවශය බව මම තරයේ විශ්වාස කරනවා. කෙනෙකු මිය ගිය පසු සියයක් ගුණ ගායනා කිරීමට වඩා ඔහු ජීවත්ව සිටියදී ඔහු හෝ ඇය අගය කරමින් එක් සටහනක් ලියා තැබීම වටිනවා කියා සිතන්නේ ඒ නිසා. මේ සටහන එතුමාට උපහාරයක්ම වේවා.
එකල හංවැල්ල නමැති ඉතාමත් සුන්දර ගම්මානයේ ,මධ්‍යම පාංතික බැතිමත් කතෝලික පවුලක 1939 වසරේදී උපත ලැබූ ඔහු තම මූලික අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයෙන්. සාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු වූ සාහිත්‍යධර දොන් පීටර් පියතුමා ඔහුට ගුරුවරයෙක් පමණක් නොව ඔහුගේ සමීපතම උපදේශකවරයාද උනා. ඇලෝයි මහතා ගේ මුළු ජීවිතයම හැඩ ගැස්වීමට මේ දොන් පීටර් පියතුමා සහ ඔහුගේ පවුල් පසුබිම බලපාන්නට ඇත කියා හිතෙනවා . ඔහු උගත් පාසැල St. Peter’s college එක ගැනත් යමක් කිව යුතුමයි. බොහෝ විට මෙවන් මානවවාදී පුද්ගලයින් ගම්බද පාසැල් ආශ්‍රිතව මිස මෙවැනි නගරයේ පිහිටි තරු පහේ පාසැල්වලින් බිහිවන්නේ නැහැ. ඒ නිසා නේවාසික සිසුවෙකු ලෙස බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයෙන් එතුමා ලද ශික්ෂිත ගති ලක්ෂණ එකල පැවති විනය ගරුක අධ්‍යාපනය පොත පත දැනුමට වඩා පිරිපුන් මිනිසුන් බිහි කිරීමට ඉවහල් වූ බව විදහා දක්වන ජීවමාන සාක්ෂියක් ලෙස ඒ පාසැලට සුවිශේෂ ගෞරවයක්ද ලබා දෙනවා.
ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේ බොරැල්ල ඇක්වයිනාස් විද්‍යාලයෙන්. ඉන් පසුව කලක් ඔහු එහි ගුරුවරයෙක් ලෙසද සේවය කලා. එවකට කොළඹ තිබු ” ශ්‍රී ලංකා සමාජ සේවා විද්‍යාලයෙන් “, (දැන් “ජාතික සමාජ සoවර්ධන ආයතනය,” NISD) “සමාජ වැඩ” පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Social work) හදාරා අනතුරුව වෘත්තීය සමාජ සේවකයෙක් ලෙස ජීවිතයේ නව පිටුවක් ආරම්භ කලා.
විශේෂයෙන්ම, පාසැලේ සිටම ලබාගත් ඉංග්‍රීසි භාෂාව ලිවීමේ, කියවීමේ හැකියාව වගේම පාලි, සහ සිංහල භාෂා පිළිබඳ ගැඹුරු දැනුමකුත් ඔහු සතුව තිබුනා. ඊට අමතරව ඔහු දෙමළ භාෂාව සහ සංස්කෘත භාෂාවත් ප්‍රගුණ කර තිබීම ඔහුට ආභරණයක් උනා. ඔහුගේ මේ බහු භාෂා දැනුම ලේක් හවුස් ආයතනයට බැඳී Daily News, Observer වැනි පුවත්පත්වලට වාර්තා කරුවෙකු ලෙස සේවය කිරීමේදී මහත් පිටිවහලක් උනා.
ඒ වකවානුවේදීම, ඔහුගේ පවුලේ අයට ඔහුව පූජකවරයෙක් කිරීමට තිබූ අවශ්‍යතාව හේතුවෙන් ඔහු දේවාස්ථානයට සම්බන්ධවී ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරමින් සිටියා. මේ සඳහා කල යුතු ප්‍රධානම කාර්ය වූයේ දේව ධර්මය ගැඹුරට හැදෑරීම. මීට අමතරව, ඔහුට පල්ලිය මඟින් අනික් ආගම් පිළිබඳවත් අධ්‍යනය කරන්නට ලබා දුන්අවස්ථාව, බෞද්ධ දර්ශනය පිළිබඳව හැදෑරීමට ඔහු පෙළඹුවා. ඔහු දේව ධර්මය ගැඹුරට හැදෑරීමට අමතරව, පල්ලියේ ගීතිකා කණ්ඩායමටද සම්බන්ධ වී තිබුනේ ඉතා කැමැත්තෙන්. මේ අතර, ඇලෝයි මැතිතුමාට වතිකානුවට යෑමට ලැබුණු අවස්ථාව දේවාශීර්වාදයක් වී දැයි සැක සිතෙනවා. වතිකානු දේවස්ථානයේ පහත මාලයේ තිබූ ත්‍රිපිටක ලිපි ශීර්ෂ, ඔහුව මවිත කලා පමනක් නෙවෙයි, ඔහුගේ දාර්ශනික බුද්ධියේ හැරවුම් ලක්ෂය බවටද පත් උනා. ඒ සමඟම, දෛවය විසින් ඒ ලිපි ලේඛන ඔහුගේ ගමන් මඟ වෙනස් ආරකටම යොමු කලා. ආපසු ලංකාවට පැමිණි පසු ඔහු බෞද්ධ දර්ශනය ගැඹුරින් හැදෑරීමත්, භික්ෂු වන්සේලා ඇසුරු කිරීමත් කලේ ඒ නව ජීවිතය අරමුණු කරගෙනයි.
බොදු දහමට මෙන්ම කිතුණු දහමටද ඔහු තුල තිබෙන්නේ සැබෑ භක්තියක්. පසු කාලයේ කිතුනු බැතිමත් ඔහුගේ දියණිය නිරන්තරයෙන්ම පල්ලියට රැගෙන යාම ඔහු කිසි දිනක අතපසු නොකල බව, ඔහුගේ බිරිඳ සාවිත්‍රි සඳහන් කිරීම ඒ භක්තිය සනාථ කරනවා.
ඔහු කැනඩාවේ මොන්ට්‍රියල් නගරයට සංක්‍රමණය වී තිබෙන්නේ 70 දශකයේදී. ඔහු එහි ගතකල අවුරුදු 4-5 ක් ඇතුලත ප්‍රාදේශීය පුවත් පතකටත් එකතුවී කටයුතු කල බව කියැවෙනවා. කොතැනක හිටියත් ඔහු නොවරදවාම, පන්සල් සමඟ ඇසුර ඉතා ප්‍රබලව කරගෙන ගියා.
1970 ගනන් වල තිබූ Sri Lanka Sports Club. සංවිධානය, පසු කලෙක නම් වුනේ Canadian Sri Lankan Association-CSA නමින්. එයට බැඳුනු ඔහු, පසු කලෙක ලේකම්වරයා බවට ද පත්වී සංගමයේ ප්‍රවෘත්ති පත්‍රය (Newsletter) දියත් කිරීමටත් මූලික උනා. එහි මූලික අරමුණ කැනඩාවට අලුතින් එන සංක්‍රමණිකයින්ට අවශ්‍ය තොරතුරු සැපයීමයි. කැනඩාවේ ප්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදන ආයතනයක විවිධ නිලතල දරමින් අවුරුදු විස්සකට වඩා වැඩි කලක් රැකියාව කලත් ඉඩ ලද හැම විටෙකම ඔහු විවිධ සමාජ මෙහෙවරවල යෙදුනා. ඔහු ප්‍රධාන වශයෙන්ම දායකත්වය සැපයුවේ ලංකාවෙන් පැමිණෙන නවක පුද්ගලයින්ට උපකාර කිරීම සහ අවශ්‍ය තොරතූරු සැපයීමට. මේ උපකාරවල ප්‍රධාන තැනක් ගත්තෙ අනිකුත් අය කරන්නට පැකිලෙන වෛද්‍යවරයෙක් හමුවට යන්නට, ගෙදරට බඩු ගෙන එන්නට ප්‍රවාහන පහසුකම් සැපයීම වැනි දේ . නගරවල අද මෙන් දියුණු බස් සහ කුලී රථ සේවා නොමැති අන්තර්ජාල සහ ස්මාට් ජංගම දුරකථන නොමැති එකල එවැනි උදව්වක් අළුතින් පැමිණි අයට මිල කල නොහැකි අස්වැසිල්ලක් වූ බව පැහැදිලියි.
දකුණු ආසියානු ප්‍රජාව සමඟ තිබූ සමාජ සම්බන්ධතා, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා දැනුම සේම කැනඩාවේ නීති පද්ධතිය පිළිබද දැනුවත් භාවය නිසාම මිසිසාගා බෞද්ධ විහාරයේ කුළුගම්මන ධම්මාවාස ස්වාමීන් වහන්සේගේ නිල නොලත් ලේකම් ලෙස එතුමා කටයුතු කලා. කැනේඩියානු රජයේ, ඔන්ටේරියානු රජයේ, සහ විශ්ව විද්යාලවල උසස් නිලධාරීන් සමඟ විශ්වාසනීය බැඳීම් ජාලයක් ඇතිකර ගෙන තිබුණු නිසා ඒ රාජකාරී කටයුතු සඳහා ලාංකික සමාජය නියෝජනය කිරීම, රජයේ කටයුතුවලට විහාරස්ථානය වෙනුවෙන් පෙනී සිටීම ඇලෝයි මහතා සිදු කලේ ස්වේච්ඡාවෙන්.
ප්‍රථම වතාවට ටොරොන්ටෝ නගරයෙන් ගුවන් ගත වූ නෙවිල් හීතාවකගේ මහතා සම්පාදනය කළ “ශ්‍රවණ රමණී” නම් New York නගරය දක්වා විකාශය වූ ගුවන් විදුලි වැඩසටහන දියත් කිරීමට සරත් චන්ද්‍රසේකර සහ බන්දුල රුවන්පුර මහත්වරුන් සමග ඇලෝයි පෙරේරා මහතා ද සහභාගී වුනා. අපූර්වතම දේ ඒ වැඩසටහන පටිගත කරන ලද්දේ ද්‍රවිඩ ජාතික කෝනේශ්වරන් මහතාගේ බිම් මාලයේ තිබූ පුද්ගලික මැදිරිය තුලදී වීමත්, කෝනේශ්වරන් මහතා එයට කිසිම බර පැණක් අය නොකිරීමත්ය.
සංගීතයට ඇලුම් කල ඇලෝයි මහතාට සිංහල සහ ඉංග්රී සි භාෂා දෙකෙන්ම ගායනා කිරීමේ හැකියාවක් තිබුනා. මඩවල පුන්නජී ස්වාමීන් වහන්සේගේ සමයේ ටොරොන්ටෝ මහා විහාරයේ තිබූ භක්ති ගීත කණ්ඩායමට ඔහු තම හඬ පෞරුෂය එකතු කලා. භාවනාව පිළිබඳ ඉංග්‍රීසියෙන් පොත් පලකල පුන්නජී ස්වාමීන් වහන්සේ සමඟ ඇලෝයි මහතාගේ ඉතා සමීප සබඳතවයක් තිබීමට ප්‍රධාන හේතුව වුයේ එතුමාගේ ඉංග්‍රීසි භාෂාව සහ බෞද්ධ ධර්මය පිළිබඳ ගැඹුරු දැනුමයි. සමාජ සේවය සම්බන්ධව තිබූ ඔහුගේ විශේෂඥ දැනුම හේතුවෙන් පන්සලට යොමු වූ පවුල් උපදේශනය සම්බන්ධ ගැටළු මුළුමනින්ම භාර උනේ ඇලෝයි මහතාට. ඔහු ඒ සෑම කාර්යයක්ම ඉතාමත් සතුටුදායක ලෙස සමනය කලේ ඉතාමත් තෘප්තියකින්. වෙස්ට් එන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසැලට සහ වැඩිහිටි සංගමයට ඔහුගෙන් ලැබුනෙ පූර්ණ සහයෝගයක්.
ඔහුගේ තවත් සුවිශේෂ ගති ලක්ෂනයක් නම් සමාජ කාර්යන්හි ප්‍රසිද්ධිය ප්‍රතික්ෂේප කිරීමයි. ඒ නිසා ඔහු කල කී දෑ ගැන බෝඩ් ලෑලි හෝ පින්තූර දකින්නට නැහැ. මේ ලිපිය වෙනුවෙන් සේයාරූ කිහිපයක් සොයා ගන්නටත් මට වෙහෙස වන්නට වුනේ ඒ නිසයි.අපේ ලාංකික සමාජයේ බොහෝ වැඩිහිටියන් ලඟ නොමැති ගති ලක්ෂනයක් තරුණ පරපුර සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව. නමුත් ඇලෝයි මහතාටයෞවනයන් සමඟ සන්නිවේදනය කිරීම පිළිබඳව ඉතා විශිෂ්ඨ හැකියාවක් තිබුනා.තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතා, මත් ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු වලදී ඔවුන් සමඟ ඉතාමත් සුහදශීලීව, හදවතට කතා කර ඒවාට පිහිටක් වීමට ඔහු මැදිහත් වූ වාර අනන්තයි.
ටොරොන්ටෝ මහා විහාර නායක අහංගම රතනසිරි ස්වාමීන්වහන්සේ මෙසේ පැවසුවා.
“ඇත්තටම ඇලෝයි පෙරේරා මහතා මේ සමාජයට අමිල වස්තුවක්. ඔහුට මාධ්‍යවේදියෙකු තිබූ විවිධ විෂයන් සම්බන්ධ ඉතාමත් විශාල දැනුම් සම්භාරය මෙන්ම ගැටළුවක්ඇතිවූ අවස්ථාවක බුද්ධිය, අවබෝධය තැනට සුදුසු ලෙස පාවිච්චි කිරීමේ සුවිශේෂි ගුණංගයත් කිසි දිනක අවශ්‍ය කිසිම අවස්ථාවක මඟ නොහැර යන පුද්ගලයෙක් ලෙසයි ඔහුව මම අඳුනාගෙන තියෙන්නෙ. කිතු දහම මෙන්ම බුදු දහම පිළිබඳවත් ඔහු තුළ ඇති අවබෝධය ඉතාමත් දුර්ලභ සම්පතක් . ඇත්තටම මෙතුමා නිරෝගීව සිටියා නම්, සමාජයට තවත් විශාල සේවාවක් කල හැකිව තිබූ මහත්මයෙක්”.
මිසිසාගා විහරස්ථානයේ නායක කුළුගම්මමන ධම්මාවාස ස්වාමීන්වහන්සේ එතුමා අගය කරමින් මෙසේ පැවසුවා.
“මම දන්නා කාලයේ සිටම ඇලෝයි මැතිතුමා තමයි, අපේ සමාජයේ හිටපු උදාරම සමාජ සේවකයා. ජාති, ආගම්, භේද කිසිවක් නැතිව අපේ පන්සල ඇතුළු සෑම සංස්කෘතියකම පුරෝගාමීත්වය ගෙන ඔවුන්ට අති විශාල සමාජ මෙහෙවරක් සිදු කලා”.
ඔහුගේ බිරිඳ ඉන්දියානු සම්භවයක් ඇති සාවිත්‍රි නායිඳු. ඔවුනට එක දියණියක්ද, මුණුපුරෙක්ද ඉන්නවා.මේ ලිපිය සකස් කිරීම සඳහා මම ඇය මුණ ගැසුණු මොහොතේ මට සාක්ෂාත් වූ කාරණාව වුනේ “සෑම සාර්ථක මිනිසෙකුගේ පිටුපසම කාන්තාවක් සිටී” කියමන කෙතරම් ඇයට සුදුසුද කියලයි .වෘත්තියෙන් හෙදියක් වූ ඇය, ඉන්දියානු පවුලකින් පැවත ආ කුල කාන්තාවක්. තම සැමියා තමාගේ පවුලේ පෞද්ගලික අවශ්‍යතා මඟ හරිමින් සමාජ මෙහෙවරක යෙදීම ඉවසීමට හැකිවෙන්නේ ඉතාමත් උදාර කාන්තාවකට පමණයි.
ඇලෝයි පෙරේරා නම් මහා පුරුෂයා මුළු මහත් කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජය විසින්ම රැක බලා ගත යුතු චරිතයක් . නමුත් ඒ වගකීම,කාර්යභාරය ඉටු කිරීම අපේ සමාජය අතින් මඟ හැරී තියෙනවා. තමගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ මඟ හැර ගනිමින්, මේ මහත් සමාජයකට ආයතනයක් විසින් භාර ගත යුතු වගකීම් සහ යුතුකම් කරට ගෙන කටයුතු කල එතුමාට ආත්මික වශයෙන් බොහෝ දේ ලැබේ යැයි මා විශ්වාස කරනවා. ඒ වගේම ඔහුට තමන් කල කී දෑ ගැන ආත්ම තෘප්තියකුත් තිබෙනවා වෙන්න පුලුවන්. මහත් සමාජ මෙහෙවරක් කල ඇලෝයි පෙරේරා මහතා, පවුලේ අයට පමණක් භාරදී අපිට ඇඟ බේරා ගත හැකිද? අවසන් කාලයේ ඔහු හුදෙකලා වීම සාධාරණද? නමුත් පුද්ගලිකව, කිසිවෙකුටත් දොස් කීමට අපිට හැකියාවක් නැහැ. ඇත්තටම ඒකට හේතුව ශ්‍රී ලාංකික ප්‍රජාව කෙලෙහි ගුණ නොදන්නා අය වීමවත්, ඇලෝයි මහතාගේ සත්භාවය අගය නොකිරීමවත් නෙවෙයි. මේ “පුද්ගලවාදී සංස්කෘතික ක්‍රමය ” විසින් අපිට ඒ සත්කාරය කිරීම සඳහා ඇවැසි කාලය සහ සම්පත් අහුරලා තියෙනවා.
පසු සටහන
මේ චරිතාපදානය ගෙත්තම් කලේ ඇලෝයි ස්ටීවන් පෙරේරා නමැති ඉතාමත් සුවිශේෂී තැනැත්තා වටා. එතුමා දැනට ජීවත් වෙන්නේ ටොරොන්ටෝ නගරයේ සිට තරමක් දුරින් පිහිටා ඇති වින්ඩ්සර් නගරයේ වීම සහ වෙනත් විවිධ සෞඛ්‍ය හේතුන් නිසා මේ ලිපියට අදාල බොහෝ කරුණු ලබාගත්තේ එතුමා සමඟ සමීප ඇසුරක් ඇති ආචාර්ය සරත් චන්ද්‍රසේකර සහ ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර යුවල සහ එතුමාගේ බිරිඳ සාවිත්‍රි නායිඳු සමඟ පැවැත්වූ සංවාද ඇසුරින්.