සතුට කොයිබද දුව ගොසින්
හීන ගොන්නක හිරවෙලා
තිබූ හසරැලි බොඳවෙලා
මැණිකෙ නුඹ මට සිහිවෙලා
ගැලුවෙ කඳුලැලී ඉතිරිලා
වැටුනු කොළ යළි දළු ලමින්
අසිරි ඇවිදින් අටු කොටු වලින්
ඒත් නුඹ නෑ …..
ඒත් නුඹ නෑ…..
සතුට කොයිබද දුව ගොසින්
ගීත ඇසුනත් කොවුල් රාලගෙ
සීත වැහි බිදු වැටුනේ හිසමත
රතුම පාටට පිපුනු එරබොඳු
මලුත් හිනැහී සරදමද මට…..
චමිලා නවගත්තේගම
https://www.facebook.com/profile.php?id=100070352617715

දැවිල්ලයි, බිම හැපී හම ගිය ආදරේ……
තනි අලිය පිට උලා යද්දී – මුදුන් ලීයත් ඉස්සුණා
ඌත් යන එන පාර අයිනේ – පැලත් මහ ලොකු ගස් වුණා
වළං බිඳෙනා පාලු මූසල – කමක් හිත යට පස් වුණා
ඇත්තමයි මට එදා රෑ නම් – ඉබේටම කෑ ගැස්සුනා…..
දඬු වැටට හූ’වකට එපිටින් – කැලේ කොළ අතු බිඳෙන සද්දේ
ඊට මෙපිටින් දිය කඩිත්තේ – ගෙඹි රැළකි හඬ තලන ලද්දේ
කිරලු රෑනක් බිජු රකින්නට – මොර තියන වෙල් යාය මැද්දේ
කැලේ කොලයට හැදුනු පපුවක – උඹයි උඹෙ මුලු බරම තිබ්බේ…..
පතුල් වංගෙඩි හිතේ බරටම – තදින් පොළවට කිඳා බැහැපූ
ඇතුල් බිත්තියෙ මගුල් රූපෙට – කොහෙන් හෝ හෙණහුරා ගහපූ
අවුල් ලිහ ලිහ හිතේ මිම්මට – ඇද පලුදු සරමකින් වහපූ
දැවිල්ලයි බිම හැපී හම ගිය – ආදරේ උඹ සැනින් නහපූ…..
ලොට තනේ කට තියා ගෙන – ලේ උරා බොන පොඩි පැටව් ගාව
කිරි එරෙන හැටි රැහේ උන්ටත් – කවමදාවත් දුකට නාව
පිට වෙච්ච හැම හුස්ම ගානෙම – මගේ ගැන කයි කතා කීව
අලියෙකුට ලොකු ඇඟක් තිබ්බට – වැඩක් නෑ ගෑණියෙක් ගාව…..
– රුවන් ජයරත්න –
https://www.facebook.com/ruwan.jayatathe

මගේ හිත් අහස!!!
වෙරළ ලද හාදුවක
තෙතමනය මිසක
ආලයක් ගැන වගක්
කියන්නේ කවුද
පාළුවක් දැනුණ විට
ප්‍රේමයට මේ තරම්
රුදුරු විය හැකිද?
කවිකාර හැන්දෑව
මග බලන් හිටිය
හිමිකාර සකිය නුඹ
සරදම් ම කෙරුව
වැටෙන්නට නොදී
පස් යට බදා සිටිය
නොපෙනෙනා මුල් පොකුර
ගැන වගක් නැතිද?
ජාති ජාතිත් පතන
ඒ අරුම හුස්ම
පාවෙලා යයි නැවත
ක්ෂිතිජ ඉම තෙක්ම
වදන් සඟවා හඬන
සෙනේ පන්හිඳට
හෙට සිටන් හිමිවේවි
මගේ හිත් අහස!!!
රේණුකා ඉලංගකෝන්
https://www.facebook.com/renuka.illangakoon
දකීවිද නුඹ කිසිම දවසක……..

නිහඬ නිසසල වටපිටාවක
රැඳෙන සැනසුම පිරුණු සුසුමක……………………
දැවටිලා ඇති ගැඹුරු සෙනෙහස
නොදකීවි නුඹ කිසිම දවසක………………………..
හමා යන මුදු සිහිල් පවනක
තැවරි ඇති පිනි බිඳිති අහුරක………………………
මල් සුවඳ රැඳි මගේ හදවත
ආදරෙන් නුඹ ළඟම ඇති වග
නොදකීවි නුඹ කිසිම දවසක ……………………….
නුඹේ හදවත ගැහෙන රිදුමක
දෙනෙත් අග විසිරෙනා කඳුළක …………………….
ආදරය පිරි මගේ හදවත
නුඹට ළංවී මුමුණනා වග
නොදකීවී නුඹ කිසිම දවසක ……………………….
නුඹ වතේ පිපි සිනහ කැකුළක
හදවතම සනහනා වදනක……………………………
දෙනෙතෙ ලියැවෙන සොඳුරු කැල්මක
මහද සිතුවිලි උතුරනා වග
නොදකීවී නුඹ කිසිම දවසක…………………………
තිබී හදිසියෙ හදේ ගැඹුරක
මතුවුවොත් නුඹෙ මතක අහුුරක
පෙනෙන නොපෙනෙන සොඳුරු දසුනක………….
ගිල්විලා ඇති මගේ හදවත
පණ ගැහුනෙ නුඹ වෙනුවෙන්ම වග
නොදකීවි නුඹ කිසිම දවසක…………………………
2024.04.05. ……රේණු ……
https://www.facebook.com/renuka.galappaththi
සති අග එපා දිනයක් ඇග නිවීමට

වෙහෙසී ගතද සිත සතියක් පුරාවට
කකියා එනව අත පය ඇගෙ රුදාවට
ලැබුවා ඉරිද දිනයක් ලෙස විරාමෙට
නින්දත් ගියා වෙනදට නැති සනීපෙට
කන්දෙක ලගම මොර දුනි හරි වෙලාවට
ඉක්මන් කරල නැගිටින් වැඩ බොහෝ මට
ගැස්සිල ගොසින් ඇහැරුනු ඇගෙ නලාවට
කන්දක් ඇදුම් සෝදා ඇත වැනීමට
ඉක්මන් කලොත් හැක වේලා ගැනීමට
හොද්දක් උයල සම්බෝලය සැදීමට
ඉක්මන් කරල පොල් ගෑවොත් වටී මට
හන්දියෙ කඩේ ගිනි කනවා වකාරෙට
ගන්නට ඕනේ සිල්ලර බඩු සුමානෙට
බස් එකෙ ගොසින් සතියේ පොල දිහාවට
උස්සන් එනව අද දහවල් වෙලාවට
ටැප් එක කැඩී සින්ක් එකෙ පෙර දිනේ සිට
පිච්චී බල්බ් කුස්සියෙ බැහැ ඉවීමට
ගස්වල පොලුත් කාලේ හරි කැඩීමට
දෙන්නෙද මේව කරලා මගෙ සුදා මට
යලි මට එපා දිනයක් ඇග නිවීමට
එන්නෙමි ලොක්කො දින හතෙහිම වෙලාවට
කන්තෝරුවේ දොර වැසු ඉරු දිනේ කට
දෙන්නෙද අඩුම ගානේ මුර කිරීමට
මහින්ද රුද්‍රිගු
https://www.facebook.com/mahinda.rodrigo1
සේයාරූ – අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.