ශ්‍රී ලංකාවේ ඉදිවුණු ප්‍රථම පාවෙන හෝටලය මීගමුව කටාන ප්‍රදේශයේ ඉදිකර ඇත. මෙම හෝටලය නම්කර ඇත්තේ බෝලගල ෆ්ලෝටින් රිසෝට් (Bolagala Floating resort) නමිනි. අක්කර දෙසීයක පමණ භූමි ප්‍රදේශයක ඉදිකර ඇති මෙම හෝටලයේ කබානා හෙවත් කාමර, පිහිනුම් තටාක ඇතුළු බොහෝ අංග ඉදිකර ඇත්තේ ජලය මත පාවෙන අයුරිනි.
“මේක මැටි කපපු ප්‍රදේශයක්. භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ අවුරුදු පනහක් හැත්ත පහක් අතර කාලයක් උළු ගඩොල් කර්මාන්තය කරගෙන යන්න අවශ්‍ය මැටි ගත්ත තැනක් තමයි මේ භූමි ප්‍රදේශය. ඒ කාලේ මැටි ගන්න ඉතා ගැඹුරු කැණීම් කරලා තිබුණා. ඒ නිසා භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ “මේ කොටසින් මොනවා හරි දෙයක් කරන්න” කියලා මට කිව්වා. මෙතැනට ඇවිත් බලද්දි “මෙතැනින් සල්ලි හොයන්න පුළුවන්” කියලා මට තේරුණා. මම මෙතැනින් අලුත් දෙයක් කරන්න තීරණය කළා.” යැයි Bolagala Floating resort හි සභාපති කැළුම් පෙරේරා මහතා පැවසීය.
ඒ වන විට එම භූමියේ තිබූ හොඳ මැටි කපා අවසාන කර තිබුණි. ඉතිරි මැටි භූමියේ තැනින් තැන ගොඩගැසී තිබුණි. ඒ නිසාම එම භූමිය උස් පහත්වීම් සහිත භූමියක් විය. ඒ අනුව කැළුම් එම තැනින් තැන තිබූ මැටි කපා ඒවා භූමියේ එක්තරා ප්‍රදේශයකට ගොඩ කළේය. භූමියේ ඉදි කරන හෝටලේ බොහෝ අංග පාවෙන ලෙස නිර්මාණය කළ ද මුළුතැන්ගෙය, වාහන ඇතුළුවෙන කොටස ආදිය එලෙස නිමවා නොමැත. ඒ කොටස ඉදිකර ඇත්තේ භූමියේ තැනින් තැන කපා ගොඩ කළ භූමි කොටසේය.
Bolagala Floating resort හි තවත් මූලික අංගයක් වන්නේ එහි ඉදිකර ඇති හරිතාගාරයයි. හෝටලයේ වැඩි ඉඩක් වෙන්කර ඇත්තේ එම හරිතාගාරය (green house) උදෙසාය. එහි වෙනම සේවක පිරිසක් සේවය කරති. අද වන විට මෙම හරිතාගාරයේ පැළ කර ඇති පැළවලින් ඉතා සාරවත් අස්වැන්නක් ලැබේ. ඉදිරියේදී හෝටලයට පැමිණෙන අමුත්තන්ගේ ආහාර සඳහා වැඩි වශයෙන් මෙම හරිතාගාරයෙන් නෙලාගනු ලබන අස්වැන්න යොදාගනු ඇත.
Bolagala Floating resort වෙත පිවිසෙන ඕනෑම අමුත්තකුට ප්‍රධාන ගොඩනැගිල්ල සුවිශේෂී වේ. ත්‍රිකෝණාකාර ලෙසින් ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලේ වහලය ඇතුළත කොටසේත් පිටුපස කොටසේත් වගා කටයුතු සිදු කර ඇත. වහලය පවා ඔවුන් යම් ප්‍රයෝජවත් දෙයකට යොදාගෙන තිබේ.
“අපි වහලයේ ෆැෂන් ෆෘට් වැල් සහ වැනිලා වැල් යවලා තියෙනවා. මේ පුරවපු ගොඩබිමේ අඩු බරකින් යුත් ගොඩනැගිලි තමයි අපි හදන්න ඕනෑ. මෙතැන ගොඩනැගිල්ලක් හදලා අවුරුදු තුනකින් බිත්ති ඉරි තැලුණොත් ඒ කළ කටයුත්තෙන් වැඩක් නැහැ. ඒ නිසා මේ සඳහා බරෙන් අඩු යකඩවලින් ගොඩනැගිල්ලක් අපි නිර්මාණය කළා. ඒ වගේම අක්කර දෙසීයකින් එන හුළං පහර මේකට ඔරොත්තු දිය යුතු වෙනවා. අපිට කොළ පාට පරිසරයක් මේ හෝටල් භූමියේ ඉදි කරන්න අවශ්‍ය වුණා. විශේෂයෙන් බොහෝ විදේශ සංචාරකයන් වැඩි වශයෙන් විඳලා ඇත්තේ කොන්ක්‍රීට්වලින් වටවුණු පරිසරයි. මේ නිසා ලංකාවට එන විදේශිකයන්ට ඒ ගහකොළවලින් සමන්විත සුවදායී පරිසරය ලබා දෙන්න අපිට අවශ්‍ය වුණා.” යැයි කැළුම් පෙරේරා අදහස් දක්වමින් පැවසීය.
මේ අතර බොහෝ විදේශ සංචාරකයෝ ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශයට වඩාත් කැමැත්තක් දක්වති. Bolagala Floating resort තුළින් තවම එම ඇත්දැකීම් විඳ දරාගැනීමේ හැකියාවක් නොමැත. නමුත් කැළුම් පෙරේරා මහතා පවසන පරිදි ඉදිරියේදී හෝටලේ එක් භූමි ප්‍රදේශයක රුලි ගසන කෘත්‍රිම මුහුදක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවක් ද ඔහු සතුව පවතී.
Bolagala Floating resort වසර හතක උත්සාහයක ප්රතිඵලයකි. හෝටල් ක්ෂේත්රයට සම්බන්ධ වීමට පෙර කැළුම් පෙරේරා ඉදිකිරීම් ක්ෂේත්රයේ නියැළුණු අයෙකි. ඒ අනුව හෝටලේ 80% ක් පමණ ඉදිකිරීම් කටයුතු සොයා බලා සිදු කර ඇත්තේ ඔහු විසිනි. මෙය ලංකාවේ දේශීය ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කළ අපූරු නිර්මාණයකි.
Bolagala Floating resort අවසාන අදියර වන විට කාමර පනහක් නිර්මාණය කිරීමට නියමිතය. මේ වන විට කාමර විසි එකක් සම්පූර්ණයෙන් නිර්මාණය කර හමාරය. ඉතිරි කාමර මාස දෙකක් ඇතුළත නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. මෙම කාමර වර්ග තුනකින් යුක්ත වේ. SOITE room ලෙස හඳුන්වන පවුලකට පැමිණ නැවතැන් ගත හැකි විශාල කාමරයකි. ඒ සඳහා ඩොලර් 800ත් – 1000ත් අතර මිලක් වැය වේ. සාමාන්‍ය කාමරයක් ඩොලර් 450 කට ලබාගත හැක. මීට අමතරව තවත් විශේෂ වූ කාමරයකි. මේ සියලු කාමර ඉදිකර ඇත්තේ ජලය මත පාවෙන ලෙසය.
Bolagala Floating resort විවෘත කිරීමෙන් පසුව කැළුම් පෙරේරාගේ බලාපොරොත්තු වී ඇත්තේ “ගැමි ගම” නිර්මාණය කිරීමටය. ඒ ආසන්නයේම ඇති මැටි කැපූ අක්කර විස්සක වළක් යොදා ගනිමිනි. ඒ අනුව ආරච්චිවරුන්ගේ කාලයේ තිබූ ගම්මානයක් සෑදීම ඔහුගේ බලාපොරොත්තුවයි. ආරච්චිගේ ගෙදර, වේවැල් ගෙදර, කම්මල් ගෙදර, කැවිලි ගෙදර, කුඹල් ගෙදර, වෙද ගෙදර මෙන්ම අංගම්පොර, ශාන්ති කර්ම ඇතුළු ගම්මානයක් නිර්මාණය කිරීම ඔහුගේ අරමුණයි. ගැමි ගෙදරින් සාදන කැවිලි හෝටලයේ අමුත්තන්ට පිළිගැන්වීමත් අපේ දේශීය ආහාර විදේශ සංචාරකයන්ට ලබාදීමත් මේ හරහා ඔහු සිදු කරනු ඇත.