වසර 16 ක් සපිරෙන කැනඩාවේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාර්ථීන්ගේ සංගමය

 2008 වසරේ වසන්තයේ දවසක ශ්‍රී ජයවර්ධනපුර සරසවි විද්‍යාර්ථීන් පිරිසක් සුහද සාදයකට එකතුවෙලා හිටියා. එතැන සිටි පිරිසේ  අදහස වුනේ අපි සංවිධානගත වුනා නම් අපට කොච්චර වැඩක් කරන්න පුළුවන්ද කියලා. 2008 ගිම්හානයේදී ටොරොන්ටෝවේ එල්ඩරාඩෝ උද්‍යානයේදී අපි සංවිධාන ගත වුනේ එහෙමයි. පළමු නිලධාරී මණ්ඩලයට පත්වුනේ අසූව දශකයේ  මැද භාගයේදී විශ්ව විද්‍යාලයෙන් පිටවුනු පිරිසක් .

වඩා විධිමත්ව සංවිධාන ගත වීමට අවශ්‍ය ව්‍යවස්ථාව, අනාගත දැක්ම සහ මෙහෙවර ප්‍රකාශයක් එයට එකතු වුනේ දැනට කැනඩාවේ ජීවත්වන  ජයවර්ධනපුර සරසවි විද්‍යාර්ථීන් අතර මනා සබැදියාවක් වර්ධනය කර ගනිමින් අළුතින් කැනඩාවට සංක්‍රමණය වන අපේ සොයුරු සොයුරියන්ට අත්වැලක් වන අරමුණින්.

අපේ ඉදිරි දැක්ම – සමාජමය වගකීමක් ඇති සංගමයක් වශයෙන් සියළු පාර්ශවකරුවන්ගේ හර පද්ධතීන් හා සාරධර්ම වලට ගරු කරමින්  සාමාජික සහ ශිෂ්‍ය කේන්ද්‍ර වූ සංවිධානයක් තුලින් විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන් සහ ශිෂ්‍ය ප්‍රජාවගේ උන්නතිය සදහා කැපවී ක්‍රියාත්මක වීම.

අපේ මෙහෙවර –  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමග සබදතා වර්ධනය කර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ වෙසෙන විද්‍යාර්ථීන් සහ සිසුන්ගේ ක්‍රියාකාරීත්වයේ ඉහල ප්‍රමිතියක් සහ සුහදත්වය වර්ධනය කිරීම උදෙසා අධ්‍යාපන, ශාස්ත්‍රීය, වෘත්තිමය සහ සමාජ සංස්කෘතිකමය කාර්යයන් ආශ්‍රිතව පලදායී පාර්ශව කරුවෙක් ලෙස ක්‍රියාත්මක වීම.

 සංගමයේ මුල් කාලයේදී  විද්‍යාර්ථීන්ගේ සුබ සාධනය සහ අනෝන්‍ය මිත්‍රත්වය වර්ධනය කර ගැනීම වැඩසටහන් , සුහද වෘත්තීය සංවර්ධන වැඩමුළු, කැනේඩියානු සංස්කෘතියට හැඩ ගැසීම පිළිබද කතිකාවත් වලට යොමුවුනු අතර පසුකාලීනව එහි කාර්යයන් සංගමයේ ඉදිරි දැක්ම හා මෙහෙවර හා සමපාත වන පරිදි එහි ක්‍රියාකාරීත්වයේ බාහිර පාර්ශව කරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ද ක්‍රියාත්මක විය. ඒ වෙනුවෙන් අප කල කී දෑ මෙසේය.      

ශිෂ්‍යත්ව වැඩසටහන 

2009 දී පටන් ගත් අවස්ථාවේ 9 දෙනෙකුට වසරකට ශිෂ්‍යත්ව ප්‍රධානය කල අප 2011-2012 දී එම සංඛ්‍යාව 30 දක්වා වැඩි කල අතර මේ වනවිට අනුග්‍රාහකයින්ගේ සහයෝගයෙන් 500 දෙනෙකුට අධික පිරිසකට ඉන් ප්‍රතිලාභ සලසා තිබේ . එසේම පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය සහ උද්ධමනය සැලකිල්ලට ගෙන එහි මූල්‍යමය වටිනාකමද වැඩි කර තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රධානයක් පටන් ගත් පළමු සංගමය ලෙස ඒ ආදර්ශය ඇතිව අනෙකුත් විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ද බොහෝ පිරිසකට සහන ශිෂ්‍යත්ව සැපයීම උගත්කම ඉහළ නැංවීම තුලින් සංවර්ධනය කරා පිරිස් ගෙන යෑමට මහත් රුකුලක් වී තිබෙන බව පෙනේ .

ලේ දන්දීමේ වැඩසටහන් 

2009 දී අප පටන් ගත් මේ වැඩසටහන තුලින් වාර්ෂිකව රුධිර පරිත්‍යාගශීලින් 20-25 අතර පිරිසක් Canadian Blood Services .  වෙත සැලකිය යුතු ලේ ප්‍රමාණයක් දන්දීම කලෙමු . මේ වසරේ ලේ දන්දීමේ කඳවුර ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට සූදානමින් සිටිමු.

චිත්‍රපට ප්‍රදර්ශනය 

අපගේ ශිෂ්‍යත්ව ව්‍යාපෘති වෙනුවෙන් මුදල් රැස්කිරීමේ අරමුණින් මහරජ ගැමුණු , මෝටර් බයිසිකල් සහ ඝරසරප  චිත්‍රපට ලංකාවෙන් ගෙන්වා ප්‍රදර්ශනය කරන ලදී . ඒ ආදර්ශය ඇතිව අනෙකුත් විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ද  පසුකාලීනව එවන් චිත්‍රපට ගෙන්වීම නිසා  කැනඩාවේ  අපේ ප්‍රජාවට ලාංකික චිත්‍රපට රස වින්දනීය අවස්ථා ලැබිණි.

වාර්ෂික ක්‍රිකට් තරගාවලිය 

2011 වසරේදී අප සංගමයේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කරන ලද අන්තර් විශ්ව විද්‍යාලීය වාර්ෂික ක්‍රිකට් තරගාවලිය මේ වනවිට කණ්ඩායම් 7 කට වැඩි පිරිසක් එකතුවන ගිම්හාන එකමුතුවක් බවට පත්ව තිබේ. 

රාත්‍රී සම්භාෂණ සහ සමාජ ක්‍රියාකාරකම් 

අපගේ ශිෂ්‍යත්ව ව්‍යාපෘති වෙනුවෙන් මුදල් රැස්කිරීමේ අරමුණින් රාත්‍රී සම්භාෂණ, නාට්‍ය සහ ගිම්හාන එකමුතු කිහිපයක් සංවිධානය  කරන ලදී.

කොවිඩ් අරමුදල 

කොවිඩ් වසංගතය  අවස්ථාවේදී ලංකාවේ රෝහල් වෙත කැනේඩියානු ඩොලර් 15, 000 කට වැඩි වටිනාකමින් යුත් රෝහල් උපකරණ  අප සංගමයේ විද්‍යාර්ථීන් සහ හිතවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් ලබා  දෙන ලදී . 

මේ සටහන සදහා තොරතුරු සැපයීමෙන් දායක වූ වත්මන් සභාපති දීපාල් සේරම් , සම ලේකම් හසිනි ප්‍රනාන්දු සහ හිටපු සභාපතිවරුන් වන උදය පෙරේරා සහ උදේනි අලවත්තගේ  ට මගේ ස්තූතිය හිමිවේ. 

අපගේ තොරතුරු සහ ඉදිරි වැඩසටහන් ගැන දැනගන්න  

සංගමයේ බ්ලොග් යොමුව 

https://jpuracanada.blogspot.com/?m=1

සංගමයේ මුහුණු පොත් යොමුව 

https://www.facebook.com/JpuraCanada?mibextid=ZbWKwL

ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාර්ථීන්ගේ සංගමය දැනට ලියාපදිංචි නොවූ කැනඩාවේ වෙසෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී සිසු සිසුවියනට එය හා එක්වන ලෙසත් ඔවුන් ක්‍රියාත්මක කරන සහයෝගීතා සහ ශිෂ්‍යත්ව වැඩසටහන් සදහා දායකත්වය දක්වන ලෙසත් සාදරයෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *