තොටියෙකුට බිරිඳව
කෑල තුරු අග මුමුණ මුමුණා – රහස් කියනා බඹරුනේ
දෑල ගඟ ; ගං දෙපස රඳනා – පහස් සොයනා විලසිනේ
සේල මුදමින කොඳුර කොඳුරා – දෑස් පෙළනා කිඳුරණේ
ආල තෙදිනා වරණ වරණා – දුරස් වී හිඳ ඉනුමැනේ
සලිත ගත මත ඉසෙන දියවර – නොවේ මා සිහි කරන්නේ
කලත ගඟ දිය ගැයෙන අමයුර – මැවේ පෙම් ගී ඉතින්නේ
මලිත ගිරවුනි ගයන සුමධුර – ගැයුම මා ගැන කරන්නේ
සුරත මා තුරුලටම ඉඳුවර – කියුම වෙද නොව වටින්නේ?
මන්ජි
https://kadadasikole.blogspot.com
මට යසෝදරා වෙන්නටනම් බෑ !
හීත හිමේ හීතල හිත ඉඹිනවද
KFC රයිස් කුසගිනි නිවනවද
මාර දූතිකා තනියට රඟනවද
අනේ බුදු වෙලා දැන් මා අමතකද
සංසාරෙම ලඟින් ඉන්නට සපථ වෙලා
පින්සාරම හීන පෙන්නා තොදොල් වෙලා
පන්නං ගියේ ප්‍රේමයෙ දෙව් ලොවම මවා
අබිනික්මන් කලේ කුස එනකොටයි නෙරා
පාලු පැලේ මට තනි නෑ තනි අලියා එනවා
ගේන පලා අතින් තියා තොල කට ලෙව කනවා
වරක් දෙකක් හොඬ උස්සල ඌ යන්නට යනවා
ඊට පස්සෙ මං ආයෙත් හොද අම්මා වෙනවා
හොවා මුවේ තන බුරුල්ලෙ වෑස්සෙනා කිරි
රාහුලගෙන් හංගනවා ළය මඬලේ ඉරි
ඔයාට නම් දැන් සැප ඇති භව බෝගෙන් පිරි
තනියම බුදු වෙන්න ඔයා දැන් සේරම හරි
වනන්තරරේ වන සපුවන් මැද තනියම හිදිමී
නිරන්තරේ පුතු වෙනුවෙන් ලේ කදුළැලි හෙලමී
වරින් වරේ උඹ සිහියට එන හදවත දවමී
පය පැටලී නුඹට නිවන මඟහැරෙන්න පතමී
සොඳුරු සඳවතී
https://kavisandalla.blogspot.com
සාංකාව…..!
ඉර මුවාවී කන්ද නොපෙනී යන වෙලේ අත ගැටුනු ගෙල බැඳි
දුර කතර මං මුලාවන වනයෙක ගියද සිත පුරා තෙද බැඳි
වර නගන සාගරේ රැළි දැක සිත නොබිඳ සවි ගත පුරා රැඳි
කර වටා වර සිඳී නැත; කොටි දත කොහිද රිදියෙන් සොඳින් බැඳි
තට්ටයාගේ කොලම
https://thattayagekolama.blogspot.com
මතක වත්ථු…
හඳ එළිය යට ඉඳං
බොහොම කාලෙකට පස්සෙ
ඔබව සිහි කරමි මම.,
තරු වලට ආස මම
ඔබ කියූ හැටි එදවස
උරඉසට ඉස තියාගෙන
අහස දෙස බලාගෙන
මැවෙයි වලාකුළු අතර…
මුතු බිංදු තරු අගින් ඉස ඉස
අහස උන්නා අපිත්තෙක්කම
හීනෙකින් වත් හිතුණද එදවස
දෙපැත්තක ඉන්න මේ විදිහට
ඔබ මම අතර තව දෙන්නෙකුත්තෙක්ක…
අතීතයත් හරියට පරණ චිත්‍රපටයක් වගෙයි
කලු සුදු වර්ණයි පොඩිත්තක් අපැහැදිලියි
ඒ වුණත් දැන් සිනෙරූත් ත්‍රිමාණයි සංයුක්තයි
දළසේයා පටල මතකයක් විතරයි කෞතුකයි…
මහේෂ් රත්නායක
අපට හුරු තැන හිස්ව තිබුණා…….
විසිර ඇති තරු කැකුළු අතරේ සඳක් පියකරු නෙතට ගැටුණා
වසර ගණනක් ගෙවී ගියමුත් අදත් ඒ රුව ළඟම තිබුණා
කවර හේතුද කියන්නට බැහැ සසර හුරුබව තදට දැනුණා
නුවර අහසක ගෙතුණ සිතුවිලි සත්තමයි හිත පතුළෙ රැඳුණා
අව්ව වැස්සද නොදැනුණාමයි ඇවිද ගිය දුර මදියි සිතුණා
වැව් දියේ රැළි වලාකුළු බැමි අතර කොතෙකුත් මතක රැඳුණා
ගෙව්ව දිනයන් හිතම සනසයි එහෙත් කරුණක් බරට දැනුණා
කව්ද අපි අපෙ සබඳකම් ගැන කියා ගන්නට වචන නොවුණා
වෙන්වෙනා බව නුදුරු දිනයක සිහිකරද්දී කදුළු පිරුණා
ළංව හිඳිනට හිතාගත්තද උරුම නැති බව නිතර දැනුණා
යන්න පෙර දුර පුරුදු සෙනෙහස විඳින්නට යළි වරක් සිතුණා
එන්න මොහොතක් නුවර හෙවනට අපට හුරු තැන හිස්ව තිබුණා
දුමින්ද අබේසේකර
https://dumindasanchare.blogspot.com
කඳුළු
නැගිටින්නෙපා ඉක්මනින් පුතේ අද
පෙන්නන්න බෑ මට කඳුළු
ගුරු “දෙ” ගුරු රැස්වීම ඉස්කෝලෙ අද
එක්කෙනෙක් ආවට මදිලු
එදා අවුරුදු පහට කලියෙන්
ආවේ පැනගෙන කඩුළු
ගිවිස ගත්තේ ආදරෙන් ඉමු
කියලා කරගෙන තුරුළු
උඹේ වාගේ ඇස් දෙකක්
රෑ ඉහ ඉද්දරින් මැකු පාලු
තෑගි දුන්නේ උඹේ ඇස් දෙක
මකන්නට දැන් පාලු
දවස් ගෙවුනා කාලයක් දැන්
හැමදාම බිව්වේ කඳුළු
යුද්දෙ කාලේ උන්නු හිමි ගැන
තාම තොරතුරු නැතිලු
ඇහුව යාදිනි අවලාද ගිනි
හිරිවැටෙන ඇට මිදුළු
ඉවසුවා උඹ හින්දාම මම
සිඹින්නැතිවම රේල්ලුව රෑ බදුලු
ඒත්…
නැගිටින්නෙපා ඉක්මනින් පුතේ අද
පෙන්නන්න බෑ මට කඳුළු
නාඩියා නාඩිරත්න