රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම (04/24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු ලැබුවා.රිළවියන්ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කර ගැබ් ගැනීම් වැලක්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ සිදු කෙරුණු අතර ඒ සඳහා කුඩා ප්‍රමාණයේ නව ලූපයක් නිර්මාණය කිරීමට පශු වෛද්‍ය පීඨය සමත්ව තිබුණා.මේ සඳහා එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිළවියක් පරීක්ෂණය සඳහා යොදාගෙන තිබෙනවා .
ලූපය රිළවියගේ ගර්භාෂය තුළට තැන්පත් කිරීම සඳහා සිහිසුන් කිරීමට පැය භාගයක පමණගත වූ බවත් සැත්කම සිදු කිරීම සඳහා පැය භාගයක පමණ කාලයක් ගතවන බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පසු ශික්ෂන හා පශු සායනික අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසනවා.දංගොල්ල මහතා පවසා සිටියේ රිළවියක සාමාන්‍ය ජීවිත කාලයේදීපැටවුන් 10-15 අතර සංඛ්‍යාවක් බිහිකිරිම නිසා රිලා ගහණය පාලනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවට සියලු පාර්ශව හඳුනාගෙන තිබෙන බවයි.
මෙරට එළවළු හා පලතුරුනිෂ්පාදනයෙන් 20% ක පමණ ප්‍රමාණයක් රිළවුන්ගෙන් හානිවීම හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා ගොවි ජනතාව උද්ඝෝෂණය කරන තත්වයක්ද පසුගිය කාලයේ දක්නට ලැබුණු බව පැවසූ දංගොල්ල මහතා රිළවියකට පැයක පමණ කාලයක් තුළදී ලූපය තැන්පත් කොට වනයට මුදාහැරිය හැකි බවද දංගොල්ල මහතා අවධාරණය කළා .