මුහුණු පොතේ කවි අතරින්

” කමා කළ මැන සමිඳ “

ai generated, buddha, meditation-8689686.jpg

සිසිලසයි සඳ කිරණ

පිවිතුරුයි බුදු අරණ

නිසසලයි බෝ සෙවන පෙරදා

කලබලයි අද එලෙස නොවනා

දස බිම්බරක් සෙනඟ

අසහනය බිය සමග

එකා පිට එකා නැඟ සටනා

කඩා පැන බෝ මළුව වටලා

කළ හතින් පැන් වඩන

කොඩි දමා මල් ඉසින

පහන් කඳු ගිනි තබන ජනතා

බෝ සමිඳු ගිනි බියෙන් සැලෙනා

නිසසලයි බෝ සෙවන

පිරිසිදුයි වැලි මළුව

සිව් දෙසින් බුදු සුවඳ පෙර දා

වසලයින් අද එතැන පිරිලා

රාගයෙන් මත් වෙච්ච

ද්වේශයෙන් ගිනි ගත්ත

දාහයෙන් රොද බදින අමනා

මෝහයෙන් මුලාවී යදිනා

කළුවරයි ගඳ කිළිය

තනි වෙලා බුදු සමිඳ

බෝ රුකට ආවඩන ජනතා

යස ඉසුරු පතා වැද වැටෙනා

යාතිකා ගී කියන

හූ කියා ආවඩන

දේවතා එළි දකින අමනා

භීතිකාවෙන් මනස ලෙඩිනා

බුදු වදන් පිළිනොගෙන

දෙව් බඹුන් ඉහට ගෙන

බලි තොවිල් කර පඬුරු බදිනා

” ආ වඩා ආයුබෝ” කියනා

තිලෝ ගුරු හිමි පිදුව

සමාධිය සිත වැඩුව

නිරාමිස සුව ලැබුව ජනතා

මුලා වෙන් අද නොමඟ ගොසිනා

නිසසලයි බෝ සෙවන

සිත නිවයි බුදු සිසිළ

‘ කච කචය ‘ ඒ මැදින් ඇසෙනා

කමා කළ මැන සමිඳ අපටා !

දයා නිකහැටිය.

https://www.facebook.com/daya.nikahetiya

මම_ඉන්නෙ_සල්පිල_ගාව

රුහිරු පැහැති ධජ,පතාක අහස පුරා දුවෑවිදින

නිදහස් දිනයකි ඇහැල මස පලමු වෙනිදාව……

වෙනදා වාගෙම මෙදත් මං නැවතිලා උන්නා

ජමීලා හොය හොයා පොත් සල්පිල ගාව…….

එක ම කොඩියක් යටින් ඉඳගෙන

එක ම මාවත අතින් අල්ලන්

එකට හඬගෑ සටන්පාඨය

තාම කරනව හිතේ හොල්මන්……

මඟ දෙපස පිරිස් වතුර ඉස්සා මතක ද

අපි දෙන්නම තෙමෙන්න එකට….

ඒ නැතත් මං දන්නවා කොහොමත්

අතින් ඇල්ලුවත් ඔයා තෙමෙනව හොඳට….

“කකුල් රිදෙනව හලෝ,වඩං යනව ද” අහපු

දකුණු උරයේ වෙලී ඉදිරි පියවර නගපු

පෙලපාලියේ මැදත් “ආදරේ දැ’ යි අහපු

දෙනෝදාහක් ඉද්දි “ආදරෙයි” කෑ ගහපු…….

සිලි කවරෙ වතුර, එක බීම බටයෙන් උරපු

චේ ගුවේරා මාලෙ, මගෙ ගෙලේ ගැටගහපු

මීන නෙත් සිනාවෙන් මගේ ඇස් මත් කරපු

ජමීලා මැවෙයි නිති හිසේ රතු පටි බැඳපු…….

හිත එක තැනක තියාගන්න එක

මහ අමාරු ම වැඩක්

මතක් මන්දිර දැහැන බින්දේ

නැඟුනු “ජයවේවා” හඬක්…..

කතා ටික අහන් ඉන්න

හරියට බැරි වුණා අදවත්..

එහෙම තමයි….

මනෝ ගහනව හොඳටෝම

රිදුණායින් පස්සෙ කාගෙ වුණත් හදවත්…

එක ම කොඩියක් යටින් ඉඳගෙන

එක ම මාවත අතින් අල්ලන්

එකට හඬගෑ සටන්පාඨය

තාම කරනව හිතේ හොල්මන්……

මාක්ස් , එංගල්ස් , ලෙනින්,

එක්ක ඇවිදින් විජේවීරත්

දෙතුන් පාරක් හෙමින් කිව්වා

“කතාව අහපන් දැන් වත්”…..

රුහිරු පැහැති ධජ,පතාක අහස පුරා දුවෑවිදින

නිදහස් දිනයකි ඇහැල මස පලමු වෙනිදාව….

වෙනදා වාගෙම මෙදත් මං නැවතිලා උන්නා

ජමීලා හොය හොයා පොත් සල්පිල ගාව….

අසම්මතයැ’යි කියා ප්‍රේමයේ යදම් බිඳ

සම්මතේ නූලකින් වෙනත් අහසකට බැඳ

මගේ අහලින් ඉද්දි අතීතේ මගේ සඳ

මං හුඟක් තනිවුණා මේ මහා සෙනග මැද…..

රිදුණෙ නැතිමුත් බිංදුවක් වත්

තාර පොළොවේ පෙලපාලි ගිය දෙපා

ඇත්තටම මේ සෙනග මැද්දෙ

මම හිටිය තදට පපුව අත ගගා…

එක ම කොඩියක් යටින් ඉඳගෙන

එක ම මාවත අතින් අල්ලන්

එකට හඬගෑ සටන්පාඨය

තාම කරනව හිතේ හොල්මන්……

කවද හරි හිතුනොතින් මාව දැකගන්න

රතු පාට ආදරේ මල් සුවඳ විඳගන්න

ඔයා ඉක්මනට පොත් සල්පිලට එන්න

මට හැකියි ජමීලා ඔයා එනකන් ඉන්න…….

රෝස මල් එපා නම්

ඉතින් මට පුලුවන්

යාලුවෙක් වගේ හැසිරෙන්න….

දෙකෙන් මොක වුණත්,

මං ගාව ලස්සන පොතක් තියේවි,

ඒ ඔයාට දෙන්න…

තරහ නැතුව එය අරගන්න…

ඉඹින්න ම ඕන නෑ , පපුවට තද කරගන්න….

රුහිරු පැහැති ධජ,පතාක අහස පුරාදුවෑවිදින”

නිදහස් දිනයකි ඇහැල මස පලමු වෙනිදාව….

මතකයි නේද… හැමදාම වගේ මම ඉන්නෙ

ජමීලා නුඹ හොය හොයා පොත් සල්පිල ගාව…

පසිදු විජේනායක

https://www.facebook.com/profile.php?id=100070528716658

ගැහැනු විතරද….

woman, petals, blowing-1854443.jpg

හීනි ලස්සන දිගැටි අතැඟිලි

තිබෙන්නේ ගැහුනුන්ට විතරද

යටැසි බැලුමන් හෙලා නොබැලූ

විලස ඉන්නේ ගැහැනු විතරද…

සුවඳ විලවුන් කොතෙක් ඇතිමුත්

ක්ලේශයක් සේ සියුම් තැන් වල

බලෙන් ඇලෙනා මිරාකලයකි

ස්ට්‍රෝං ස්මෙල් ඇති ජෙන්ට්ස් පර්ෆියුම්

වදන් දාහක් එකම වදනින්

කියා තත්පර අහුර ගන්නට

ආදරේ ගැන කියා දෙන්නට

පිරිමි දන්නවා වෙන්න බැරිමද…

වැරදි නෑ ඔබ රහල් හිමියනි

වැදි රජුත් ඒ වගේ වෙන්ඇති

එවන් පිරිමින් අසල බැඳෙනා

ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන…

පියුමි ජයකලණි

https://www.facebook.com/piyumi.jayakalani

කවි තරම් ලේ වුණත් ඝණකම්…..

කෙටි සියුම් කැපුමකින් ලය දෙබෑ කරවා

ඉරි තැලුණු පලුදු තැන් එකින් එක හඳුනා

පිළියමින් – පිරියමින් නිසි විදින ගලපා

තැති ගතිමි නුඹ ලියූ ඇතැම් කවි කියවා…..

පොඩි රිදුමකින් පවා දැනෙන්නට නොමදී

ඇතැම් තැන් වල තවම මිදුණු ලේ කැටිතී

බද්ධ කළ සමහරක් ශිරා සහ ධමනී

තුළ පවා ලේ ගමන විඩෙන් විඩ නවතී…..

අවශ්‍යයම අවයවත් ගලවලා පසෙක

පණ ගැහෙන හැටි බලන්නට නැවත නැවත

සැරහුමක් යොදාලා සුව නොවුණු පසුව

නුඹෙ කවිය තමා මා සුවය ලද ඔසුව…..

රෝමෝද්ගමනයෙන් වරක් හෝ දෙවරක්

මාත්‍රාවට නොගත් එකත් මගෙ වරදක්

නාඩි අල්ලා බලා ඔය මොනව කීවත්

නුඹත් මට කවි අතර නොලියවුණු කවියක්…..

අශ්වාස – ප්‍රශ්වාස තෙත බරිත වාතය

තරම් වත් ළං වෙලා ඉන්න බැරි දුරකට

සිනින්ජර කටුවකින් හිත සිදුරු කර ගෙන

ගිය නිසයි කවි තරම් ලේ වුණත් ඝණකම…..

– රුවන් ජයරත්න –

https://www.facebook.com/ruwan.jayatathe

මැණික් කැටේ

පණ වාගේ ආදරෙන් හැදුවේ

මැණික් කැටේ කිය කියා හැමවිට..

ඉන්නවා නම් ගෙදර…හරි නිදිමත

මීයෝ ඉගිල්ලෙනවා එහෙට මෙහෙට..

සාලයෝ නැත්නම් කන්නෙ නෑ

අපි කනවා පරිප්පු යි බතුයිත් නැති කොට..

හදිස්සියකට හෙව්වත් ඔහෙ නෑ

එයාට හරියට රාජකාරි ගම වට…

මෙයා වගේ අය අතනත් ඉන්නවා

මෙතනත් ඉන්නවා කියනකොට..

එල්ලන්න හිතෙනවා නැට්ටෙන්

රෙද්දක් ඇඳගෙන පාරේ යන්න නෑ අපට..

උගන්නන්න එක වචනයක් බැරිවුනා

අදත් කියන්නේ “ඤෑහ්….” පොඩ්ඩ බැරි වෙනකොට..

ඔන්න යහපත් වෙලා ආපහු

දින පහක අත්‍යවශ්‍ය සේවා නිමාකොට..

ඔයාලට පේන්නේ කලු පාටට ද?

එයා තමයි අපෙ සුදු පුතා, හොඳට නරකට!!

රේණුකා ඉලංගකෝන්

https://www.facebook.com/renuka.illangakoon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *