ශ්‍රී ලංකාවේ විශාලම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව කොටි පරාදීසයක් ලෙස ලෝකයේ ප්‍රකට වනපෙතකි. මේ නිසා විල්පත්තුව නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් තුළ පවතින්නේ විශාල උනන්දුවකි. මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලට මායිම් වන විල්පත්තුව පුත්තලම සහ අනුරාධපුරය යන දිස්ත්‍රික්ක පුරා විහිදෙන වනෝද්‍යානයකි. මේ වනපෙතේ විශාලත්වය හෙක්ටයාර 131,690කි. එය ආසියාවේ වැඩිම කොටි ඝනත්වය සහිත වනෝද්‍යානය ලෙස පසුගියදා හෙළිදරව් වුණේ වනජීවී පර් යේෂක කිත්සිරි ගුණවර්ධන කළ පර් යේෂණයක ප්‍රතිඵල අනුවය.
‘‘වර්ග සැතපුම් 100කට කොටි 14 දෙනෙක් විල්පත්තුවේ ජීවත් වෙනවා. මේ දිනවල ගැහැනු සතුන් අට දෙනෙක් පැටව් දාලා. මරදන්මඩුව ප්‍රදේශයේ පැටව් බිහි කළ ගැහැනු සත්ත්වයා මේ පැටව් බිහි කළ පස්වැනි අවස්ථාව. කොටි දෙනක් සාමාන්‍යයෙන් පැටව් දාන්නේ සිව් වතාවයි. මෙය විශේෂ අවස්ථාවක්. නමුත් මෙහෙම දෙයක් වාර්තා වූ පළවැනි අවස්ථාව මේක. මම 2011 ඉඳලා විල්පත්තුවේ කොටි ගැන පර් යේෂණ කරනවා. මාසයකට වතාවක් දෙකක් විල්පත්තුවට ගිහින් එම පර් යේෂණයේ නිතර වෙනවා. ඊට අමතරව තවත් විශාල පිරිසක් තොරතුරු සපයමින් අපට සහයෝගය දෙනවා. විල්පත්තුවේ කොටි 313ක් ඉන්න බව අපගේ අධ්‍යයන අනුව පේනවා.’’ යනුවෙන් වනජීවී පර් යේෂක කිත්සිරි ගුණවර්ධන මාධ්‍යවලට පසුගියදා පැවසුවේය.
විල්පත්තුව දෙවැනි වන්නේ යාල ජාතික උද්‍යානයට පමණි. විල්පත්තුව සහ යාල යනු නිවුන් සහෝදරයන් දෙදෙනෙක් ලෙස පැවසිය හැක්කේ එම වනෝද්‍යාන දෙකම බිහිවූයේ එකම දිනයක හෙයිනි. එනම් වනජීවී ආඥා පනත බලාත්මක කරන ලද දිනයේ පටන් එම පනත මගින් ප්‍රකාශයට පත්කරන ලද මෙරට පළමු ජාතික උද්‍යාන යුගලය වන්නේ යාල හා විල්පත්තුවයි. වර්ෂ 1938 පෙබරවාරි මස 25 වැනි දින විල්පත්තුව ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර තිබේ. වර්ෂ 1947 නොවැම්බර් මස 7 වැනි දින විල්පත්තුව උතුරු ප්‍රදේශය විල්පත්තු උතුරු රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ වයඹදිග පහත් බිම් වියළි කලාපයේ පිහිටා ඇත. වර්තමාන විල්පත්තු ජාතික වනෝද්‍යානය කොටස් පහකින් යුතු උද්‍යාන සංකීර්ණයකි. විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා විල්පත්තු උතුරු අභයභූමිය, තබ්බෝව අභයභූමිය සහ වීරක්‌කුල්චෝලේ-එළුවන්කුලම රක්‍ෂිතය වැනි වනාන්තර හා සමඟ ද සම්බන්ධ වී පවතී. වනෝද්‍යානයට උතුරින් මල්වතුඔය හා මෝදරගම්ආරු ද, දකුණින් කලාඔය ද, බටහිරින් කුඩාගල් පර්වත සහිත තැනිතලා බිමක් හා වෙරළ තීරයක්ද, නැගෙනහිරින් හුනුවිලගම, විලච්චිය, තන්තිරිමලේ යන ගම්මානද මායිම් ලෙස සැලකිය හැකිය.
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ ඉතා ඉහළ සත්ව විවිධත්වයක්ද දැකිය හැකිය. 2006 වර්ෂයේදී වනෝද්‍යානය තුළ සිදු කරන ලද සමීක්ෂණයකදී පවුල් 101 කට අයත් සත්ත්ව විශේෂ 284ක් හමුවී තිබේ. ඒ අතරින් මෙරටට ආවේණික විශේෂ 21ක් සහ ජාතික වශයෙන් තර්ජනයට ලක්වූ විශේෂ 30ක් වාර්තා වී ඇත. කොටියාද මෙරටට ආවේණික උප විශේෂයකි. මේ ගැන වැඩිදුරටත් සඳහන් කරන කිත්සිරි ගුණවර්ධන :
”පුෂ්ටිමත්ව වැඩුණු තරබාරු කොටි මෙහි දැකගන්න පුළුවන්. උන් තම සීමාවන් සලකුණු කරගෙනයි ජීවත් වන්නේ. ඊට අමතරව කෙට්ටු මහලු කොටිත් සිටිනවා. උන් වෙනම සීමාවක් සලකුණු කරගෙන නෑ. වෙනත් කොටින්ගේ සීමා තුළම ජීවත් වෙනවා. ඒ වගේම කොටි ගැහැනු සතුන් තම සීමාවේ ඉන්න පිරිමි සතුන් සමඟ එකට ජීවත් වන අතරම සීමාවෙන් පිට දුර පෙදෙස්වල සිටින වෙනත් පුෂ්ටිමත් කොටි සොයාගෙන ගොස් ඔවුන් සමඟ ජීවත් වී පැටව් දමන අවස්ථාත් හමුවෙනවා. අපට මේ කරුණු දැනගැනීමට හැකිවන්නේ පුල්ලි රටා අනුව වෙන වෙනම කොටි හඳුනාගැනීම නිසයි. එසේ වෙනම හඳුනාගත් කොටි 103ක් අපි ඡායාරූපගත කර තිබෙනවා.”
අප රටේ “රුම්සා” ජාත්‍යන්තර තෙත්බිමක් ලෙසද විල්පත්තුව නම්කර තිබේ. විල්ලුවලින් පිරි පත්තුවක් වන මෙහි පවතින ලොකු කුඩා විල්ලු, ලවණ වගුරු යනාදිය නිසා අතිශය සුන්දර වටපිටාවක් බිහිවී තිබේ. මෙහි පවතින ලොකු කුඩා විල්ලු ප්‍රමාණය 40 කට වැඩිය. එහි ප්‍රධාන විල්ලු 27ක් පමණ ඇත. විශාලම විල්ලුව වන්නේ පුත්තලම-මන්නාරම උද්‍යාන මාර්ගයට ආසන්නව පිහිටි පෙරිය විල්ලුවයි.
විල්පත්තුව ජාතික උද්‍යානයට පිවිසීමට උද්‍යාන මූලස්ථානය පිහිටි හුණුවිලගම දොරටුව හා පුත්තලම-මන්නාරම් පාර පැත්තෙන් ඇති එළුවන්කුලම (කලාඔය) පිවිසුමෙන් ඇතුළුවිය හැකිය. මන්නාරම-සීලාවතුර-අරිප්පු ඔස්සේ වැටී මාර්ගයෙන් (උතුරු දෙසින්) මෝදරගම්ආරු ඔස්සේ උද්‍යානයට පැමිණීමටද ප්‍රවේශ මාර්ගයක් පවතී. ජීප් රථ සේවා රාශියක්ද වනෝද්‍යානය අවට ක්‍රියාත්මකය.
අප රටේ ලංකාවේ වනාන්තරවල අලංකාරතම සිව්පාවා වශයෙන් සැලකෙන්නේ කොටියායි. කහ පැහැති සමකින් යුත් කළු පැහැති පුල්ලි සහිත මේ සත්වයා නැරඹීමට දෙස් විදෙස් සොබා රසිකයන් තුළ ඇත්තේ විශාල කැමැත්තකි. විල්පත්තුවට අමතරව යාල වනෝද්‍යානයද කොටින්ට ප්‍රකට වන උද්‍යානයකි.
ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව වඳවී යාමේ දැඩි අන්තරායට ලක්ව සිටින අපේ කොටියා මෙසේ විල්පත්තුවේ හොඳින් බෝවී දිවි ගෙවීම වනජීවී රසිකයන්ට සතුටට කරුණකි.
ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වනාන්තරවල පමණක් දැකිය හැකි විලෝපීය ක්‍ෂීරපායි සතෙකි. දැනට ලොව සිටින කොටි විශේෂ අටෙන් එක් උප විශේෂයක් ලෙස ශ්‍රී ලංකා කොටියා නම් කොට ඇත. මොවුන් සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් කොටියා (Panthera Pardus Kotiya) යනුවෙන් හඳුන්වයි.
දහවලදීත් දැකගත හැකි වුණත් ඌ රූට ගොදුරු සෙයා යන නිශාචර සතෙකි. ඒ නිසා රාත්‍රියේදී මදුවලට අසුකර ගැනීම දඩයම්කරුවන්ගේ අරමුණ බව පෙනේ. ජාතික වනෝද්‍යානවල සිටින කොටි දඩයම නම් ලේසි නොවන්නේ වනජීවී නිලධාරින්ගේ ආරක්ෂාව උන්ට ලැබෙන නිසාය. යටත්විජිත යුගයේදී සුද්දෝ කොටින් බහුලව විනෝදයට දඩයම් කළහ. පසුව කොටියා ශ්‍රී ලංකාවට ආභරණයක් තරම් වටිනා ආරක්ෂිත වනසීපාවෙක් බවට පත් විය.
පශු වෛද්‍ය විජිත පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොටින් පිළිබඳ සමීක්ෂණයක් කර නැතත් කොටින් 800කට වැඩි ප්‍රමාණයක් වියළි කලාපයේ සහ තෙත් කලාපයේ වනාන්තරවල පැතිරී සිටින බවයි. පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන සඳහන් කරන්නේ ඒ සංඛ්‍යාව දහස ඉක්මවන බවයි.
මීට අමතරව ලෝකයේ බිලාල පවුලේ කුඩා සත්ව විශේෂ 33ක් සිටින අතර, ඒ සත්ත්ව විශේෂ අතරින් විශේෂ තුනක් ලංකාවේ දැකගත හැකියි. ඒ කොළ දිවියා, හඳුන් දිවියා සහ වල් බළලා ය.
කඳුකරයේ ජීවත්වන කොටියා කඳුකර කොටියා ලෙසත් හඳුන්වයි. මදු හා උගුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීම මෙරට බහුලව සිදුවෙන දෙයකි. බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර මදු හා උගුල් ඇටවීම දැකගත හැකියි. කඳුකරයේ තේ වතු ආශ්‍රිත වනාන්තරවල වල් ඌරෝ, මීමින්නෝ, ගෝනුන් වැනි වනසතුන් අල්ලාගන්න වතු කම්කරු ජනතාව මදු ඇටවීම පුරුද්දක් ලෙස කරන අතර කැලෑවේ සිට ආහාර හොයාගෙන ජනාවාස අසලට එන කඳුකර කොටි මේ මදුවලට අහුවෙති.
ඊට අමතරව කොටියාගේ සිරුරේ විවිධ කොටස් ලබා ගැනීම සඳහාත් උන් දඩයම් කිරීම සිදුවන බව පෙනේ. රටට ආභරණයක් වන කොටියා ජාතික වනෝද්‍යානවල පමණක් නොව කඳුකරයේ කුඩා වනාන්තර කුට්ටිවලද ජීවත් වේ. මේ සත්වයා නිකරුණේ මරා නොදමා රුක ගැනීමට පොදු ජනතාවගේ සහායද අත්‍යවශ්‍යය