සිංහල බ්ලොග් කවි මුතු

ඔව්!!! ඒ සමනල්ලු සිරිපාදේ නොයති.

ලේ ඉහුණු බිම්කඩක

මල් රොන් සුණු සුවඳ

ඉව කරනු කෙලෙසක…

දූවිලි ෂෙල් වැකුණු

අතු ඉති කටු තුඩු මත

මලක් වුව නොපිපීම

කවර නම් අරුම ද…

කාෂ්ටක මඟ දිග

අඳුරු ළඳු දෙනි මැද

කුමක් නම් සොයන්නෙද

ඒ පුංචි සමනල්ලු…

අත් නොහැරි අත්බවෙක

අතරමඟ විසිකෙරුණු

දුෂ්කර ම ජීවිතය

හැර නොයා දිනන්නට

කියා දෙන දුයිෂෙන්

කවුරුන්ද?

පියාපත් එපමණ ම

සවි ඇද්ද?

නන්දිකඩාල්

කලපුවෙන් ඔබ්බට

කය දුෂ්කර ප්‍රාර්ථනාව*

මුමුණන්නෙද නිහඬවම

රෑනින් රෑන සැරිසරන

ඒ පුංචි සමනල්ලු…

තරුර​සී

https://tharurasi.blogspot.com

කෝ කොහේදෝ මා සොයන්නී…. ආදරේ දුන්නී…….

නික්ම යන මොහොතට කලින්

මට කියනවද ලංවී හොරෙන්

අපි අපේ වී උන්නු කාලය

බොඳකෙරුව හැටි මතකයෙන්

නෙතු තෙමන කඳුළැලි මතින්

හිත තදකරන් ලත් ඉසිඹුවෙන්

බලා මා දෙස සිනාසෙනවද

ඉරිතැළුණ සිහිනය මැදින්

තුරුළුවී පෙර හුරු ලෙසින්

නුඹ මගේ පපුවට හිස තියන්

තවත් මොහොතක් රැඳෙනවද ලඟ

සෙනෙහසේ නටඹුන් මතින්

මගේවුනු කල දුන් පෙමින්

නෙක පාට තැවරුව හදවතින්

තබා මතකය නික්ම යනු අද

කිසිදිනක  නොදකින ලෙසින්

කටුසු හදවත

https://katusuhadawatha.blogspot.com

ඉතිං ආදරය

ඉතිං..

ආදරය

මේ හැටිම

පුළුවන්ද ?

කඳුලක් වෙලා

මගේ නෙත් රිද්දන්න..

ඉතිං..

ආදරය

මේ හැටිම

පුළුවන්ද ?

සුසූමක් වෙලා

මගේ හිත පාරන්න..

ඉතිං..

ආදරය

මේ හැටිම

පුළුවන්ද ?

බොහෝ දුර ඇතක ඇදී

නුඹට තනියෙන් හිනැහෙන්න..

හුදකලාවේ ලියු කවි

https://hudakalakavi.blogspot.com

මතකයේ මාවතේ

නිලට දිලි ගුවන් ගැබ

කළුවලාවෙන් වැසී

පටන් ගත් මද වැස්ස

නාකපන වැහිවෙලා

හෙනහඩින් ගැස්සිලා

සලිත වු අහස් කුස

විදුලි රේඛා මවා 

සොඳුරු සිත්තම් අඳී

කිතිකැවී හද ඔකඳ වී සිත

මතකයේ මාවතේ

ඇසිල්ලෙන් නික්ම ගොස්

ඔබේ ලඟ නැවතිලා

සිහනද Lion’s Roar

https://jawiru.blogspot.com

වැස්සද?

අනෝරා වැහි ඉහිරී

දුර ඈත කඳු මත්තෙන්

මතක මීදුම් පැතිරෙන

තෙතබරිත වූ දිනයක

දෙතොලග මඳ සිනාවෙන් 

නුඹ මැවේ නෙතු අද්දර

පිටුවක කොණක් සන් කර

වසා ලා කියවූ පොත

කෝපි උගුරක් තොලගා

නෙතු හෙලයි කඳු යායට

හදවත පුරා මුල් ඇදි

පාළුව, විසල් තනිකම

නුහුලනා දිනයන් ඇත 

ඔහෙත් හරියට වැස්සද?

Hot chocolate days

https://hotchocolatedays.blogspot.com

ඒ කුඩා ළදැරිය…

ලැබුණොත් කාල යන්ත්‍රයක් 

ආපසු යමි

වසර ගණනක් ඈතට 

පොඩි බෑගයක් පිටේ එල්ලා

පාසැල් බසයෙ නැගී ගිය

පොඩි එකෙකු තුළට…

අම්මෙකුගෙ අතේ එල්ලී

පාසල් යන 

ඒ කුඩා ළදැරිය දෙස 

තව වතාවක් බලමි හොඳට…

දුර ඈතක දිදුළන

මළානික තරුවක එළිය දෙන

ඒ සෝබර දෑස ද,

මෘදු මල් පියල්ලක් බඳු

සුසිනිඳු ඒ මුහුණද,

සඳ එළියවන් ඒ

බිඳුණු සිනහවද,

තබාගමි මතකය තුළම..

සඳෙහි පෙදෙසක 

https://hashanrandika.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *