ගිනස් වාර්තාවට යන පානදුරේ මහ තොරණ

“ලොව විශාලතම තොරණ” ලෙසින් ගිනස් වාර්තාවකට සූදානම් වු පානදුර නගරයේ ඉදිකළ වෙසක් තොරණ ජාතික වෙසක් සැමරීම වෙනුවෙන් මෙවර සාර්ථකව ප්‍රදර්ශනය කෙරැණා. “නන්දිවාණිජ” කතා වස්තුව පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම තොරණ ඉදි කරන ලද්දේ පානදුර එක්සත් පොදු වෙළෙඳපොළ සංගමය මගිනි. වාර්ෂිකව නිර්මාණය කරන ලද පානදුර තොරණ මෙවර ගිනස් වාර්තාවට එක්කර ගැනීමේ අදහසින් ඔවුහු මෙවරත් වෙසක් තොරණ වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම කළහ. සාමාන්‍යයෙන් ටෙන්ඩර් කැඳවීමකින් අඩු මිලක් සඳහන් කරන ලද ටෙන්ඩරයකට වැඩි අවධානයක් යොමු කළද තොරණ සඳහා අඩු මිලක් වෙනුවට තොරණකට ටෙන්ඩර් ලබාදෙනු ලබන්නේ නිර්මාණාත්මක  දළ සැලැස්මක් වෙනුවෙනි.

කෙසේ වුවද මීට මාස අටකට පමණ පෙර පානදුර එක්සත් පොදු වෙළෙඳපොළ බෞද්ධ සමිතිය මගින් ටෙන්ඩර් කැඳවීමක් සිදු කෙරිණි. එහිදී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන චිත්‍ර ශිල්පීන් හා විදුලි ශිල්පීහු තොරණ සඳහා තම ටෙන්ඩර් ඉදිරිපත් කළහ. එහිදී සසිත චතුරංග නම් චිත්‍ර ශිල්පියාත් නිමල් ප්‍රනාන්දු නම් විදුලි ශිල්පියාත් එක්ව ටෙන්ඩරයක් ඉදිරිපත් කළහ. මීට පෙර පානදුර නගරයේදීම තොරණ නවයක් නිර්මාණ කරමින් සසිත චතුරංග අත්දැකීම් එක් කරගෙන තිබුණි. ඊට අමතරව දිවයින පුරා තොරණ කිහිපයක්ම නිර්මාණය කර තිබුණි. ඒ අනුව ඔහු මේ වන විට තොරණ විස්සක් පමණ නිර්මාණය කරමින් අත්දැකීම් ලබාගත් තරුණ චිත්‍ර ශිල්පියෙකි.

මේ පාර සමිතිය ටෙන්ඩර් කැඳවීමේදී ගිනස් වාර්තාවක් සම්බන්ධයෙන් අපිව දැනුවත් කළා. ඒ යෝජනාවට කැමැති අය තමයි මෙවර ටෙන්ඩර් ඉදිරිපත් කරලා තිබුණේ. තොරණ විශාලත්වය වැඩිවීම  ලොකු අභියෝගයක්. ඒ විතරක් නෙවෙයි, ඔවුන් මෙම තොරණ සම්ප්‍රදායික තොරණක් ලෙසින් පුවක් ගස්වලින් නිර්මාණය කළ යුතු බවත් කිව්වා. අවසානයේදී නිමල් අයියටත් මටත්  ලබාදුන් අභියෝගය අපි බාරගත්තා.” යැයි තොරණේ චිත්‍ර ශිල්පී සසිත චතුරංග ප්‍රකාශ කලා.

මෙලෙස සම්ප්‍රදායික තොරණ නිර්මාණයක් වුණු මෙය පුවක් ගස් යොදා ගනිමින් නිර්මාණය වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විවිධ මත පළ කළහ.

පුවක් ගසක් අවුරුදු දහයක් දොළහක් වෙද්දී ඵල දරනවා. ඒ ගස වසර තිහක් හතළිහක් වෙද්දි ගසේ ඵලදාව අඩු වෙනවා. පුවක් යායට වගා කරන අයගේ වගා ගස්වල ඵලදාව අඩු වෙද්දී ඒ මහ ගස් කපා අනිත් ගස්වලට ඉඩ ලබා දෙනවා. අපි මේ සඳහා එවැනි ගස් ගත්තා. ඒ වගේම වෙල් ආශ්‍රිතව “වැට පුවක්” වැවෙනවා. ඒවායින් ඵලදාව ලැබෙන්නේ හරිම අඩුවෙන්. අපි එවැනි ගසුත් මේ සඳහා  යොදා ගත්තා. ගස් කපද්දි ඵලදාව ලැබෙන ගස් කපන්න කවුරුත් දෙන්නේ නැහැ. මේ තොරණට පුවක් ගස් 450ක් පමණ අවශ්‍ය වුණා. මෙම තොරණේ උස අඩි 82යි. පළල අඩි 86 යි. මේ කාලයේදී බොහෝ තොරණ සඳහා යකඩ බට යොදාගන්නවා. නමුත් යකඩ බටවලට වඩා පුවක් කඳන් හුළඟට ඔරොත්තු දෙනවා. යකඩ බටයක් හුළඟට නැවුණොත් නැවුණාම තමයි. නමුත් පුවක් කොටන් සුළඟට ඔරොත්තු දෙනවා. මේ පුවක් කඳන් අඩි තුනක් තුනහමාරක් පමණ යටට බස්සවලයි තියෙන්නේ.” යැයි සසිත චතුරංග පැවසීය.

තොරණේ සැලැස්ම ඔහුගේ නමුත් කතා වස්තුව ලබා දී ඇත්තේ පානදුර එක්සත් පොදු වෙළෙඳපොළ බෞද්ධ සංගමය විසිනි. ඒ අනුව මෙවර නිරූපණය වන්නේ “නන්දිවාණිජ” කතා වස්තුවය. මෙවර තොරණ වර්ණ ගැන්වූ වර්ණාලේපවලද බොහෝ තොරණවලට සාපේක්ෂව වෙනසක් දැකිය හැකිය.

මම චිත්‍ර වර්ණ ගන්වන්නේ මැලේසියානු තීන්ත වර්ගයකින්. ඒකෙ මිල අනිත් තීන්තවලට වඩා වැඩියි. තොරණ කලාව වෙනුවෙන් වැඩි වශයෙන් යොදා ගන්නේ විහාර සිතුවම් කලාවයි. ඒවායේ වැඩි වශයෙන් යොදාගන්නේ කහ පාටට හුරු තුනපහ පැහැයට සමාන  වර්ණයි. එයින් ආලෝකයත් සමඟ සිතුවම් පෙනෙන්නේ අඩුවෙන්. ඒ නිසා මෙවර සිතුවම්වලට වැඩි එළියක් දෙන ආලේපන මම ගැල්වූවා.සසිත කියයි.

මූලික වර්ණ පහට අමතරව ඔහු විසින් වර්ණ එකට එක් කරගනිමින් වර්ණ සකස් කරගෙන ඇත. ගිනස් වාර්තාවට එක් කළ මෙම තොරණ රූප රාමු 15කින් සමන්විතය. සසිත ඇඳි චිත්‍ර වර්ණ ගැන්වීම සඳහා ඔහුට සහයකයන් දස දෙනෙක් පමණ උදව් කළහ. සමිතිය විසින් ටෙන්ඩරය සසිතටත් නිමල්ටත් ලබාදීමත් සමඟ ඔවුහු තොරණ නිර්මාණය කිරීමේ වැඩි කටයුතු ඇරඹූහ. ඒ අනුව මේ මාස හත අටක සිට දැරූ මහන්සියක ප්‍රතිඵලයකි. මේ සියලු වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ බුදුන් වැඳ සුබ නැකතට අනුවය. සසිතගේ පියාද චිත්‍ර ශිල්පියෙකි. එවකට සසිත තම පියාට අත්උදව් දුන්නේය. මෙය පරම්පරාවෙන් ආ කලාවකි. වර්තමානයේදී සසිතගේ තොරණ චිත්‍ර කලාවට ඔහුගේ පියාගෙන් නිරන්තරයෙන් සහයෝගය හා මගපෙන්වීම ලැබේ.
මෙම තොරණ සඳහා විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසක් සහ එක්ලක්ෂ විසි දහසක් අතර ප්‍රමාණයක් යොදාගෙන ඇත. එහි විදුලි ශිල්පියා වූයේ නිමල් ප්‍රනාන්දුය. ඔහු බොහෝ අත්දැකීම් ලද විදුලි ශිල්පියෙකි. පවතින අධික වර්ෂාව හමුවේ අභියෝගවලට මුහුණ දෙමින් පිළිවෙළට පරිස්සමට තොරණට විදුලිය ලබාදුන් නිමල්, අත්දැකීම් බහුල දක්ෂයෙකි. නිරන්තරයෙන් නිමල් හා සසිත තොරණ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනිමින් නිර්මාණය සිදු කිරීමට කටයුතු කළහ.

පුවක් කොටන් ඉන්දවා සකසන තොරණ “කටු තොරණ” ලෙසින් හැඳින්වේ. ඒ සඳහා කටු තොරණ ශිල්පියෙක් සිටියි. ඒ සම්බන්ධයෙන් ඔහුට අත්දැකීම් හා නිපුණත්වයක් ඇත. ඒ අනුව ශිරන්ත ප්‍රනාන්දු මෙම තොරණ සඳහා සම්බන්ධ විය. තොරණේ මූලික සැලැස්ම වූ පුවක් කොටන් ආකෘතිය මුලින්ම සවි කරන ලද්දේ ශිරන්තගේ මූලිකත්වයෙනි. මෙම තොරණේ එම මූලික කොටස වෙනුවෙන් මාසයක් ගත විය. එය ලෙහෙසි පහසු කටයුතු කටයුත්තක් නොවේ. තොරණ සම්පූර්ණයෙන්ම දරා සිටින්නේ ඒ සැකිල්ල මතය.

ලෝකේ විශාලතම වෙසක් තොරණ නිර්මාණය කිරීමට පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමයෙන් විශාල සහයෝගයක් හා ආශිර්වාදයක් ලැබී තිබිණි. ඒ අනුව ගිනස් පොතට එක් කිරීමට නිර්මාණය වූ මෙම තොරණ වෙසක් මාසයේ විසිතුන් වැනිදා සිට තිස් වැනිදා දක්වා නැරඹීමට අවස්තාව සලසා දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *