ලන්ඩන් නගර ගමනක මතක
බිග්බෙන් ,ඩබල් ඩෙකර් බස් වගේම අමුතුම හැඩේ කළුපාට ටැක්සිකාර්එංගලන්තයේ ලන්ඩන් නගරයට ආවේණික සුවිශේෂී සංකේත. ඒ වගේම තමයි ලන්ඩන් උමං දුම්රිය. ඒවා ගැන අහද්දී කුඩා කාලේ ඉඳන්ම මම හිටියේ කවදා හරි ඒවා හැබැහින් දැකගන්න පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන්. මේ මට හැබෑ කරගන්න පුළුවන් වුනු ඒ හීන ගමනක මතකය ඇසුරින් ඔබව ලන්ඩන් නගරයේ තැන් කිහිපයකට එක්කගෙන යන්නයි මේ සූදානම.
Big Ben
බිග්බෙන් කියන නම ඔරලෝසුවකට ලැබුනෙ හරිම අපූරු විදිහකට. මේ වෙද්දි Elizabeth Tower කියන නමින් හැඳින්වෙන ලන්ඩන් නගරයේ සංකේතයක් බඳු මේ ඔරලෝසු කණුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තිබෙන වෙස් මිනිස්ටර් මාලිගාවේ එක කොටසක්.1834 දී ඇතිවූ ගින්නකින් විනාශ වුණු වෙස් මිනිස්ටර් මාලිගය ප්‍රති නිර්මාණය කළ Charles Barry ගේ අදහසක් අනුව ඉදිවුණු මේ ඔරලෝසු කණුවේ ශිල්පියා Augustus Pugin.
අඩි 316 ක් උස කුළුණේ හතර අතට අඩි 40 ප්‍රමාණයේ මුහුණු ඇති කොරලෝසු හතරක් තියෙනවා. බිග්බෙන් කියලා කියන්නේ මේ ඔරලෝසුවට ඉහලින් තිබෙන සීනු පහෙන් විශාලතම සීනුවටයි. එයට ඒ නම ලැබුණේ කුළුණට නමක් යෝජනා කරද්දි පාර්ලිමේන්තු කතාබහේ කියැවුණු ඉදිකිරීම් කටයුතු භාරව සිටි ප්‍රධාන කොමසාරිස් Sir Benjamin Hall හින්දා කියලයි කියන්නේ.
හැම විනාඩි පහලවකටම වතාවක් කුඩා සීනු හතර නාද වෙනවා. බිග්බෙන් නාද වෙන්නේ හැම පැයකටම සැරයක් පැයේ අගයට ගැලපෙන වාර ගණන බැගින්. දුර ඈත නගරවල ඉඳන් ලන්ඩන් නගරයට මේ සීනු සහ ඉදිකිරීම් ගෙනා ගමනත් අපූරු එකක්.
2022 දී අවුරුදු හතරක සම්පූර්ණ අලුත් වැඩියාවකට ලක්වුණු මේ කුළුණ දැන් නවීන තාක්ෂණික උපාංග වලින් සමන්විතයි කලින් වෙන් කරවා ගැනීම් කරලා වටේට කරකැවෙමින් යන පඩි පෙළ දිගේ පඩි 334 ක් නැගල ගියහම ඔබට එහි අපූරුව හොදින් විදින්න පුළුවන්.
මේ දිගුව ලිපියට අමුණන්නේ තාක්ෂණික තොරතුරු ඇතුලත් කදිම විස්තර වීඩියෝවක් හින්දයි . ඒත් එක්කම ඔබට කැමතිනම් ඒ ගමනටම වෙස් මිනිස්ටර් පාර්ලිමේන්තු චාරිකාවක් එකතු කරගන්නත් පුළුවන්.
London Eye
බිග්බෙන් නුදුරින් තේම්ස් නදියේ දකුණු ඉවුරේ තිබෙන 2000 වසරේ සිට ක්‍රියාත්මක වන විශාල නැරඹුම් රෝදයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. අංක එකේ සිට තිස්තුන දක්වා ( 13 හැර) විශාල වායු සමනය කල නැරබුම් මැදිරි (කැප්සියුල් ) කැප්සිවුලේ තිස් දෙකක් මෙහි තිබෙනවා. ඒවායින් ලන්ඩනයේ ප්‍රාදේශීය කොට්ඨාශය තිස් දෙක නිරූපණය වන බවයි කියන්නේ. ටොන් දහය බැගින් බර ඒවා පැයට කිලෝමීටර් 0.9 ක වේගයෙන් කරකවන්නේ ඒ විශාල රෝදය සම්බන්ධ කල කණුවට බලය සපයන විශාල මෝටරයකින්.
අඩි 443 ක් උස , අඩි 394 ක විෂ්කම්භය ඇති මේ ෆෙරිස් රෝදය නිර්මාණය කළේ Julian Barfield සහ David Marks මූලිකත්වය ගත් නිර්මාණ සමාගමයි. කාලෙන් කාලෙට විවිධ ආයතනවල හිමිකාරීත්වයට පත්වුණු මේ නිර්මාණය ලන්ඩනයට යන කවුරුත්වගේ අමතක නොකර ගොඩවැදිලා බලන තැනක්. විශාල ජනේල තිබෙන කැප්සිවුල් එකකට නැග්ගාම එය වටයක් කරකැවෙන අතරතුර ලන්ඩනයේ බොහෝ තැන් ඔබට ලස්සනට බලන්නට පුළුවන්. හොඳින් ඉර එළිය තියෙන දවසක දවාලට හවසට වගේම රෑටත් මේ සංචාරය විවිධ අත්දැකීම් මවාවි.
Tower Bridge
ලන්ඩනය හරහා ගලායන තෙම්ස් නදිය මතින් දෙපසට ගමන් ගන්නා වාහන , දුම්රිය සහ මගීන් සඳහා පාලම් විශාල සංඛ්‍යාවක් තිබුණත් ලන්ඩනයේ තවත් සංකේතයක් විදිහට Tower Bridge හඳුන්වන්න පුළුවන්. යටත් විජිත පාලන කාලේ තමන්ගේ පාලනය යටතේ තිබූ ලෝකෙ විවිධ රටවලින් අමුද්‍රව්‍ය ගෙනවිත් එංගලන්තයේ නිෂ්පාදන ඒ ඒ රටවලට යවන ක්‍රමවේදය ක්‍රියාත්මක වුනු කාල සීමාවේ දී තෙම්ස් ගඟ හරහා කෙරුණු නාවික ගමනාගමනය ඉතා වැදගත් සාධකයක් වී තිබුණා.
1886-1894 කාලයේදී Horace Jones සැලසුමකට අනුව John Wolfe Bary මේ පාලම නිර්මාණය කළේ Henry Marc Brunel ගේ උදව්වෙන්.
තට්ටු දෙකක් සහිත මේ පාලම, අඩි 213 ක් උස කුළුණු දෙකක් හරහා අඩි අටසීයක් දිගට ගඟ හරහා ඉදිකර තිබෙනවා. කුළුණු දෙක අතර මැද පිහිටි ඉහල කොටස නිර්මාණය වුණේ නැව් ගමනාගමනය සඳහා පාලමේ පහළ කොටස වසා තැබෙන විට මගීන්ට ගමන් ගන්නයි. ජනප්‍රියතාව අඩුවීම නිසා පසු කාලීනව එය භාවිතයෙන් ඉවත් වුවත් සංචාරක ආකර්ෂණය සඳහා අදත් එය භාවිතා වෙනවා.
තවමත් වාහන සහ මගින් විශාල සංඛ්‍යාවක් දිනපතා මේ පාලමේ පහළ කොටස පාවිච්චියට ගන්නවා. මේ වන විට කුලුණු දෙක සහ ඉහළ පාලම සංචාරක කටයුතු සඳහා පමණක් භාවිතා වෙනවා. අදත් පැය විසි හතරකට පෙර දැනුම් දීමක් කලොත් වෙන්කරවා ගත් වේලාවට නාවික යාත්‍රා වෙනුවෙන් පාලම ඉහළට එසවෙනවා. ඒ වගේම වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු බලා ඔබටත් පාලම එසවෙන හැටි, පහත් වෙන හැටි බලාගන්නට පුළුවන්. හයිඩ්‍රොලික් ක්‍රමවේදයකට ක්‍රියාත්මක වුණු මෙය මේ වන විට එසවීම කරන්නේ විදුලිබලය භාවිතයෙන්.
වයස්ගත මේ පාලමේ ආරක්ෂාව වෙනුවෙන් ටොන් දහ අටක බර සීමාවකට සහ කිලෝ මීටර් තිස් දෙකක වේග සීමාවකට යටත්ව වාහන වලට මේ පාලම තරණය කරන්න පුළුවන්.
London Transport Museum
දුම්කෝචි භාවිතයෙන්ම පොළොව යටින් පොදු ප්‍රවාහන සේවයක් 1866 දී ලන්ඩන් නගරයේ පටන් ගනිද්දි බොහෝ දෙනෙක් සැක සංකා පළ කළා. ඒවගේම තමයි Stanislas Baudry තට්ටු දෙකේ අශ්ව රථ හරහා ලොවට දායාද කළ ඩබල් ඩෙකර් බස්. ලෝකයේ හොඳම ප්‍රවාහන සේවාවක් හිමි ලන්ඩනයේදී ප්‍රවාහන කෞතුකාගාරයක් අතාරින්නේ කොහොමද ? අනික් කෞතුකාගාර වල කල් ගත කරන්නට ඉඩක් නොතිබුණ හින්දා අපි ලැබුණු ඉඩේදී ප්‍රවාහන කෞතුකාගාරය බලන්න ගියා.
1980 දී විවිධ ආයතනවලට අයත්ව තිබූ පැරැණි කෞතුක භාණ්ඩ එකතු කරමින් නිර්මාණය වුණු කෞතුකාගාරය තුල ප්‍රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ අශ්ව රථ සහ බස් රථ තමයි. ඒ අතර ලන්ඩන් ටැක්සියකුත් තියෙනවා. පොළොව යටින් දිවෙන ටියුබ් දුම්රිය පිළිබඳ විස්තර රැසක් සහ නිදර්ශන කිහිපයකුත් මෙතනදී දකින්නට පුළුවන්. ඔබ දැඩි දුම්රිය ලෝලියෙක් නම් ඇක්ටන්වල තිබෙන ඔවුන්ගේ සංරක්ෂණාගාරයට කලින් වෙන් කරවා ගැනීමක් කරලා ගිහින් උමං දුම්රිය සහ සංරක්ෂණය වන ප්‍රවාහනය සම්බන්ධ රථවාහන බොහෝමයක් ඔබට බලන්න පුළුවන්.
අනුරුද්ධ වැලිගමගේ
කැනේඩියානු සංචාරයක මතකය
ලැව් ගිනි නිවන Bush Planes බලන්න Sault Ste Marie වලට යමුද?.
ගුවන් පථයක් නොමැතිව ජලය, අයිස්, හෝ ගොඩබිම මත බාන්නට හැකි කුඩා ගුවන් යානා හැඳින්වෙන්නේ Bush Planes යන නමින්. කැනඩාවේ උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශය ඇතුළුව බොහෝ ජනශූන්‍ය ප්‍රදේශ සිතියම් ගත කරන්නට, ලැව්ගිනි නිරීක්ෂණය කරන්නට අතීතයේදී මහත් දායකත්වයක් දැක්වූ එවන් ගුවන් යානා එකතුවක් Sault Ste Marie. වල තිබෙන Canadian Bushplane heritage centre එකේදී ඔබට දකින්නට පුළුවන්. උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශයේ සංචාරයේදී අද අපි ඇවිත් ඉන්නේ එවන් ගුවන් යානා එකතුවක් බලන්න ඒ Sault Ste Marie බලන්න යන අය යන Canadian Bushplane heritage centre.
Canadian Bushplane heritage Centre.
1924 දී ඔන්ටාරියෝ රජයේ ඉඩම් සහ කැලෑ ඇමතිවරයාගේ යෝජනාවකින් ඇරඹුණු The Ontario provincial air service හි මූලස්ථානය පිහිටුවූ පරිශ්‍රයේදී අද ඔබට මේ ගුවන් යානා කෞතුකාගාරය දකින්නට පුළුවන්. තිහකට අධික වෙනස් වර්ග වල ගුවන් යානා එකතුවක් මෙහිදී ඔබට දකින්නට ලැබෙන්නේ 1987 දී ගුවන් යානා වලට පෙම් බැඳි පිරිසක් එකතුව පටන් ගත් මේ මධ්‍යස්ථානය නිසා. මෙහි ඇති සමහර යානා සේවයෙන් විශ්‍රාම ගැන්වුණු ඒවා. තවත් සමහරක් අනතුරුවලට ලක් වුණු ඒවා ප්‍රතිනිර්මාණය කිරීමෙන් පස්සෙ ප්‍රදර්ශනය කරනවා. ඒ අතර ලොව වටා ගුවනින් යන්නට උත්සාහ ගනිද්දී 1937 වසරේ අතුරුදහන් වුනු Amelia Earhart . ගේ ජීවන චරිතය ඇසුරෙන් 2009 දි නිපදවනු ලැබූ චිත්‍රපටයට යොදා ගත් Fokker. වර්ගයේ ගුවන් යානයත් වෙනවා.
කැනඩාවේ ගුවන් ඉතිහාසයට කාන්තාවන් ගෙන් ලැබුණු දායකත්වය , ලැව්ගිනි නිරීක්ෂණ සහ මර්දන කටයුතු ගැන තොරතුරු දැන ගන්නත් මෙය කදිම තැනක්. ලැව්ගිනි මර්දනය පිළිබඳ කදිම චිත්‍රපටයක් ඔබට මෙහි තිබෙන කුඩා සිනමා ශාලාවේ දී ඔබට බලන්න පුළුවන්. වතුර බෝම්බ ලැව්ගිනි සඳහා හෙලන ක්‍රමවේදය ගැනත් ඔබට මෙහිදී හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.
Entomica
මුලින් වෙනත් ස්ථානයක තිබුණු කෘමි සතුන් පිළිබඳ කෞතුකාගාරයත් දැන් මේ පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා.පාසැල් දරු දැරියන් ඇතුළු කෘමි සතුන් ගැන උන්න්නදුවක් දක්වන කාටත් අරුමැසි තොරතුරු රැසක් මෙතනදී දැනගන්න පුළුවන්.
Soo Locks
සුපීරියර් විල සහ හියුරන් විල අතර අඩි 20 ක උස පරතරය මගහරිමින් නාවික ගමනාගමනය සඳහා කැනඩාවේ ඔන්ටාරියෝ පළාත් අන්තයේ එකක් සහ ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ Sabin Lock, Davis Lock, Poe Lock,Macarthur Lock නමින් Lock හතරක් පිහිටුවා තිබෙනවා ඒ වගේම මේ ජල කඳ ගලායාම භාවිතයෙන් ජල විදුලිය උත්පාදනය සඳහා කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් දෙකම ජල විදුලි බලාගාර ඉදිකර තිබෙනවා.
1797 දී නාවික ගමනාගමනය සඳහා ඉදිකර තිබුණු Locks 1812 දී ඇතිවූ කැනඩා ආක්‍රමණයේදී ඇමරිකානු හමුදා විසින් විනාශකර දැමුනු හින්දා 1852 දී නැවත ඒවා ඉදිකරනතෙක් වසර හතළිහක් භාණ්ඩ ප්‍රවාහන නෞකා වලට සුපීරියර් විල අන්තයේදී බඩු බාල හියුරන් විල අන්තයට ගොඩබිමින් ගෙනිහින් ආයෙමත් වෙනත් නැවක පටවන්න සිදුවුණු බවයි කියන්නේ. මේ ප්‍රදේශය ගැන හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ Sault Lock Tour යාත්‍රාවකින් ගිහින් තමයි.
Miss Marie Sault Lock Tours
කැනඩා අන්තයෙන් ක්‍රියාත්මක වන මේ චාරිකාවට කැනඩා ඇමරිකා දේශසීමා දෙකේම ජල ප්‍රදේශ භාවිතා වුණත් ගොඩ බහින්නට ඉඩක් නොලැබෙන හින්දා ඇමරිකානු වීසා හෝ කැනඩා ගමන් බලපත්‍රය ගෙනයන්න ඕනෑ වෙන්නේ නෑ . දවසකට දෙවරක් ක්‍රියාත්මක වන මේ චාරිකාවට පැය දෙකක් විතර යනවා. මේ චාරිකාවේදී යාත්‍රාව canadian සහ american locks හරහා යනවා. මගීන් 100 දෙනෙකු ගෙනයන්නට පුලුවන් මේ යාත්‍රාව උදෑසන දහයට සහ සවස එකට මැයි සිට ඔක්තෝබර් දක්වා මාස වල දිනකට චාරිකා දෙකක් ක්‍රියාත්මක කරනවා. අන්තර්ජාලයෙන් හරි එතැනට ගිහිල්ලා හරි වෙන්කරවා ගන්න පුළුවන් මේ Locks .හරහා යන චාරිකාවට අමතරව තෝරාගත් දවස් වලදී රාත්‍රී 7 සිට 9 දක්වා ඉර බහින මනරම් දසුන් බලන්නට විශේෂ චාරිකාවක් ද එම යාත්‍රාවම භාවිතා කරමින් ක්‍රියාත්මක කරනවා.
Metis Tours
St. Mary’s ගඟ දිගේ මේටි ජනයාගේ සංස්කෘතික සහ පාරිසරික සංචාරයක යෙදෙන්න පුළුවන් . කැනඩාවට ආවේණික Big Canoe එකක දියෙන් හරි ගඟ අයින දිගේ ඇවිදින සංචාරයකට හරි එකතුවෙලා හරි ඔබට ඒ අත්දැකීම ලබන්න පුළුවන්.
Crystal Falls
Sault Ste mary .නගරයේ ඉඳන් විනාඩි 15ක විතර ගමනකට පස්සේ හමුවන kinsmen පාර්ක් එකේදි ඔබට crystal falls දියඇල්ල බලන්න පුළුවන්.
ඒ වගේම මේ ප්‍රදේශයේ ප්‍රවේශය සංචාරය කරන කෙනෙකුට කුඩා දිය ඇලි කීපයක්ම බලන්නට පුළුවන්. Connor Road Falls, Root Cascade ඉන් කිහිපයක්.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ – අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.