මාස දෙකක් තුළ වරාය මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට ලබා දීමට රජය පිඹුරුපත් සකසා ඇති අතර වත්මන් වරාය ඇමතිවරයාගේ වුවමනාව මත මෙම කටයුතු සිදුවන බව වරාය වෘත්තීය සමිති චෝදනා කරයි.
වසර 80ක් පමණ පැරණි මෙම මුළුතැන්ගෙය පාඩු ලබන බව පවසා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට වරාය මුළුතැන්ගෙය ලබා දීමට යන බව ද වරාය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ පවසනවා.
මෙම මුළුතැන්ගෙය පාඩු ලබන තත්ත්වයේ පවතින්නේ පාලනාධිකාරීන්වල පවතින දූෂිතභාවයන් නිසා යැයි ද එම දූෂණ හා අක්‍රමිකතා නැවැත්වීමෙන් මෙම මුළුතැන්ගෙය ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව ද ඔහු සඳහන් කළා.
වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු තවදුරට ත් සඳහන් කළේ, මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට ලබා දුන්නොත් පසුගිය සමයේ ඇතිවූ කොවිඩ් වැනි ව්‍යසනකාරී තත්ත්වයකදී වරාය සේවකයන්ට එකවර ආහාර සැපයීම දුෂ්කර වනු ඇති බවයි. එම නිසා වරාය මුළුතැන්ගෙය පෞද්ගලීකරණය නොකරන ලෙස වරාය වෘත්තීය සමිති බලධාරීන්ට ලිඛිතව දැනුම් දුන්න ද ඊට බලධාරීන් කන් නොදුන් බවද ඔහු කියා සිටියා..
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මුළුතැන්ගෙය පෞද්ගලික අංශයට පැවරීමට පියවර ගෙන ඇත්තේ, වරාය සේවකයන්ට ගුණාත්මක ආහාර වේලක් ලබා දීමට බව ද ඒ අනුව, රුපියල් 500කට පමණ මිල කර ඇති කෑම පැකට්ටුවක් මේ හරහා රුපියල් 400ක පමණ මිලකට ලබා දිය හැකි බව ද මේ පිලිබදව අදහස් දක්වමින් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කලා.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු, මුළුතැන් ගෙවල් පාලනය කරන සමාගමක් නොවන බව ද මෙම ආහාර ලබා දීමේ කාර්යයට මෙරට ප්‍රධාන පෙළේ හෝටල් 2ක් පමණ මේ වන විට ටෙන්ඩර් කැඳවීම්වලට අනුව ඉදිරිපත් වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම මුළුතැන්ගෙය ගුණාත්මකභාවයෙන් යුතු තැනක් කිරීමට විරුද්ධ වන්නේ එයට ලැබෙන එළවළු, මස්, මාළු, බිත්තරවලින් පවා ගසාකෑම් සිදු කරන පුද්ගලයන් බව ද ඔවුන් දැනට ලබා දෙන කෑම පාර්සලය ද වැඩි මිලට වෙනත් පාර්ශ්වවලට විකුණා කටයුතු කරන දූෂිත පිරිසක් බවයි.