අනතුරුදායක වැල් පාලමෙන් ලංකා මාතාව ඉදිරියට ගෙනාවා – ජනපති ජාතිය අමතයි

එදා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දුව පරිදිම ලංකා මාතාව යන දරුවා අනතුරුදායක වැල් පාලමේ මෙතෙක් ඉදිරියට ගෙන ඒමට හැකි වූ බවත්, හුණුවටයේ කතාවේ මෙන්ම අසීරු අවස්ථාවේ දරුවා රැකගැනීමට බිය වූ සහ ඊට කිසිදු සහායක් ලබානුදුන් පිරිස් දරුවා වැල් පාලමින් එගොඩ වන්නත් පෙර දරුවාගේ අයිතිය ඉල්ලීමට සටන් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

පසුගිය 26 වැනිදා පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපතිවරයා හෙළිකළේය.

රටට ආදරය කරන සියලුදෙනාට මෙය සුබ ආරංචියක් බව පැවසූ ජනාධිපතිවරයා‍ ඇතැමුන් ජනාධිපති ධූරය වෙනුවෙන් වෙහෙසෙද්දී තමන් වෙහෙසෙන්නේ රට වෙනුවෙන් බවත්, ඔවුන් තමන්ට ලැබෙන තනතුරු ගැන සිහින මවද්දී තමන් රටේ දියුණුව ගැන සිහින මවන බවත් සඳහන් කළේය.

ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් ලේබලය වැදී සිටි රටක් ලෙස වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබාගැනීම ජයග්‍රහණයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා, මෑත ඉතිහාසයේ ආර්ථික ආගාධයට වැටී තිබූ ලොව කිසිඳු රටක් මෙතරම් කෙටි කාලයක් තුළ එම තත්ත්වයට පත්ව නොමැති බවද පෙන්වා දුන්නේය.

රට මුහුණදී ඇති අභියෝගය සැබෑ ලෙසම තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ තමන් සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එසේ නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමග එක් වෙනවාද යන්න රටේ ජනතාව තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පසුගිය 26 වැනිදා පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *