කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයට විශාල සමාජ මෙහෙවරක් කල වන්නි ධනවර්ධන මහතා මේ ලිපිය ලිවීමට පෙර මට නන්නාඳුන පුද්ගලයෙක්. චකිතයකින් ආරම්භ වූ ඒ මුල්ම දුරකථන ඇමතුමෙන්ම මගේ ඒ ආගන්තුක හැඟීම නැති කිරීමට ඔහුගේ ප්‍රියමනාප සහ සුහදශීලී බවට හැකිවීම මම දකින්නෙ ඔහුගේ අපූර්වතම ශිල්පයක් හැටියට. ඊට පස්සෙ අපි පැය එක හමාරක පමණ කාලයක් එක දිගටම කතා කලා.
ලෝකයේ බොහෝ රජවරුන්ගේ ඔටුනුවලට සහ ආභරණවලට අලංකාරය ගෙන දෙන නිල් රතු මැණික්වලට ප්‍රකට රත්නපුර දිස්ත්‍රික්කයේ දොඩම්පේ බටුගෙදර කියන සුන්දර ගම්මානයේ තමයි වන්නි ධනවර්ධන මහතා ඉපදුනේ.ජැක්සන් ඇන්තනි නිර්මාණ කරුවාගේ “කළු ගඟ දිගේ” වැඩ සටහනේ විස්තර කරන විදියටම, කළු ගං කොමලිය බටුගෙදර ගමේ මායිමෙන් ගලා ගිය ලතාව ඔහු මතක් කලේ පුදුම සතුටකින්. ගඟ ගැන මතක් කරනවාත් එක්කම වන්නි ධනවර්ධන මහතාට මෙහෙම කියවුනා. “අවාසනාවකට මම එක දවසක්වත් ඒ ගඟේ නාලා නැහැ”.ඇත්තටම ධනවර්ධන මහතා එහෙම කිව්වෙ පුංචි කණගාටුවකුත් එක්ක. ඊලඟට තමයි කිව්වෙ “මම හුඟක් පුංචි කාලෙ ගඟේ ගිලෙන්න යද්දි අපේ අය්යා යන්තම් කොණ්ඩෙන් අල්ලලා තමයි මගේ පණ බේරා ගෙන තියෙන්නෙ. මේ සිද්ධියට බයවෙච්ච අපේ අම්මයි තාත්තයි අපිට කවදාවත් ඊට පස්සෙ ගඟේ නාන්න දුන්නෙ නැහැ”. ඒත් එක්කම එතුමා සිහින් සුසුමක් පිටකලා.
ඉතාමත් පැරණි ව්‍යාපාරික පවුලකින් පැවත එන පියාටත්, ගුරුවරියක් වූ මවටත් දාව ඔහු ඉපදුනේ 1949 වර්ෂයේ. ඔහුට සොහොයුරු සොහොයුරියන් පස් දෙනෙක් හිටියා. ඔහුගේ දෙමාපියන්, වැඩිමහල් සොහොයුරියක් සහ වැඩිමල් සොහොයුරෙක් අද ජීවතුන් අතර නැති බව ඔහු කිව්වෙ තරමක් වේදනාවකින්. මේ වනවිට ඉතිරිව සිටින්නේ වැඩිමහල් සොහොයුරියක්, බාල සොහොයුරෙක් සහ බාල සොහොයුරියක් පමණයි.
ගුරුවරියක් වූ වන්නි මහතාගේ මව සමඟ ඔහු 6 වසර දක්වා ගියේ දොඩම්පේ රාහුල විදයාලයට. පසුව රත්නපුර සීවලී විද්‍යාලයට ඇතුල්වූ ඔහු HSC දක්වාම අධ්‍යාපනය ලැබුවෙ ඒ පාසැලේ. HSC කියන්නෙ ඒ කාලෙ උසස් පෙලට කියන නම. උසස් පෙලඅවසන් කරපු ඔහු මරදානේ පිහිටි ටෙක්නිකල් කොලීජියෙන් ලඝු ලේඛනය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. ඒ වන විටත් විවාහ ගිවිස ගෙන සිටි ඔහුට පාඨමාලාව අතරතුරම ජර්මනියට යන්න අවස්ථාවක් උදා උනා.
මම ඔහුගෙන් ඇහුවා “ඇයි ඔබ ලංකාව දාලා පිටරටකට යන්න තීරණය කලේ”කියලා. එයට පිළිතුර වුනේ “අපේ රටේ ජීවත්වන සෑම යෞවනයෙකුටම තියෙන ප්රශ්නය වන මනා අධ්‍යාපන අවස්ථා නොතිබීම, රැකියා අර්බුදය, දේශපාලන අස්ථාවරත්වය .මේ ප්‍රශ්න අපේ පවුලටත් දැනුනා. ඒක නිසා මමත් මගේ සොහොයුරු සොහොයුරියනුත් විදේශගත වෙන්න පෙරුම් පුරා ගෙනයි හිටියෙ. ඒකයි ටෙක්නිකල් කොලීජියේ පාඨමාලාව දමලා ගහලා මම ජර්මනියට පැන ගත්තෙ”. “මම ලංකාවෙදි ජර්මන් භාෂාව පිලිබඳ පාඨමාලාවක් හදාරා සාමානය දැනීමක් තිබුන නිසා ඒ රටේ යන්තම් අවුරුදු 3ක් පමන ජීවත්වීමට පුළුවන් වුනා නමුත් වසර කිහිපයක් යාමට මත්තෙන්, මගේ පවුලේ අනාගත පැවැත්මට ජර්මනිය සුදුසු නොවන බව මට හැඟුනා”. ඔහුගේ ඒ තීරණයට ප්‍රබලම හේතුව තමයි ජර්මන් භාෂාව කතා බහ කර ගැනීමට හැකියාවක්තිබුනත් ඔහුගේ ජර්මන් භාෂා සාක්ෂරතාවය දුර්වල මට්ටමක තිබීම.ජර්මනියෙදිත් ඔහු යම් තරමක භාෂා අධ්‍යාපනයක් ලබා ගත්තේ, රැකියාව සම්බන්ධ සන්නිවේදනයට එය අත්‍යාවශ්‍ය නිසයි. හාෂා ප්‍රශ්ණයත්, ජර්මනියේ සමාජ වටපිටාව නොගැලපීමේ හේතුවත් නිසා, ඔහු තීරණය කලේ ඉංග්‍රීසි කතා කරන රටකට යන්නටයි.
ඔහුගේ උත්සාහයේ ප්‍රථිපලයක් හැටියටයි 1990 කැනඩාවට ගොඩ බැසීමේ භාග්‍යය ඔහුට ලැබුනෙ.මගේ ඊලඟ ප්රශ්නය “ඇයි ඔබ කැනඩාවම තෝරා ගත්තෙ” කියලා. ඔහු සිනහ මුසුව මෙහෙම කිව්වා “මම ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් සලකා බැලුවා. ඇත්තටම ඉස්සෙල්ලම ගියෙත් ඇමෙරිකාවට.නමුත් ඒ සෑම රටකටම වඩා කැනඩාව හොඳ රටක් හැටියට එවකට ලොව පුරා නම් දරා තිබූ නිසා මම කැනඩාව තෝරා ගත්තා. ඇත්තටම කැනඩාව ඒ ඔක්කොම රටවලට වඩා හොඳයි, ජාතිවාදයත් බොහොම අඩුයි. දරුවන්ට අධ්‍යාපනයත් ඒ තරම් මිල අධික නැහැ, ඒ වගේම මේක ආරක්ෂිත රටක්”.
සංක්‍රමණිකයින් සම්බන්ධව ලිපි ලියන මට නිරායාසයෙන්ම කුතුහලයක් ඇති වුනේ සංක්‍රමණිකයෙකු හැටියට කැනඩාවට පැමිණි මුල් කාලයේ මුහුණ දීමට සිදුවූ ප්‍රශ්න පිළිබඳව දැන ගන්න. ඔහු වචන ගැට ගැසුවා “වාසනාවකට සංක්‍රමණිකයින් බොහෝ මුහුණ දෙනෙකු මුහුණ දෙන ප්‍රශ්න වලට මුහුණ දීමට මට සිදු උනේ නැහැ.අපිට තිබුනු බරපතලම ගැටළුව තමයි සීතල. ඒ කාලෙ අදටත් වඩා කැනඩාව සීතලයි. ඒ වගේම මම හිටියෙ විශ්ව විදයාලයට යාමට හැකි පසුබිමක නොවන නිසා කැනේඩියානු ජීවිතේ පටන් ගන්න සිදු වුනේ ගෙයින් ගෙට ප්‍රාදේශීය පුවත් පත් බෙදීම වැනි පොඩි පොඩි රැකියාවල් කරලා. නමුත් මට හුඟක් සංක්‍රමණිකයින්ට තිබෙන ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ගැටළුව ඇති නොවුනෙ, අපි ලංකාවේ පාසැල්වලදී ලද ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා.ඒ වගේම හමේ වර්ණය මට කිසිසේත්ම බලපෑවෙ නැහැ.පසු කාලීනව General Electric සමාගමට බැඳුනු ඔහු වසර කිහිපයකින් ටොරොන්ටෝ නගරයේ වෙනත් පුද්ගලික ආයතනයක රැකියාවට පැමිණියේ දුරක තිබූ General Electric රැකියා ස්ථානයට යාමට ඒමට තිබූ ගමනාගමනයේ අපහසුතාවය හේතුවෙන්. ටොරොන්ටෝවේ රැකියා ස්ථානයේ විශ්‍රාම යනතෙක්ම ඔහු සේවය කලා.
ධනවර්ධන මහතා සිංහල සංගමයට සම්බන්ධ වූනේ කැනඩාවට පැමිණි මුල් කාලයේදීමයි. සිංහල සංගමය පටන් ගත්තෙ 1993, නමුත් ලියාපදිංචි කලේ 1998. ඒ සඳහා මූලිකත්වය දැරුවේ නීතීඥ මෙල්වින් බොරලැස්ස, සෙනරත් විජේසේකර, තිස්ස මල්ලවාරච්චි, නීතීඥ දොන් පතිරාජ මහත්වරු සමඟ සහ වන්නි ධනවර්ධන මහතා.1998 පටන් සංවිධායක සහ භාණ්ඩාගරික තනතුරු දෙකම ධනවර්ධන මහතා දැරූ අතර සභාපතිකම දැරුවෙ දොන් පතිරාජ මහතා. 2002 දී පතිරාජ මහතා සිංහල සංගමයෙන් ඉවත් වූවාට පසුව නීතීඥ මෙල්වින් බොරලැස්ස මහතා සභාපති පදවියට පත් වුනා. 2007 දී සභාපතිකම භාර ගත් වන්නි ධනවර්ධන මහතා එතැන් සිට 2017 දක්වා වසර 10 ක්ම සිංහල සංගමයට නායකත්වය දෙමින් සමාජයට ඉතා මහඟු සේවයක් ඉටු කලා.
සිංහල සංගමය 1999 ආරම්භ කල“සත්සර රාවය”නම් වූ ගුවන් විදුලි වැඩ සටහනට ලැබුනෙ නොසිතූ විරූ ප්‍රතිචාරයක්. “සත්සර රාවය”දොන් පතිරාජ මහතා පටන් ගත්තෙ තම දරුවන් යොදවා ගෙන ඉතා පෞද්ගලික මට්ටමින්. නමුත් සිංහල සංගමය ඒ වැඩ සටහනේ භාරකාරත්වය ගෙන Scarborough දී ඒ කටයුත්ත ඉතාමත් සාර්ථකව කරගෙන ගියා. මව් රට හැර යෑමේ වේදනාත්මක හුදෙකලාවෙන් අතරමං වූ ලාංකික ජනතාවට මේ සංදර්ශන ලබා දුන්නෙ ඉතාමත් සුන්දර ආස්වාදයක්. සිංහල සංගමය 2000 දී ප්‍රථම වතාවට කැනඩාවේ බක් මහ උළෙලක් ආරම්භ කලා. ඉතාමත් සාර්ථක වූ මේඋළෙලෙහි චාරිත්‍ර වාරිත්‍ර සිදු වූයේ ලංකාවේ සිදුවන ආකාරයටමයි. ශ්‍රී ලාංකික ජනතාවගේ පාලුව කාංසිය මඟ හැර ගැනීමට මේ බක්මහ උළෙල විශාල රුකුලක් වූනා. කොට්ටා පොර, කඹ ඇදීම, ග්‍රීස් ගහේ යාම වැනි සුපුරුදු අංග ඇතුලත්ව 2016 දක්වාම සෑම අප්‍රේල් මාසයකම අංග සම්පූර්ණව මේ බක්මහ උළෙල පැවැත් වුයේ කැනඩාවේ ටොරොන්ටෝ අවට ශ්‍රී ලාංකික ජනතාවගේ ආශීර්වාදය මැදයි . ඒ වකවානුවේදීම හිටපු ටොරොන්ටෝ කොන්සල් ජෙනරාල් කරුණාරත්න පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් සිංහල සංගමය “බසක වරුණ” වැඩ සටහන පටන් ගත්තේ කැනඩාවේ වෙසෙන සිංහල බස කතාකිරීම වැඩි දියුණු කරන්නයි. සිංහල සංගමය මගින් “බසක වරුණ” වැඩ සටහන දෙවරක්ම එලිදැක්වීම කලා.
වන්නි ධනවර්ධන මහතා 94-98 වසරවල Toronto Buddhist සඟරාවේ ප්රවෘත්ති සංස්කාරක වශයෙනුත් කටයුතු කලා. මේ කාලෙම ටොරොන්ටෝ විහාරයේ සාහිත්‍ය සංගමය මගින් ආධුනික ගී ප්‍රසංගයක් පටන් ගත්තා.
ඊට සමකාලීනවම ලංකාවේ Media Foundation එකේ Toronto ශාඛාව මගින් මාධ්‍ය සම්මාන උළෙලක් එතුමා සංවිධානය කලා. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික සමාජයට මෙහෙවරක් කල අයව ඇගයීම එහි අරමුණ වුනා. ඒ සදහා තෝරා ගනු ලැබුවේ සෑම ක්ෂේත්රයකම ආරම්භක නියමුවන්, මුල්ම රූපවාහිනී වැඩ සටහන, මුල්ම පත්තරය, මුල්ම සංගීත සංදර්ශනය වැනි දේ වෙනුවෙන් මූලිකත්වය ගත් අයට එහිදී සම්මාන ප්රදානය කලා.
සිංහල සංගමය මගින් කැනේඩියානු ශ්‍රී ලාංකිකයින්ගේ ආස්වාදය සඳහා පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, ගුණදාස කපුගේ, එඩ්වඩ් ජයකොඩි වැනි ප්‍රවීන ගායක ගායිකාවන් ගෙන්වීම සේම “මාමයි බෑනයි”වැනි ප්රසාංගික සංදර්ශනද බොහොමයක් සංවිධානය කලා. මේ අතුරින් වන්නි ධනවර්ධන මහතාට කිසිදා අමතක නොවන ඉතාමත් විශේෂ සිදුවීමක් ලෙස ජෝ අබේවික්‍රම නම් ප්‍රතිභා පූර්ණ නළුවා දැවැන්ත චරිතයක් කල “පුර හඳ කළුවර” සිනමා නිර්මාණය ජෝ අබේවික්‍රම මහතා සමඟම කැනඩාවට ගෙන්වා මුල්‍යමය ප්‍රදානයක් සමඟම ඔහුට සම්මානයක් පිරිනැමීම සටහන් කර තබන්නට කැමතියි .
2004 සිදුවූ සුනාමි ඛෙදවාචකය නිසා විපතට පත් පිරිස් වෙනුවෙන් ටොරොන්ටෝ අවට ජීවත් වූ බොහෝ ලාංකිකයින්ගේ සහයෝගය ඇතිව ඇඳුම් පැලඳුම්, සහ වෙනත් අත්‍යවශ්‍ය දේ එකතු කර ලංකාවට යැවීමට සිංහල සංගමය ඉතා උනන්දුවෙන් මැදිහත් වූ බවත් සිහිපත් කර තබන්නට කැමතියි . ලැබුනු මුදල් ආධාරවලින් ලංකාවේ විපතට පත්වූ එක් පවුලකට නව නිවසක් සහ තවත් පවුල් දෙකක විනාශයට පත්වූ නිවාස දෙකක් මුළුමනින්ම අලුත්වැඩියා කර දී විශාල පුන්‍ය කර්මයක් සිදු කලා.
මීට අමතරව, ආබාධිත අය සඳහා අළුත්ම රෝද පුටු 30 ක් පරිත්‍යාග කලේ ලංකාවේ මහජන බැංකුවත් සහභාගි කරවාගෙන.ලංකාවේ මාකොළ උතුර, දකුණ සහ රුවන්වැල්ල යන ප්‍රදේශවල අඩු ආදායම් ලබන පුද්ගලයින් වෙනුවෙන් අක්ෂි සායන දෙකක් පවත්වා ඇස් කන්නාඩි බෙදා දීමෙන් සිංහල සංගමය ඉතා වටිනා සේවාවක් සිදුකලා.
ධනවර්ධන මහතා ඉතා අවධාරණයෙන් කියා සිටියේ “බොහෝ අය කැනඩාවේ ජීවත් වෙමින් ලංකාවේ බලයේ සිටින දේශපාලන පක්ෂවලට සහයෝගය දැක්වූවත් අපි සිංහල සංගමය පවත්වාගෙන ගියේ කිසිම ලාංකික දේශපාලන පක්ෂයට පක්ෂපාතිත්වයක් නැතිව. ඒ වගේම හමේ වර්ණය, භාෂා ප්‍රශ්න සංගමයට ගාව ගත්තෙ නැහැ. අපි සත්සර රාවය කලේ ලාංකික දෙමළ ජනතාව වැඩිපුරම ගැවසෙන Scarborough Town Cetre එකේ, අපි සිංහල කොඩි දානකොට හැමෝම කිව්වා, කැනඩාවේ ජීවත්වන ලාංකික දෙමළ ජනතාව අපිට ගල් ගහයි, හූ කියයි කියලා, නමුත් එවැනි සිදුවීම්වලට අපි මුහුණ දුන්නේ නැහැ.2000 වසරේ බක්මහ උළෙල කරන අවස්ථාවේදී, ලංකාවේ සිවිල් යුද්ධ තත්වය උග්‍රව තිබුණු නිසා , අපි ටොරොන්ටෝ පොලිසීයෙන් ආරක්ෂාව ඉල්ලුවා. පොලිස් කාර් දෙකක් අපේ ආරක්ෂාවට පැමිණියත්, කිසිම කඩාකප්පල්කාරී සිදුවීමක් වාර්තා වුනේ නැහැ. සිංහල සංගමය සෑම ජාතියක් සමඟම ගනු දෙනු කලේ, ආගම්, පක්ෂ, ජාති භේද තැකීමක් නැතිව. මම අදටත් ඒ බේදය තරයේ ප්‍රතික්ෂේප කරනවා.”
“පසුගිය අවුරුදු 5 තුල සංගමයේ නොසිටියත් අපේ සමාජයේ ඕනෑම අවශය තාවයකදී මගේ සම්පූර්ණ සහයෝගය අදටත් දෙනවා, ඒ වගේම හෙටත් දෙන්න සූදානම්” තවදුරටත් ඔහු පැවැසුවා.ඒ වගේම පසුගිය අවුරුදු 5 තුල පෞද්ගලික මට්ටමින් හැකි උපරිම සේවයක් කැනේඩියානු ශ්‍රී ලාංකික සමාජයටත්, ලංකාවටත් කිරීමට වෙර දැරූ බව ඔහු පැවසුවා. රත්නපුරයේ ගංවතුර වෙනුවෙන් කල මුල්‍යමය ආධාර සැපයීම ඉන් එක අවස්ථාවක්.
“ විශ්‍රාමික මගේ ජීවිතයේ සැඳෑ සමය බිරිඳ සහ දියණියන් දෙදෙනා සමඟ සැනසිලි සුවය වින්දත් අදටත් මම කැමතියි සමාජයත් එක්ක ජීවත් වෙන්න” ධනවර්ධන මහතා එහෙම කිව්වෙ බලාපොරොත්තු පිරුණු තරුණ හදවතකින්.“මම ඉතාමත් ප්‍රිය කරන දෙයක් තමයි ගිම්හානයේ බිරිඳත් සමඟ කරන ගෙවතු වගාව”.
ධනවර්ධන මහතාගේ සමාජ මෙහෙවර ගැන කරුණු අවබෝධ වී සිටි මට විශාල කුතුහලයක් ඇති වුනු නිසා මම මෙහෙම
ප්‍රශ්නයක් ඇහුවා “ඇයි ඔබ මේ වගේ පොදු දේවලට සම්බන්ධ උනේ? ඔබටත් තිබුනනේ තමාගේ පවුල රැකගෙන නිස්කලංක ජීවිතයක් ගෙනියන්න?” ඔහු මෙන්න මෙහෙමයි පිලිතුරු දුන්නෙ “අපේ දෙමව්පියන් සෑම විටම පොදු සමාජය එක්ක ලඟ සබඳතාවයක් පැවැත්තුවා. මම හිතන්නෙ, ඒ දර්ශනය මගේ හිතට කා වැදිලා මේ වගේ පොදු දේවලට සම්බන්ධවීමට පෙලඹවී මක් ඇති වෙන්න ඇති”.
අවසානයේදී මම ඔහුගෙන්ඇහුවෙ “ඔබට ජීවිතයේ මඟ හැරුණු සිහිනයක් එහෙම තියෙනවද” කියලා. ඔහු සිනා මුසු හඬින්මෙහෙම කිව්වා, “කළු ගඟේ නාන්න ලැබුනොත්” කියලා. ජීවිතේ සැඳෑ සමය තෘප්තිමත්ව ගත කරන වන්නි ධනවර්ධන මහතාගේ කැදැල්ලට සාමය සතුට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම මේ ලිපිය නිමා කරනවා.