වැඩි වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි.

රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් පසුගිය 08 හා 09 යන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය.ඒ, රජයේ විධායක නිලධාරින්ගේ දීමනාව, රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පල කරමිනි.රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ, තවත් වෘත්තීය සමිති 300 ක් පමණ සිය වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයට එක්වු  බවයි.සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතනවල හා පළාත් රාජ්‍ය ආයතනවල සාමන්‍ය කටයුතු පවත්වාගෙන යාමේ ගැටලු මතුවු බවද ඔහු පැවසුවේ ය..

මේ අතර, දිවයින පුරා ග්‍රාමසේවා වසම්  14,022 ක සේවය කරන 12,000කට ආසන්න ග්‍රාමනිලධාරීන් ද  ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පලකර තිබුණා.ලංකා ගුරු සංගමයේ භාණ්ඩාගාරික තරංග ගොන්සාලුගේ මහතා පවසන්නේ 08 වැනිදා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කලත් 09 වැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවයි.කෙසෙවෙතත් මව්පියන්ගේ සහාය ඇතුව ඉදිරි සතියේ පාසල් කටයුතු පවත්වාගෙන යන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය, විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබුණා.

මේ අතර දිවයින පුරා පිහිටි  4700 කට අධික තැපැල් හා උප තැපැල් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයින් 20,000 කට අධික පිරිසක්ද වැඩවර්ජනයක් අරඹා තිබුණා.ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, බඳවා ගැනීම් සහ ස්ථිර නොකිරීම මෙන්ම උසස් වීම් ලබානොදීම ඇතුලු ගැටලු මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කල බවයි.

මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය මාස 02ක් ඉකුත්ව තිබෙනවා.මාසික හිලව් දීමනාව ඉහළ නැංවීම හා 15% ක වැටුප් කප්පාදුවට විසදුම් දෙන්නැයි ඉල්ලායි  ඔවුන් වැඩවර්ජනයේ නිරත වන්නේ.‍

රජයේ මිනින්දෝරු නිලධාරින් ආරම්භ කළ අකුරට වැඩ කිරී‍මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්ද ක්‍රියාත්මකයි.ඒ අනුව ඔවුන් ඉඩම් පිඹුරු සහතික කිරීමෙන් හා සංවර්ධන කමිටු රැස්වීම් සඳහා සහභාගි නොවනු ඇති. 

මේ අතර වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.

එමෙන්ම මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බව ද ඒ මහතා කියා සිටියා.

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගිය 08 වැනිදා පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කර තිබුණා.

පවතින අයවැය ප්‍රතිපාදන මත මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති බවත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් භාණ්ඩාගාර ලේකම් මෙහිදී අවධාරණය කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *