පරිවර්තන කවි

අජියගේ මාසෙ පඩිය

friends, people, group-2605006.jpg

මාසෙ අගදී අදුරු යායට සද බිදක් වැටිලා 

ගැට ගැසී තිබු පපුව ලිහිලා , බෝඩිමේ හැලිලා 

අජියගේ කළු මූන වෙනදට වඩා හරි එළියයි 

කවුළු ඇරිලා , හිනා පිරිලා , මකුළු දැල් කැඩිලා 

සිකියුරිටි උපසේන නම් කලියෙන් නිදාගත්තා 

දවසෙ වෙහෙසෙම කාන්දම මාවත් ඇදට ඇද්දා 

රැයේ නිදි වරමින් අජිත් මොනවාද ගැලපූවා 

මේක අම්මට , මෙය තාත්තට කියා වෙන්කෙරුවා 

උකස් කල අක්කාගේ මාලේ පොලිය ගැන කිව්වා 

කොටු රූල් කොලයක් පිරෙන්නම තව ගණන් හැදුවා 

පුංචි මල්ලිගෙ පපුවෙ සිදුරක් ඇතැයි පැවසූවා 

කොළඹ  එක්කන් යන්න ගාණක් වෙනම වෙන් කෙරුවා 

උදේ බැලුවම සිකියුරිටි උපසේන හිටියේ නෑ , ගණන් ගැලපූ කොලය වැටිලා පෑගිලා තිබුණා 

පෙරේදා අපි තුන් දෙනාටම බත් මුලයි තිබුණේ,අපේ පැත්තට තල්ලු කර කර ඌ ටිකයි කෑවේ 

කවදා හෝ අපි කැඩී වෙන්වී යන බවක් කිව්වේ, රෑට වෙරිවූ වෙලාවට ඌ හෙමින් ඇඩුවේ 

උපේ උඹ දන්නවද අජියා 

උඹට මොකවත් කිව්වේ නෑ 

එදා ඌ කල්පනා කර කර හිටියා 

ඊට පස්සේ දැක්කෙ නෑ 

කවියා  – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල  

කවි පොත – හිරුත් හිම පියල්ලක 

සංචරණි ඔයා….

සුදු පාට මීඳුමේ දුහුල් තිර ඉරාගෙන

අවාරෙත් රතු පාට මැයි මාර හිනාවෙන

ඈත දුර ගවරවෙල කන්ද දෙස බලාගෙන

ඇබිති තුත්තිරි මලකි ජීවිතේ කියාදෙන

ආදරෙත් රැගෙන නිති පෙත් මඟට වඩින්නී

ඉගුරු මල් සුවඳක්ව හාත්පස පිරෙන්නී

මුඳු මන්දහාසයක් කන්ද වෙත පුදන්නී

අනුප්‍රාසම රසට සුදු පාද තබන්නී

හරිත පැහැ කඳු විළුඹ පාමුලෙන් මැකී

සළඹක්ව දුර ඇදෙන දුම්‍ රියේ නැගී

කියන්නට කලින් මගෙ සෙනෙහසේ හැටී

නොඑන්නට ගියපු නුඹ මීඳුමක් වැනී

ඔබ නැතුව කල්පයක් කඳු අතර ගෙවුණී

ඔබ නැතත් ඔබෙ නමට මැයි මාර පිපුණී

කොහේ හෝ ඔබ ඉතින් වෙසේනම් සුවෙණී 

නොකී හින්දාම පෙම රහයි  සංචරණී

ශානිකා ශෂිප්‍රියා , සොඳුරු සඳවතී බ්ලොග් අඩවියේ ලියා තිබූ සටහනකින්

https://kavisandalla.blogspot.com/2024/07/blog-post.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *