සිංහල කෙටිකතාව
සීනි සම්බෝලය
කාර්මික නිළධාරියකු වූ වීරසේන උන්නතිකාමි යැයි කිවහොත් එය වරදක් නොවේ. නිතරම උසස්වීම් ලබා ගැනීම සඳහා උත්සුක වූ ඔහු ප‍්‍රධානීන්ගේ හිත් දිනා ගැනීම සඳහා බොහෝ දෑ කළේය. වෘත්තීය ජීවිතයේ ඉහළ නැගීම තම ඒකායන ජීවන අපේක්ෂාව ලෙස සැලකූ වීරසේන හට තම අදහස්වලට සරිලන බිරියක් සිටීම එක් අතකට වාසනාවකි. ඔවුන් අතර සාමය කඩවී ගියේ කලාතුරකිනි. පාසල් ගුරුවරියකවූ වීරසේනගේ භාර්යාව වීරසේනටත් වඩා අපේක්ෂා සහිතව සිටි හෙයින් වෘත්තීය ඉණිමගේ ඉහළට ඔහුව තල්ලූ කළාය.
තම සැමියා සමග සේවය කළ තවත් කාර්මික නිළධාරියකු වූ ඒකනායක හා ඔහුගේ බිරිය වූ මාලතී නොරිස්සූ ඇය ඒකනායක පරදා ඉහළ නැගීමට වීරසේන මෙහෙය වූවාය. වීරසේනගේ බිරිය ඒකනායක සමඟ නොහොඳ නෝක්කාඩු සිතිවිලි ඇති කර ගැනීමට එක් හේතුවක් වූයේ මාලතී ය. මාලතී වීරසේනගේ බිරිය ඉගැන්වූ පාසලේම උගන්වන ගුරුවරියකි. ඉතා හැඩට අඳින පළඳින මාලතී මෙම පාසලේ ඉංගී‍්‍රසි ගුරුවරිය වූවාය. වීරසේනගේ බිරිය වූ රම්‍යලතා ප‍්‍රාථමික ශ්‍රේණිවලට සිංහල භාෂාව හා ගණිතය විෂය ඉගැන්වූවාය. මාලතී තොල් උල් කරමින් විදුහල්පතිතුමා සමග හරි හරියට ඉංගී‍්‍රසියෙන් කතා කිරීම රම්‍යලතා දුටුවේ තමාට ඇද කරන්නාක් ලෙසටය.
රම්‍යලතා පාසලේදී මාලතී සමග වැඩි කතා බහක් නොකෙරුවා මෙන්ම වැඩි සැලකිල්ලක්ද නොදැක්වූවාය. එසේ නමුදු තම නිවෙසේදී මාලතී සහ ඒකනායක යන නම් නිතරම කියවුණි.
‘‘ ඔයා ඔහොම කරලා හරි යන්නේ නැහැ. බලන්න ඒකනායක ඔයාට වඩා අවුරුදු දෙකක් ජූනියර්. ඒත් දැන් ඔයාගේ මට්ටමට ඇවිල්ලා. හෙට අනිද්දා මිනිහා තවත් ප‍්‍රමෝෂන් එකකුත් ගහගෙන ඔයාට වඩා ඉහළට යයි. මිනිහාට වඩා හපන් මහගේ. ඉංගී‍්‍රසි ටිකක් කටේ තොලේ ගාගෙන මහ උජාරුවට පි‍්‍රන්සිපල් එක්කත් හරි හරියට කතා කරනවා. අපේ අංශ භාර ගෑනිට ඉංගී‍්‍රසි බැහැ. ඔක්කොම ලියුම් කියුම් පි‍්‍රන්සිපල් මාලතීට බාර දීලා. අංශ භාර ගෑණිත් දපනේ වැටිලා ඉන්නේ. අපට පිප්පුවට බලන්න ඕන මාලතීට තියෙන සැලකිළි.’’ ඇය කියාගෙන ගියේ දියණියගේ හිස පීරණ අතරතුරදීය. ඉතා තදින් පනාව කොණ්ඩය අතරින් යැවීම නිසා දැරිය වේදනාවෙන් කෙඳිරිගෑවාය.
‘‘ අනේ අම්මේ, මට රිදෙනවා. හිමින් පීරන්නකෝ. ඇය කෑගෑවාය.
‘‘ඔහොම ඉඳපන් දඟලන්නේ නැතුව. උඹ ඊයේ ගෙදර වැඩ කරලා තිබුණෙත් නැහැ. ගනින්කෝ අඩු ලකුණු වාර විභාගෙට.’’ මෙය රම්‍යලතා කීවේ දියණියගේ පිටට පහරක් ද ගසමිනි. බිරිඳගේ හෑල්ල හා දියණියගේ හැඩීම නිසා වීරසේන තුළ ඇති වූයේ කෝපයකි.
‘‘හරි, හරි. ඔයාගේ තදියම තිබුණට ඔෆිස්වල ප‍්‍රමෝෂන් පත්තර බෙදන්නා වගේ දෙන්නේ නෑනේ. මම ලොක්කට හැම තිස්සෙම යාප්පු වෙනවා. හැමදාම මැරීගෙන වැඩ කරනවා. අපේ වෙලාව තමයි.’’
‘‘ වෙලාව එනකොට ඒකනායකලා අපිව පරාද කරලා. මිනිහා හෙට අනිද්දා හොඳ අලූත් මෝටර් සයිකලයක් ගන්න යනවා කියලා ගෑනී ස්ටාෆ් රූම් එකේ පම්පෝරියකුත් ගැහුවේ.’’ රම්‍යලතා පැවසුවේ කට ඇද කරමිනි.
’’ ඒකනායක වැඩ කාරයා. මිනිහා බාහිර උපාධියකුත් කරනවා. ලොක්කා මිනිහට කැමතියි.’’ බිරියගේ කියුම් වලට වීරසේන පිලිතුරු දුන්නේ පරාජිත හඩකිනි.
‘‘එහෙනම් එකත් එකටම ඒකනායක ඔයා ගැන ලොක්කට ගතු කියලා ඇති. ඔයත් නිකම් ඉන්නේ නැතුව බලන්නකෝ මිනිහගේ කුණු ටිකක් ඇදලා ලොක්කගේ කනේ තියන්න.’’
‘‘ හරි, හරි. අපි බලමු කේස් එකක් ඇද ගන්නේ නැතුව මොනව හරි කරන්න. අනිද්දාට ලෙකම්තුමාත් එනවා. මම හො`ද දඩමස් ටිකක් හොයාගෙන තියාගෙන ඉන්නේ ගල්වලේ ඇඞ්වින්ට කියලා. ලේකම්තුමා දඩමසට කෑදරයා. බලන්නකෝ මම ලේකම්තුමාට ඌරු මස් දීලා බැලන්ස් කරන හැටි.’’ වීරසේන පැවසුවේ සංවාදය අවසන් කිරීමටය.
මාස දෙක තුනක් ගතවී ගියත් කියන ලද වෙනසක් සිදුවූයේ නැත. දිනපතාම රම්‍යලතා මාලතී පිළිබඳ යමක් කීමට අමතක කළේ නැත.
‘‘ඒකනායක ඉස්කෝලේ ආවේ අලූත්ම මෝටර් සයිකලයකිනුයි. ගෑනි මහ උජාරුවට ඒකේ පිටිපස්සේ නැගලා ආවා. අපේ විදුහල්පතිටත් ලැජ්ජ නැහැ. මහ විද්‍යාලයක විදුහල්පති කෙනෙක් නේද? ලැජ්ජ නැතුව තමන්ගේ තැන තියාගන්නේ නැතුව කෙලින්ම ගිහිල්ලා ඒකනායක එක්ක කතා කළේ නැතෑ. ඔයා මහ ලොකුවට ලේකම්තුමා බැහැ දකින්න ගියා නේද? මිනිහා ඒවා ගිලලා අත පිහදා ගත්තා. කෝ, නිකම්වත් ඔයා දිහා බැලූවද? ’’ රම්‍යලතා මැෂිමක් මෙන් කියාගෙන ගියාය.
‘‘ නැහැ, ලේකම්තුමා මා ගැන කතා කරයි.’’ වීරසේන පැවසුවේ ස්ථිර හඩකිනි.
‘‘ඔව්, කතා කරයි. මට වල්ඌරු ගාතයක් ගෙනත් දුන්නු හොඳ මිනිහා. බැරිද ගෙදර ඇවිත් වලං පිඟන් ටිකක් හෝදලා දෙන්න කියයි.’’
බිරිඳගේ කතාවෙන් වීරසේන තුළ ඇති වූයේ ලැජ්ජාවකි. තම උත්සාහය අපතේ ගියාදෝ යැයි දෙගිඩියාවක් ඔහුගේ හිතේ ඇති විය.
‘‘ මට හිතෙන්නේ මෙතන පොඩි කොස්සකට තියෙන්නේ ආරියවතී. මේ ගෑනි මට කැමති නැහැ. මෙයා යෝධකණ්ඩිය පැත්තේ ගෑණියෙක්. දිස්ති‍්‍රක් කෝටා ක‍්‍රමයට විශ්වවිද්‍යාලේ ගිහිල්ලා දැන් ප‍්‍රාදේශීය ඉංජිනේරුවරිය. ලොක්කටත් ඇඞ්වයිස් දෙන්නේ මේ ගෑනි. ආරියවතී තමයි මට බාල්දියක් ඇද්දොත් අදින්නේ. ’’ වීරසේන මෙසේ කීවේ අතමිට මොලවා ගනිමිනි.
දිළිදු පවුලක ඉපිද, අසීරුවෙන් අධ්‍යාපන කටයුතු නිමකළ ආරියවතී දැන් ප‍්‍රාදේශීය ඉංජිනේරුවරියකි. අතීතය අමතක කොට සිටි ආරියවතී කාරියාලයේ සේවකයන්ට සැලකවේ අතපල්ලෙන් වැටුනන් ලෙසටය. ඵහෙත් ඇය එ්කනායකට වරදක් නොකීවේ ඒකනායක කට පුරා ඇයට ‘මැඩම්’ කියන නිසාය.
වරක් ආරියවතී අධ්‍යක්ෂකතුමාට ඒකනායක ගැන නිර්දේශයක් කරනු වීරසේනට ඇසුණි.
‘‘ සර්, මේ වැඬේට අපි ඒකනායකව දාමු. මොකද ප‍්‍රාදේශීය සභාවේ සභාපති නිතරම වැඬේට ඇඟිලි ගහනවා. ඒකනායක දන්නවා නම්‍යශීලීව වැඬේ හරියට කරන්න.’’
මේ අනුව කාර්යාලයේ දක්ෂ කාර්මික නිළධාරියෙකු ලෙසට ඒකනායක පෙරට ආවේය. ඒ අතරවාරයේ කාර්මික නිළධාරීන් සඳහා විශේෂ පුහුණුවක් ජපානයේ පැවැත්වෙන බවද එයට ඒකනායක තෝරා ගෙන ඇති බවටද රාවයක් කාර්යාලයේ පැතිරිනි.
මේ ආරංචිය සමග නොසන්සුන් වූ වීරසේන දඩමස් හා මීපැණි බෝතල් දෙකක් සමග ලේකම්තුමා බැහැ දැකීමට ඉරිදා දිනෙක කොළඹ ගියේය. මෙම ගමන ගැන ඔහු බිරිඳට පවා කීවේ නැත.
ඔෆිස් එකේ වැඩකට කොළඹ යනවා කීවා මිස ගමනේ අරමුණ ගැන ඔහු නිහඩතාව රැක්කේය. එහෙත් රම්‍යලතා තම සැමියාගේ කොළඹ ගමන ගැන සැක කළාය.
ගතවූයේ සති දෙකකි. සිකුරාදා දිනෙක ආයතන ප‍්‍රධානියා වීරසේනට තම කාර්යාලයට පැමිණෙන ලෙස දැණුම් දුන්නේය. වීරසේන ප‍්‍රධානියාගේ කාමරයට ගියේ ගෞරව සම්පන්න ලෙසිනි. ප‍්‍රධානියාගේ කාමරයේ ඒකනායක, ආරියවතී සහ තවත් ඉංජිනේරුවරයකු වූ රත්නසේකර මහතාද සිටිනු දැක වීරසේන මදක් පැකුලුණි.
‘‘ ආ, මිස්ටර් වීරසේන,’’ කියමින් ආයතන ප‍්‍රධානියා තම උපැස් යුවල අතට ගත්තේය. ‘‘මට හොඳ ආරංචියක් තියෙනවා කියන්න මිස්ටර් වීරසේනටයි, මිස්ටර් ඒකනායකටයි. ඔය දෙන්නව ජපානයේ සුමාන දෙකක පුහුණු වැඩසටහනකට යවන්න කොළඹින් තීරණය කරලා තියෙනවා. එහි ගිහිල්ලා දෙපාර්තමේන්තුව නියෝජනය කරලා වාර්තාවක් එවන්න ඕනෑ. තේරුණේ ?’’
වීරසේනට කථාකිරීමට වචන නැතිවූවා සේය. ඔහු තතනමින් ‘‘ සර්, සර්. ’’ ගෑවේය.
‘‘ ජපානෙට යන්න තියෙන්නේ මේ මාසේ අන්තිමට. ඔක්කොම ලියකියවිලි ‘ සී සී ’ මහත්තයා කරලා දෙයි.’’ ඔහු බොත්තමක් ඔබා ප‍්‍රධාන ලිපිකරුට කථා කෙළේය. ප‍්‍රධාන ලිපිකරු ආයතන ප‍්‍රධානියාගේ කාර්යාලයට දිව ආවේ එක හුස්මටය.
‘‘ මිස්ට උබේදාස, වීරසේන මහත්තයයි ඒකනායක මහත්තයයි මේ මාසේ අන්තිමට ජපානෙට යනවා ටේ‍්‍රනින් කොන්ෆරන්ස් එකකට. දෙන්නගේ ඩොකිව්මන්ට්ස් සූදානම් කරලා දෙන්න ඕනේ, තේරුණේ ?’’ ප‍්‍රධාන ලිපිකරු හිස නමා නියෝගය පිළිගත්තේය.
‘‘ මට දැන් රැස්වීමකට යන්න තියෙනවා. එහෙමනං වැඩකටයුතු ඉක්මනට කරගන්න, තේරුණේ ?’’ ’’ ආයතන ප‍්‍රධානියා තම නිළ අසුනින් නැගිට්ටේ කාර්මික නිළධාරීන් දෙදෙනාට දැන් සංවාදය නිමයි කියන්නාක් මෙනි. වීරසේන සහ ඒකනායක ආයතන ප‍්‍රධානියාට ස්තූති කරමින් අසුන් වලින් නැගිට සිටියහ. රත්නසේකර මහතා වීරසේනටත් ඒකනායකටත් අතට අතදී සුභ පැතුවේය. ආරියවතීගේ මුහුණ මැලවී තිබුණාය.
එදින සවස ඔහු ගෙදර පැමිණියේ මහත් උද්යෝගයෙනි. පහ වසරේ ඉගෙන ගන්නා දියණියගේ කණ මිරිකමින් වේවැල් පහර දෙමින් ඇයට උගන්වමින් සිටි ඇඹෙනිය තම සැමියාගේ මුහුණේ තිබූ ප‍්‍රභාව දුටුවාය.
‘‘ මොකද ප‍්‍රමෝෂන් වැඬේ? ’’ ඇය සැමියාට හුස්මක් කටක් ගැනීමටවත් නොදී විචාළාය.
‘‘ ප‍්‍රමෝෂන් එක හරියයි. මට කොන්ෆරන්ස් එකකට ජපානෙට යන්න ලැබිලා.’’
බිරිඳ පුටුවෙන් නැගිට්ටේ උකුලේ තිබුණ වේවැලද බිම වටීමට ඉඩ හරිමිනි. මවගෙන් පහර කා අඩමින් සිටි දියණියද ඇඩුම නවතා ගත්තාය.
‘‘එහෙනම් ලේකම්තුමා ඔයාව අමතක කරලා නැහැ. මම හෙට ස්ටාෆ් රූම් එකේදී කියන්නංකො ඒකනායක මහගෙටත් ඇහෙන්න එක්ක ඔයා ජපානේ යනවා කියලා.’’
ජපාන පුහුණුවට ඒකනායක ද යන බව ඇසූ වීරසේනගේ බිරි`දගේ සතුට සෑහෙන ප‍්‍රමාණයකට අඩු වූවාය.
‘‘ ඕකට ඔය දෙන්නම මොකටද? ඔයාට තනියම ගිහිල්ලා එ්කට සහභාගි වෙන්න බැරිද? අපරාදේ රජයේ සල්ලි.’’ රම්‍යලතා කම්පිත වූවාය.
ජපානයේ පුහුණු වැඩසටහන සඳහා ඒකනායකට සහ වීරසේනට විදේශ විනිමයද ලැබෙන බව පසුදින ප‍්‍රධාන ලිපිකරු දැන්වීය. කිසි දිනෙක පිටරට සල්ලි අතගා නැති වීරසේනට මෙම ආරංචිය බිරිඳට කියන තෙක් ඉවසුමක් නොවීය.
‘‘ගමනට රට සල්ලිත් ලබෙනවා!’’ රම්‍යලතා ආරංචිය ලැබීමෙන් පසු වීරසේනගේ වචන ප‍්‍රතිරාව කළාය. ‘‘ඔයා ඔය රට සල්ලි කෑමට බීමට නාස්ති කරන්න එපා. පිටරට යන අය මෙහෙන් කෑම ගෙනියනවා. ඔයා ඒ විදියට කෑම කාලා රට සල්ලි ඉතුරු කරගන්න. අපි ඒ සල්ලි වලින් මෝටර් සයිකලයක් ගමු.’’
‘‘අම්මේ, එතකොට තාත්තට පුළුවන් මාව ටියුෂන් වලට ගෙනියන්න.’’ දියණිය උද්දාමයෙන් යුතුව කීවාය.
‘‘උඹ කට වහගෙන ගණන් ටික හදපන්.’’ රම්‍යලතා දියණියට සැර දැම්මාය.
ඉන්පසු සැමියා දෙසට හැරුණු ඇය ඔහුට මෙසේ කීවාය. ‘‘ඔයා සීනි සම්බෝල ටිකක් ගෙනියන්න. මම බෝතලයකට දාලා දෙන්නම්. ඒක නරක් වෙන්නේ නැහැ. සුමාන දෙක තුනක් වුනත් තියාගන්න පුළුවන්. පාන් ටිකක් ගෙනියන්න හුලං වදින්නේ නැතුව සෙලෝෆියන් බෑගයකට දමලා. පාන් මදි වුනොත් එහෙන් ගන්න බැරියැ. සීනි සම්බෝලයි පානුයි කාලා සල්ලි ටික ගේන්න. තෑගි අරවා මේවා ගන්න යන්න එපා.’’
‘‘හොදයි.’’ වීරසේන කිව්වවේ බිරිඳට අවනත වෙමිනි.
ජපානයට යෑමට තිබුණේ සෙනසුරාදා රාත‍්‍රියටය. සඳුදා සිට සිකුරාදා දක්වා සම්මන්ත‍්‍රණ හා පුහුණු වැඩකටයුතුද, සෙනසුරාදා සහ ඉරිදා විවේක දින ලෙසටද සුමාන දෙකක කාලයකට වැඩසටහන සකස් කර තිබුණි. ප‍්‍රථම දින දෙක ඉතා වැදගත් වන අතර වීරසේනට ලංකාවේ වාරිමාර්ග පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීමට තිබුණි. එය ඒකනායකට නොදී වීරසේනට ලැබෙන්නට ඇත්තේ ලේකම්තුමාගේ අනුහසින් විය යුතුය.
‘‘මට පළමු වන දවසේ අනෙක් රටවල නියෝජිතයින් හමුවේ පැය භාගයක කතාවකුත් තියෙනවා,’’ වීරසේන බිරිඳ හා දරුවා ඉදිරියේ කීවේ උද්දාමයෙනි. ‘‘මම ඉංග‍්‍රීසියෙන් කතාව රත්නසේකර මහත්තයට කියලා ලියවා ගත්තා. මේක හොඳට පාඩම් කරන්න ඕන.’’
ජපානයේ සම්මන්ත‍්‍රණය සහ පුහුණු වැඩ සඳහා ඒකනායක අළුත් කලිසම් කෝට් මස්සන බව ඇසූ වීරසේනට අළුත් සූට් මැසීමට සිතුණි. මැසූ කලිසමක් හා කෝට් එකක් ගැනීමට නුවර ගිය වීරසේනට ඒවායේ මිල ගණන් අසා ඉහමොල රත්විය.
කුණු ඇදගෙන ඕවා වල යන්න බැහැ. හොඳ ඇඳුමක් පිළියෙල කරගන්න ඕනෑ යැයි වීරසේන සිතීය. ඔහුගේ මගුල් කෝට් එක දැන් ඔහුට හිරය. යකඩ ට‍්‍රංක පෙට්ටියක දමා තිබීම නිසා සුට් එකේ මළ කඩ පැල්ලම් කිහිපයක් තිබේ. ලොන්ඩරියට දැම්මත් එම පැල්ලම් නොයයි.
අලූත් ඇඳුමක් ගැන කල්පනා කරමින් සිටි වීරසේනගේ පිහිටට ආවේ මහේෂ්ය. තරුණ ලිපිකරුවකු වූ මහේෂ්ගේ ගම්පලාත දිගන ය. පසුගිය මාසයේ විවාහවූ ඔහුගේ විවාහ මංගල්‍යයට කාර්යාලයෙන් පිදුණු තෑග්ගට වීරසේන රුපියල් දෙසීයක් දුන්නේ මහේෂ් හිත හොඳ එකා කියමිනි. මගුලට රුපියල් දෙසීයක් දුන් නිසා මහේෂ් තමාට උදව් කරනු ඇතැයි ඔහු සිතීය.
වීරසේන මහේෂ්ට කථා කොට තම ගමනට යමට ඔහුගේ කෝට් එක හා කලිසම දියහැකිදැයි ඇසීය. මහේෂ් එක්වරම සූටි එක දීමට එකඟ විය.
‘‘ එහෙනම් වීරෙ අයියා අද හවස එන්නකෝ ඇඳුම ගන්න’’ කාර්යාලය තුළදී මහේෂ් කීවේය.
වීරසේනට ඇතිවූ සතුට නිම්හිම් නැත. එදින සවස වීරසේන මහේෂ් සමඟම ඔහු නැවතී සිටි බෝඩිමට ගියේය.
‘‘ වීරේ අයියා, මේක මගේ මගුල් ඇඳුම. මම කාටවත් මේක හයර් කරන්නේ නැහැ. වීරේ අයියගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසයි දෙන්නේ.’’ මහේෂ් සූට් එක ප‍්‍රවේසමින් ඔතන ගමන් කීවේය.
‘‘වීරේ අයියා, මට පොඩි උදව්වක් ඕනේ. මේ ඇඳුම දෙන නිසා කුලියක් කියලා හිතන්න එපා. මට ජපානෙන් හොඳ ලේඩිස් සිටිසන් ඔරලෝසුවක් ඕනේ වයිෆ්ට තෑගි දෙන්න. ඔරලෝසුවේ වියදම මම ගෙවනවා.’’
‘‘ මොන සල්ලිද මල්ලී, මම අත් ඔරලෝසුවක් ගේන්නම්. ඔයා මට මොඩල් එක ලියලා දෙන්න.’’ වීරසේන පැවසුවේ කෝට් එක හා කලිසම අතට ගන්නා අතරය. ඒ අතරවාරයේ මහේෂ්ගේ අල්මාරියේ තිබු රෝස පාට ටයි පටියකටද ඔහුගේ අවධානය යොමු විය.
‘‘මහේෂ්, මට අර ටයි පටියත් ගන්න පුළුවන්ද?’’
‘‘වීරේ අයියා, මේ ටයි එක කෝට් එකට ගැලපෙන්නේ නැහැ. සූට් එක ක‍්‍රීම් පාටයි. ඒ නිසා මේකට ගැලපෙන්නේ මේ රතු ටයි එක.’’ මෙසේ කී මහේෂ් රතු ටයි එක එතුවේය.
නිවසට පැමිණි වීරසේන මහේෂ්ගේ කලිසම සහ කෝට් එක ඇඳ බැලීය. කලිසම මදක් හිර වූවත් එය එතරම් ප‍්‍රශ්නයක් නොවන බව පෙනුනි. කෝට් එක ගානට තිබුණි. ඇඳුම සූට් කේස් එකේ තැන්පත් කිරීම සඳහා බිරිද ඔහුට උදවු කළාය. මහේෂ්ගේ සූට් එක පොඩි නොවන ලෙස අනෙකුත් ඇඳුම් අතර තැබිණි.
රම්‍යලතා ඇඳුම් අස්පස් කිරීමෙන් පසු රාත‍්‍රී ආහාරය පිලියෙල කිරීම සඳහා මුළුතැන්ගෙට ගියාය.
‘‘තාත්තේ, ජපානෙට ගිහිල්ලා එනකොට මට බෝනික්කෙක් ගේන්න ඕනෑ. හොඳද’’ දියණිය ඇවිටිලි කළාය.
‘‘ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ. උඹ බෝනික්කෝ නලවන්නද හදන්නේ? අන්න ගිහින් අර ප‍්‍රශ්න පත්තරය කරපං.’’ බිරිඳ දරුවාට සැර දැම්මාය.
ජපාන ගමනට ඇත්තේ තව දින දෙකකි. රම්‍යලතා වීරසේනට ගෙනයාම සඳහා සීනි සම්බෝලය සෑදීමට සූදානම් වූවාය.
රතු ළූණු කිලෝ දෙකක් පමණ මිලට ගත් ඇය, ළූණූ කැපීමට දියණියද හවුල් කර ගත්තාය. ළූණූ කැපීම නිසා කඳුළු ගලන රතු වූ දෙනෙතින්ද, නාසයෙන් වැගිරෙන සොටු දියරෙන්ද හෙම්බත්ව සිටි ඇය එ්කනායක පරාද කරන අයුරු කටට විවේකයක් නොමැතිව සොටු පිසදමමින් කියවා ගියේ දුම් කෝච්චියක් කඩුගන්නාව කන්ද නගින්නාක් මෙනි.
‘‘ඔයා හොඳට සූට් එක ඇඳලා නියම වේලාවට සම්මන්ත‍්‍රණයට ගිහිල්ලා කථාව හොදට කරන්න. ඔක්කොම වැදගත් කරුණු ලියාගන්න. ඔයා ලොක්කා කියලා පෙන්වන්න. ඒකනායකට කතා කිරීමට ඉඩ දෙන්න එපා. ඔයා හැම දේකටම මූලිකත්වය ගන්න. මුළු ගැන්විලා ඉන්න එපා.’’
එකනායක පරදවන හැටි කියා නිමවූ විට ඇය රට සල්ලි ප‍්‍රවේශම් කරන අයුරු කීමට පටන් ගත්තාය.
‘‘ඒකනායක අරවා මේවා ගනී. ඔයා සල්ලි නාස්ති කරන්න යන්න එපා. මහේෂ්ට පොරොන්දු වෙච්ච අත්ඔරලෝසුව ගේන්න උවමනා නෑ. ඔවා එහේ හරි ගණන් ඇති. මහේෂුත් හරි මිනිහා. කෝට් බෑය දීලා වටිනා ඔරලෝසුවක් බලාපොරොත්තු වෙනවා. ඔට්ටුයි ඔයා ඕක ගෙනාවට පස්සෙ මිනිහා ඒක අරගෙන ඔයාට සල්ලි නොදී ඉඳීවි. කියන්න ෂොපින් කරන්න වෙලාවක් තිබුණේ නැහැ කියලා. සුමාන දෙකකට කෝට් එක දීලා තෑගි බලාපොරොත්තු වෙන මෙහෙමත් මිනිස්සු.’’ ඇය තොර තෝංචියක් නැතුව කියවාගෙන කියවාගෙන ගියාය.
කෙසේ හෝ සීනි සම්බෝලය සාදා නිම විය. ලොකු හෝර්ලික්ස් බෝතලයකට සීනි සම්බෝලය දැම්මාය. ඉන්පසු එය ඉතා ප‍්‍රවේසමෙන් ඇඳුම් අතර තැන්පත් කළේ ප්ලාස්ටික් හැන්දක් සමගිනි.
‘‘ජපානෙට ගිහිල්ලා දැන් කෑමට වියදම් කරන්න වුවමණා නැහැ. හොඳ රසට මම සීනි සම්බෝලය හැදුවා. පාන් එක්ක කන්න.’’
‘‘අනේ තාත්තේ, මට ජපානෙන් චොකලට් එකක් ගේන්න.’’ දියණිය පියාගේ ඇෙ`ග් දැවටුණාය.
‘‘චොක්ලට් ගිණි ගණන්. ගිහින් තව ගණන් ටිකක් හදපන්. ආව මෙතන.’’ බිරිඳ දියණිය එළවා ගත්තාය.
නියමිත දිනයේදී ඒකනායක හා වීරසේන ගුවන් තොටුපලට ගියේ කාර්යාල නිළ රථයෙනි. ගුවන් තොටට යන අතරවාරයේ ඔවුන් අතර එතරම් සංවාදයක් නොවීය. ගමන් මලු ගුවන් සේවාවේ ප‍්‍රවාහන අංශයට බාර දීමෙන් පසු සෙසු ගුවන් මගීන් සමඟ ගුවන් යානයට ගොඩ වීම සඳහා මඳ වේලාවක් රැඳවුම් මැදිරියේ ඔවුන් දෙදෙනා සිටියහ. ඒකනායක තම අතේ කුඩා බෑග් එකක් හා කැමරාව එල්ලාගෙන සිටියේය. තමාට කැමරාවක් සොයා ගැනීමට බැරි වීම ගැන වීරසේන තමාටම සිතින් දොස් නගා ගත්තේය. ගුවන් යානයේ දෙදෙනාම හිටියේ එක ළග ආසනවල වුවද ඔවුන් අතර එතරම් කථා බහක් නොවීය. වීරසේන බොරු නිදිමතක් පෙන්වා ඒකනායෙක සමග කථාව මග හැරියේය.
සැහැල්ලූ මූණක් පෙන්වූ ඒකනායක ගුවන් සේවිකාවගෙන් විස්කි වඩියක් ඉල්ලාගෙන පානය කළේය. වීරසේන පානය කළේ පළතුරු යුෂ පමණි.
ගුවන් සේවිකාව ආහාර බඳුන ගෙනා විට වීරසේන එහි තිබුණ රවුම් බනිස් ගෙඩිය, විස්කෝතුව හා කුඩා කේක් කෑල්ල නොකා අර්තාපල් ඉස්ටුව හා කුකුල් මස් කෑල්ල කෑවේය. ඒකනායක වැසිකිලි ගිය විගස ඉතිරි කරගත් ආහාර ටිෂූ එකක ඔතා සාක්කුවේ ඔබා ගත්තේ ජපානයට ගොස් කෑමට සිතාගෙනය.
නරීටා ගුවන් තොටුපලට පැමිණීමෙන් පසුව ජපන් නියෝජිතයෙක් පැමිණ ඔවුන් දෙදෙනා ටෝකියෝහි කාර්මික විදුහලක නේවාසිකාගාරයකට රැගෙන යන ලදී. දෙදෙනාටම එකම කාමරයක නවාතැන් ලැබීම වීරසේනගේ අප‍්‍රසාදයට හේතුවුවත් ඔහු එම හැඟීම සඟවාගෙන සිටීමට සමත්විය. ආහාර සඳහා ඔවුන්ට පහත මාලයේ ආපන ශාලාව භාවිතා කළ හැකි බවත් ඒ සඳහා මුදල් ගෙවිය යුතු බවත් නියෝජිතයා දන්වා සිටියේය.
සති දෙකක ආහාර සඳහා එක් අයෙකුට ඩොලර් පන්සීයක ආහාර මුදලක් ඔවුන්ට ලබාදී තිබුණි. ඩොලර් යෙන් වලට මාරුකර ගත යුතුයි කියා ඒකනායක කීවේය. එහෙත් වීරසේන කිසිවක් කීවේ නැත. මුදල් හා පාස්පොට් ඇතුලූ ලියවිලි අතේම තබාගෙන සිටියේය.
කාමරයට පැමිණිමෙන් පසු ඔවුහු මදක් ගිමන් නිවාගත්හ. පසුදින උදෑසන සම්මන්ත‍්‍රණය ආරම්භ වන බැවින් රත්නසේකර මහතා ඉංගී‍්‍රසියෙන් ලියාදුන් කථාව යළිත් වරක් වීරසේන කියවූයේ ලෝවැඩ සඟරාවේ කවි පාඩම් කරන්නාක් මෙනි.
‘‘ වීරේ, ?ට කන්න පල්ලෙහාට යමුද?’’ ඒකනායක ඇසීය.
‘‘ඒකනායක යන්න. මට ටිකක් ඇඟට හරි නැහැ. හෙට උදේ මේකට ලෑස්ති වෙන්නත් එපායැ.’’ මෙසේ කියමින් ඔහු අතේ තිබුණු කොලයට අවධානය යොමු කළේය. ඒකනායක හෙමින් දොර වසා ආපන ශාලාවට ගියේය.
ඒකනායක පහළට ගිය විගසම රාතී‍්‍ර කෑම සඳහා සීනි සම්බෝල හා පාන් ගැනීමට විරසේන තම සූට් කේස් එක විවර කළේය. ඒ සමඟම වීරසේනට දෙලෝ රත්විය. සීනි සම්බෝල බෝතලය බිඳී සීනි සම්බෝල මුළු සූට්කේස් එක පුරාම විසිරී තැවරී තිබුණි. මහේෂ්ගේ සූට් එක ඇතුළු අනිත් ඇඳුම් සියල්ලම සීනි සම්බෝල හා තෙල්වලින් තෙත්වී තිබුණි.
මෙම අනපේක්ෂිත දර්ශනය දැකීමෙන් හා තමාට සිදුවූ මෙම අකරතැබ්බය නිසා වීරසේනගේ හිස ගිණිගත්තාක් මෙන් විය. සම්මන්ත‍්‍රණය, දේශනය, බිරිඳ, සීනිසම්බෝලය, මහේෂ්ගේ මඟුල් සූට් එක ආදී සියළුම දේ ඔහුගේ හිසවටා භ‍්‍රමණය වෙන්නට විය
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර
අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්………
මා දකුණු පළාතේ විදුහලක සේවය කරද්දී විදුහල් ශිෂ්‍ය නිවාසයේම කාමරයක නතරවී සිටියෙමි. ශිෂ්‍ය නිවාසය භාරව සිටි මගේ මිත්‍ර ආරියරත්න, විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ අතර විදුහලේ ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම භාර ලුතිනන් වරයාද විය.
ඒ කාලයේ ඉතාම ජනප්‍රිය BSA මෝටර් සයිකලයක්ද ඔහුට තිබිණ. සති අන්ත වලදී අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් යාමට පුරුදුවී සිටියෙමු. ශිෂ්‍ය නිවාසයට යාමට පඩි කිහිපයක් නැගීමට තිබෙන නිසා රාත්‍රියට ප්‍රවේශම සඳහා මෝටර් සයිකලය පඩි උඩින් තල්ලු කර ආලින්දයට දැමීම අමාරුවෙන් වුවත් කළයුතු කාර්යයක් විය.
එක් සෙනසුරාදා දිනයක අප දෙදෙනාටම අවශ්‍යතාවක් සඳහා ගාල්ලේ බැංකුවකට යාමට සිදු විය. අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගාලු ගියෙමු. මට තවත් හිතවතෙකු හමුවීමට මාතර යාමට තිබුණු බැවින් ඒ බව ආරිට පවසා බස් රථයකින් මගේ ගමන ගියෙමි. ශිෂ්‍ය නිවාසයේ ගුරුවරු කවුරු හෝ සිටිය යුතු නිසා ආරි ඉක්මණටම ආපසු යන බව කිවේය.
මගේ හිතවතා හමුවී දහවල් ආහාරයත් ම්හුගේ නිවසින්ම ගත් මා සවස හයට පමණ ශිෂ්‍ය නිවාසයට පැමිණ පුරුදු පරිදි සාමාන්‍ය වැඩ වල යෙදී සිට, ආරිත් සමග රාත්‍රී ආහාරයද ගතිමි. තව ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදී සිටි අපි නින්දට සුදානම් වීමු.
මෝටර් සයිකලය ආලින්දයට දැමීම පිණිස එලියට ගිය ආරි, කලබලයෙන් මගේ කාමරයට පැමිණ
‘හරි වැඩේනේ, බයික් එක නැහැනේ. හොරෙක්වත් ගෙනිච්චාද දන්නේ නැහැ.’ හති ලමින් මට කිවේය.
ඔහු විහිලුවක් කරන්නේදැයි සිතු මා
‘එහෙනම් වෙන එකක් ගන්න එකනෙ තියෙන්නේ ‘ කියා මමද විහිළුවක් කලෙමි.
‘මේ දයා, විහිළුවක් නෙමෙයි ඇත්තටම බයික් එක නැහැ. එළියට යමු ටිකක් බලන්න’
තරමක් අදිමදි කළ මම ශිෂ්‍යයින් දෙදෙනෙකුටත් කතාකර, විදුලි පන්දමත් රැගෙන ආරි සමග එළියට ගියෙමි. නේවාසික සිසුන්ද මේ තොරතුර අසා කලබල වුහ. කෝකියෝ දෙදෙනාද සිද්ධිය සැලවී දුවගෙන ආහ.
ඇත්තටම වෙනදා තබන සථානයේ මෝටර් සයිකලය නැත. ටික වේලාවක් වටපිට සොයා බැලු අපි, සොරකමක් සිදුවී ඇති බව අනුමාන කර මේ බව පොලිසියට දැන්වීමට තීරණය කළෙමු.
වේලාව රාත්‍රී දහය පමණ වී ඇත. අපි පයින්ම පොලිසියට ගියෙමු. පැමිණිලි ලියා ගන්නා පොලිස් නිලධාරියා මුලික විස්තර සටහන් කරගත් පසු මෝටර් සයිකලය පිලිබඳ තොරතුරු දීම සඳහා ආරි ඔහුගේ කමිස සාක්කුවේ තිබුණු කඩදාසි කිහිපයක් පිටතට ගත්තේය. එසේ ගනිද්දී කුඩා කඩදාසි කැබෙල්ලක් බිමට වැටිණ. එය බස් ටිකට් පතකි. එය අහුලාගත් මම ගුලිකර විසිකරන්නට තැත් කරන විටම, ආරි එය ඉල්ලා ගෙන නලළට අත තබාගෙන
‘හරි වැඩේනෙ, අද උදේ ගාල්ලේ ඉඳලා මම ආපසු ආවේ බස් එකේනෙ. ඔය ඒ බස් ටිකට් එකනේ. මෝටර් සයිකලය තවම බැංකුව ළඟනෙ’ කිවේය.
ඔහුගේ කියමනට මට සිනහව මැඩ පවත්වා ගන්නට නොහැකි විය.
සිදුවන්නේ කුමක්දැයි වටහා නොගත් පොලිස් නිලධාරියා
‘ඉක්මන් කරන්න ඔය විස්තර ටික මට දෙන්න.’ යයි තරමක් උස් හඬින් කිවේය.
මහත් අසීරුවට පත්වූ ආරි ගොත ගසමින්
‘…..රාලහාමි. ම් …ම් …ම් පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා’ යයි තතනමින් කිවේය.
‘මොනවා …… දැන් බයික් එක නැතිවූ බවක් නේද කිව්වේ. මොකක්ද මේක බොරු පැමිණිල්ලක්ද ?’
‘නැහැ රාලහාමි අමතක වීමක්’
‘මොකක්ද මට තේරෙන්නේ නැහැ මේ දෙබිඩි බාසාව. පැමිණිල්ල දානවද නැද්ද කියන එක විතරක් මට කියන්න.’
ආරි බිරාන්තව සිටින විට මම විස්තරය කීවෙමි. උපහාසාත්මක සිනහවක් පැ පොලිස් නිලධාරියා, විහිලුවට මෙන් පරුෂ වචන කිහිපයක්ද කියා ………
‘දැන් මේ පැමිණිල්ලේ කොටසක් ලියලා. මේක කැන්සල් කරන්න බැහැ. එහෙනම් මේක ‘ඉල්ලා අස් කර ගන්නවා’ කියා යටින් ලියා අත්සන් කරන්න’ කියමින්
පැමිණිලි පොත අප දෙසට තල්ලු කළේය. මටද, පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම පිලිබඳ සාක්කියකට අත්සන් කරන්නට සිදුවිය.
මහත් ලැජ්ජාවට පත්වූ අපි පොලිස් නිලධාරියාට ස්තුති කර එන්නට සැරසෙන විටම ඔහු යළි අප ඇමතීය.
‘එහෙම යන්නට බැහැ. මෝඩ වැඩ කළාට නීතියට අනුව පැමිණිල්ල ඉල්ලා අස් කර ගැනීම ඕ අයි සි අනුමත කරන්නට ඕනෑ. යමු ඕ අයි සී ගේ කාමරයට’
යයි කියා අප සමග පොලිස් ස්ථානාධිපතිගේ කාමරය ඇතුළට ගියේය.
ස්ථානාධිපතිපති වරයා විස්තරය අසා, සාවඥ සිනාවක් පා,
‘මෝටර් සයිකලයේ පාරේ යන කොටවත් සිහි බුද්ධියෙන් යන එක හොඳයි.’
කියමින් පොලිස් පොතේ අවලංගු කළ පැමිණිල්ලට අනු අත්සනක් තැබිය.
කිසිවක් කතා නොකර පොලිසියෙන් පිටතට පැමිණි පසු
‘දැන් ඉතින් මොකද කරන්නේ.’ කියා මම ඇසීමි.
‘බයික් එක බැංකුව ඉදිරිපිට දැම්මේ. රෑ උනාට කරන්නට දෙයක් නැහැ. මේ දැන් වාහනයක් කුලියට අරගෙන යමු.’ ආරි කිවේය.
කළ හැකි වෙනත් කිසිම දෙයක් නොමැති නිසා මම ඔහුගේ යෝජනාවට කැමති වීමි.
කුලී රථයකින් නැවත ගාල්ලට යන විට රාත්‍රි දොළහ ට ආසන්නය.
එදින උදේ ආරිට තවත් සගයෙක් මුණ ගැසී ඔහු සමග කතා කරමින් ගොස් මෝටර් සයිකලය ගැන අමතකවී, බස් රථයෙන් ආපසු ගිය බව ඔහු නැවතද මා සමග කියා
‘ඔය වගේ අමතකවීම් කාටත් වෙනවා.’ කියාද කිවේය.
‘මම නිශ්ශබ්දව නොඇසුනා මෙන් සිටියෙමි.’
_ _ _
අප දෙදෙනා කුලී රථයකින් ගාල්ලේ බැංකුව අසලට යනවිට, මෝටර් සයිකලය වටා පිරිසක් රැස්වී සිටින බව අපි දුටුවෙමු. ඒ අය පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ බැංකුවේ ආරක්ෂක නිලධාරින් කිහිප දෙනෙකි.
පිරිස අතරින් පොලිස් නිලධාරියා වෙත ගිය ආරි ‘සමාවෙන්න රාළහාමි. මේ බයික් එක මගේ.’ කියා බැගෑපත් විය.
‘හා ….. හා…. ඔයාද අයිතිකාරයා. අද උදේ ඉඳලා මෙච්චර වෙලා මොන ………. ගියාද ? අපට පණිවුඩයක් ලැබුනා මේ මෝටර් සයිකලය අත් අඩංගුවට ගන්නටය කියළා.’ පොලිස් නිලධාරියා කිවේය.
‘රාලහාමි මේ පොඩි අමතකවීමක් උනේ. මෙන්න මගේ විස්තර’ කියා ආරි ඔහුගේ ලියවිලි පොලිස් නිලධාරියාට පෙන්වා මෝටර් සයිකලය නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටියේය.
‘එහෙම කරන්නට බැහැ. මේක ඉහළින් ආපු නියෝගයක්. පොලිසියට යන්නට වෙනවා.’ කි පොලිස් නිලධාරියෙක් මෝටර් සයිකලයේ යතුර ඉල්ලා ගත්තේය.
නැවත ගාල්ල පොලිසියේ රස්තියාදු වීමට සිදුවිය. අප දෙදෙනාගෙන් සහ බැංකු ආරක්ෂක නිලධාරියාගෙන් කට උත්තර ලබාගෙන මෝටර් සයිකලයේ යතුර අයිතිකරුට භාර දෙන විට අලුයම දෙක පසුවී තිබිණ.
මෙය නොසැලකිල්ල නිසාම නොව අවධානයෙන් තොර බව නිසාම සිදුවන අමතකවිමකි. Absent-mindedness යනුවෙන් හඳුන්වනුයේ මෙවැනි අමතක වීම්ය. මිට පෙර සහ පසුවත් අමතක විම් නිසා ඔහුට සිදුවී ඇති බොහෝ සිද්ධි ගැන කල්පනාකාර බලන විට මෙය ඔහුගේ චරිත ලක්ෂණයක් බව පැහැදිලි වේ.
මෝටර් සයිකලයේ අයිතිකරු වන ආරි ඔහුගේ දරුණු අමතක වීම නිසා දැඩි අසහනයකට පත්විය. මධ්‍යම රාත්‍රියේ කුලී වාහනයකින් ගිය ගමන සඳහාත් ඔහුට ලොකු මුදලක් වැය කිරීමට සිදුවිය.
බොහෝවිට මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ ගමන් බිමන් යන මට ද මිත්‍රයා වෙනුවෙන්, නිදි වරමින් හාස්‍යය මුසු පිඩාවක් විඳීමට සිදුවිය..
දයාරත්න වීරසේකර
අධ්‍යාපන රසකතා බ්ලොග් අඩවිය https://dayawee2.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව
කවියෙකුගේ වික්‍රමය
කුඩා දූපතට තිබුණේ උසැති, ගල්පර්වතවලින් ගහණ වෙරළ තීරයකි. මුහුද අසළ නොනැසී පවතින්නට හැකි කෙටි, ඝනැති පඳුරු එහි වැවිණි. මුහුදු ලිහිණියෝ අහසේ පියැඹූහ. ගොඩබිමට නුදුරු මුහුදෙහි පිහිටි එම දූපත පාලුවට ගිය කිසිදු වගාවක් නොකළ එකක් විය. හබල් ගාන බෝට්ටුවකින් හෝ මේ දැන් ඒ කරා ළඟා වන යුවළ සතුවූ ආකාරයේ රබර් ඩිංගි බෝට්ටුවකින් දූපත වටා පැය බාගයකින් යාත්‍රා කිරීමට ඔබට හැකිය. රබර් ඩිංගියෙහි වූ මිනිසා ඉතා සන්සුන් ලෙස එය හබල් ගෑ අතර කාන්තාව අව්ව තපිමින් එතුළ වැතිර සිටියාය. ඔවුන් දූපත අසළට ළඟා වත්ම මිනිසා අවධානයෙන් යුතුව ඇහුම්කන් දෙන්නට වූයේය.
“ඔයාට මොනවද ඇහෙන්නේ ?” ඇය ඇසුවාය.
“නිශ්ශබ්දතාවය,” ඔහු පිළිතුරු දුන්නේය. “කනට ඇහෙන නිශ්ශබ්දතාවයක් දූපත්වල තියෙනවා.”
සත්‍ය වශයෙන්ම පවසන්නේ නම් සෑම නිශ්ශබ්දතාවක්ම ඒ වටා වූ ඉතා කුඩා ශබ්ද ජාලයකින් සමන්විත වෙයි. දූපතෙහි නිහඬබව ඒ වටා වූ නිසල මුහුදෙහි නිහඬතාවෙන් වෙනස් වූයේ එහි පඳුරුවල සරසරයත් කුරුල්ලන්ගේ කෑ ගෑම හෝ උන් තටු සලන හඬත් හාත්පස පැතිරී තිබූ බැවිනි.
ගල් පර්වතයට පහළින් වූ ජලයෙහි මේ දිනවල කුඩා හෝ රැල්ලක් නොනැගුණු අතර එය තියුණු පැහැදිලි නීල වර්ණයෙන් යුක්ත විය. හිරු කිරණ ජලය විනිවිද පතුළට කා වැදිණි. පර්වත මුහුණතෙහි කුඩා ගුහාවල පිවිසුම් දක්නට ලැබුණු අතර ඩිංගි බෝට්ටුවෙහි හුන් යුවළ ඒවා නිවී සැනසිල්ලේ ගවේෂණය කරන්නට සූදානම්ව සිටියේය.
මේ වෙරළ තීරය සංචාරකයන්ගේ පහස තවමත් නොලැබූ දකුණු පෙදෙසේ පිහිටා තිබූවක් වූ අතර ඔවුහු වෙනත් ප්‍රදේශයක සිට මුහුදෙහි නාන්නට පැමිණි දෙදෙනෙක් වූහ. ඔහුගේ නම උස්නෙල්ලි විය. හෙතෙම ප්‍රසිද්ධ කවියෙකි. ඇය ඩේලියා එච්. නම් වූ අතර ඉතා රූමත් කාන්තාවක වූවාය.
ඩේලියා දකුණු පෙදෙසට ඉතා තදින්, උමතුවෙන් මෙන් ඇලුම් කළ තැනැත්තියක වූවා බෝට්ටුවෙහි වැතිර තමන් දකින සියලු දේ ගැන දැඩි ප්‍රහර්ෂයකින් යුතුව කතා කරන්නට වූයේ මේ ප්‍රදේශයට පළමු වරට පැමිණි, එමෙන්ම ඇයගේ උද්යෝගය බෙදා ගත යුතු තරමට බෙදා හදා නොගන්නවාක් මෙන් පෙනුණු උස්නෙල්ලි කෙරෙහි වූ ක්‍රෝෂයක ඡායා මාත්‍රයක් සමගිනි.
“ඔහොම ඉන්න ,” උස්නෙල්ලි කීවේය. “ඔහොම පොඩ්ඩක් ඉන්න.”
“ඒ මොකටද?” ඇය ඇසුවාය. “මීට වඩා ලස්සණ දෙයක් තියෙන්න පුළුවන්ද ?”
අන්‍යන්ට අයත් හැඟීම් සහ වචන කෙරෙහි විශ්වාසය නොතැබූ, (සිය ස්වභාවය සහ ඔහු ලැබූ සාහිත්‍ය අධ්‍යාපනය නිසා) පැහැදිලිවම පෙනෙන්නට තිබෙන සහ විවාදයකින් තොරව ලස්සණ යැයි පිළිගන්නා දෙයට වඩා සැඟවුණු සහ ව්‍යාජ ලස්සණ සොයා ගැනීමට පුරුදුව සිටි ඔහු තවමත් සිටියේ කලබලයට සහ ආතතියට පත්වය. සතුට යනු උස්නෙල්ලිට අත්හිටුවනු ලැබූ තත්ත්වයක් විය. එය හුස්ම තදින් අල්ලා ගෙන විඳිය යුත්තකි. ඔහු ඩේලියාට ආදරය කරන්නට පටන් ගත් තැන් පටන් ලෝකයා සමග ඔහුගේ වූ පරීක්ෂාකාරී, සීමිත සම්බන්ධය තර්ජනයට ලක්ව ඇති සැටි ඔහු දුටුවේය. එහෙත් තමාගේ යමක් හෝ තමා ඉදිරිපිට විවරව ඇති ප්‍රීතිය හෝ අතහැර දැමීමට ඔහු කල්පනා නොකළේය. ජලයට සෙමෙන් වැක්කෙරෙන නීල වර්ණය, වෙරළෙහි වූ හරිත වර්ණය අළු පැහැ ගැන්වීම, මුහුදු පළසෙහි සුමුදුතම ස්ථානයෙහි සිටින මාළුවෙකුගේ වරළෙහි දිලිසීම යනාදී ඔහුගේ වටපිටාවෙහි ස්වභාව ධර්මය විසින් අත්පත් කරගත්තා වූ පරිපූර්ණත්වයේ සියලුම මට්ටම් වනාහි ඊටත් ඉහළ පරිපූර්ණත්වයක මග හසර කියන ලකුණු වූවාක් මෙන්ද, ක්ෂිතිජයේ වූ අදිසි රේඛාව මුහුදු බෙල්ලෙකු මෙන් විවරව හදිසියේ වෙනත් ග්‍රහලෝකයක් හෝ නව ලොවක් මතුවනු ඇතැයි සිතන්නාක් මෙන්ද ඔහු ප්‍රවේසම්කාරී විය.
ඔවුහු කුඩා ගල් ගුහාවකට ඇතුළු වූහ. එය ආරම්භ වූයේ ලා කොළ පැහැති අභ්‍යන්තර විලක් මෙන් සුවිසල්ව දැවැන්ත පාෂාණමය වහළකින් යුක්තවය. තවත් ඇතුළට යන විට එය පටු අඳුරු මගක් බවට පරිවර්තනය විය. උස්නෙල්ලි බෝට්ටුව වටේට හැරවූයේ ආලෝකය විසින් ගුහාව අභ්‍යන්තරයේ මවන ලද විවිධ ප්‍රයෝග රස විඳිනු පිණිසය. බැහැර සිට ගුහාවේ දැති සහිත වෛවර්ණ මුවවිටෙන් ඇතුළට ආ ආලෝකය එම වර්ණ තව තවත් විචිත්‍ර කළේය. ගුහාවේ ඇතුළත වූ ජලය දිදිලුණි. පිටුපසින් වූ මුදු සෙවණැලිවලට එරෙහිව ජල තලය මත සිට උඩට ආලෝක කදම්බයෝ නැගුණහ. ජලයේ වූ කැළඹිල්ල, ප්‍රතිබිම්බ සහ ආලෝක ධාරා මගින් පාෂාණමය බිත්ති සහ වහළ මතට ප්‍රක්ෂේපණය විය.
“ මෙතැනදී කෙනෙකුට දෙවියන්ව වටහා ගන්න පුළුවන්,” කාන්තාව කීවාය.
“හ්ම්,” උස්නෙල්ලි පිළිතුරු දුන්නේය. ඔහු සිටියේ කැළඹිල්ලට පත්වය. හැඟීම් වචනවලට පරිවර්තනය කරන්නට පුරුදු ඔහුගේ මනස එකම වචනයක්වත් ගොතා ගන්නට නොහැකිව දැන් අසරණ වී තිබිණි.
ඔවුහු තවත් ඇතුළට යාත්‍රා කළහ. ජල මට්ටමෙහි තිබූ ගල් පව්වක් පසු කොට ඩිංගි බෝට්ටුව ඇදී ගියේය. හබල ජලයෙහි වදින විට නැගෙන දුර්ලභ ආලෝක පුංජයක් හැරුණු විට හාත්පස ඝන අඳුර රජ කළේය. ඉඳහිට හබල ගුහා බිත්තියක වැදිණි. ආපසු හැරී බැලූ ඩේලියාට ගුහාවෙහි පිවිසුමෙන් පෙනෙන නිල් අහස් කැබැල්ල වටා ඇති රේඛාව නිරන්තරයෙන් වෙනස් වන සැටි පෙනිණි.
“ ආං අතන! විශාල කකුළුවෙක් !” බෝට්ටුවේ කඳ කෙලින් කොට හිඳ ගෙන ඕ කෑගැසුවාය.
“ ….න!…..ළුවෙක්!” ඇගේ හඬ දෝංකාර දුන්නේය.
“දෝංකාරය !” සතුටෙන් කී ඇය වචනද කවිපදද යාඥාවල කෑලිද කියමින් ඒ අඳුරු වහළ යට කෑ ගසන්නට වූවාය.
“ඔයත් කෑ ගහන්න ! ප්‍රාර්ථනාවක් කරන්න !” ඇය උස්නෙල්ලිට කීවාය.
“ හූ ඌ ඌ ඌ ඌ…….” උස්නෙල්ලි කෑ ගෑවේය. “ හේ ඊ ඊ ඊ ඊ ….ඕ….”
ඉඳ හිට බෝට්ටුව ගුහා බිත්තියෙහි වැදිණි. අඳුර ඉතා දැඩි විය.
“ මට බයයි. මේක ඇතුළෙ මොන මොන සත්තු ….”
“අපට තවමත් ඇතුළට යන්න පුළුවන්.”
හිරු රැසින් නැහැවුණු ජලයෙන් පළා යන ගැඹරෙහි වසන මසෙකු මෙන් තමා අඳුර වෙත ඇදෙන බව උස්නෙල්ලිට වැටහිණි.
“ මට බයයි. අපි ආපහු යමු.” ඇය බල කළාය.
මූලික වශයෙන් ගත් කළ ඔහුටද බියජනක දේ කෙරෙහි ඇති රුචිකත්වය ආගන්තුක එකක් විය. ඔහු පසු පසට හබල් ගෑවේය. ගුහාව පුළුල් වන ස්ථානයට ඔවුන් පැමිණෙන විට මුහුද තද නිල් පාටට හැරිණි.
“මේකෙ බූවල්ලො ඉන්නවද?” ඩේලියා ඇසුවාය.
“ඉන්නව නම් ඔයාට පෙනෙයි. ඒ තරමට වතුර පැහැදිලියි.”
“එහෙනම් මං පොඩ්ඩක් පීනන්නම්.”
රබර් බෝට්ටුවේ පසෙකින් දියට බට ඈ ඒ අභ්‍යන්තර විලෙහි පිහිනුවාය. ඇගේ සිරුර වරෙක සුදු පැහැයෙනුත් (හරියට ආලෝකය වස්තූන්ගේ සියලු වර්ණයන් සොරා ගත්තාක් මෙන්) වරෙක ජලතලයෙහි නිල් පැහැයෙනුත් පෙනිණි.
උස්නෙල්ලි හබල් ගෑම නතර කොට තිබූ අතර තවමත් හුස්ම උඩට කොට අල්ලාගෙන සිටියේය. ඩේලියා සමග පෙමින් වෙලී සිටීම ඔහුට සෑම විටෙකම මේ ආකාර විය. එය හරියටම වචන අතික්‍රමණය කළ ලොවක ඇති මේ ගුහාවේ කැඩපත වැනිය. එනමුදු ඔහු සිය කවිවල ආදරය ගැන එකම එක පද පේළියක් වත් ලියා නැත.
“තව ළඟට එන්න,” ඩේලියා කීවාය. පිහිනන අතරතුරම ඇය සිය උඩුකය වැසූ රෙදි කඩ ඉවත් කොට තිබිණි. ඇය එය රබර් බෝට්ටුව ඇතුළට වීසි කළාය. “ පොඩ්ඩක් ඉන්න” යැයි කියූ ඇය සිය ඉනෙහි වූ රෙදි කඩද ගලවා එය උස්නෙල්ලි අතට දුන්නේය.
දැන් ඇය සම්පූර්ණයෙන්ම නිරුවත් වූවාය. ඇගේ ළය මඬලෙහිත් උකුළු පෙදෙසෙහිත් වූ වඩාත් සුදු පැහැති ඡවි වර්ණය පැහැදිලිව නොපෙනුණේ ඇගේ මුළු සිරුරෙන්ම මෙඩුසා මසෙකුගේ බඳු ලා නිල් දීප්තියක් විහිදුණු බැවිනි. ඇය විවේකී ඉරියව්වකින් පසෙකට හැරී පිහිනමින් සිටියාය. ප්‍රතිමාවක බඳු ව්‍යංගාර්ථාත්මක ඍජු හිස ජලයෙන් මඳක් ඉහළට එසවී තිබිණු අතර විටෙක උරැහිසෙහි කවයත් දිග හළ අතක මුදු රේඛාවත් ජලයෙන් ඉහළට එසැවිණි. දිය දෙබෑ කරන අනෙක් අත විටෙක ඇයගේ මනාව වැඩුණු උස් ළය මඬල ආවරණය කළ අතර විටෙක එය නිරාවරණය කළේය. තාරකා මාලුවෙකුගේ හැඩයට වැල්ලෙහි තබන ලද සියුම් ලකුණක් බඳු නාභියෙන් යුතු ඇයගේ සුමුදු උදරය ජලයෙහි දරා සිටීම පිණිස ඇයගේ දෙපා ජලයේ චලනය වූයේ යාන්තමිනි. ජලය යටින් පරාවර්තනය වූ හිරුරැස් ඇයගේ සිරුර යාන්තමින් ස්පර්ශ කළේ වරෙක ඇයට එක්තරා ආකාරයක ඇඳුමක් නිර්මාණය කරමින්ද වරෙක ඒ ඇඳුම සම්පූර්ණයෙන්ම උනා දමමිනුත්ය .
ඇයගේ පිහිනීම එක්තරා ආකාරයක නර්තනයක් බවට පරිවර්තනය විය. ජලයෙහි පාවෙමින් ඔහු වෙත සිනා පෑ ඇය විටෙක සිය දෑත දෙපසට විහිදුවා සෙමෙන් කරකැවුවාය. විටෙක සිය දණහිස නවා තල්ලු කරමින් කුඩා මාලුවෙකු සේ පෙනෙන වක් වූ යටිපතුළ ජලය මතුපිටට ගෙන ආවාය.
රබර් බෝට්ටුවෙහි සිටි උස්නෙල්ලි දෑස් හයා ගෙන මේ දර්ශනය නරඹන්නට විය. තමාට ජීවිතය විසින් ලබා දෙන මේ අවස්ථාව, දිලිසෙන හිරුගේ මධ්‍යය බලන්නට කෙනෙකුට අවස්ථාවක් නොලැබෙන්නාක් මෙන්ම, විවර කරගත් දෙනෙතකින් බැලීමට සෑම කෙනෙකුටම ලැබෙන වරප්‍රසාදයක් නොවන බව ඔහු වටහා ගත්තේය. මේ හිරුගේ මධ‍්‍යයේ වූයේ නිහඬතාවයි. මේ මොහොතෙහි ඇති කිසිම දෙයක් වෙනත් දෙයකට පරිවර්තනය කිරීමට නොහැකි වනු ඇත. වෙනකක් තබා ඇතැම්විට මතක ශේෂයක් බවට වත් පරිවර්තනය කිරීමට නොහැකි වනු ඇත.
දැන් ඩේලියා පිහිනමින් සිටියේ ගුහාවේ මුවවිට අසළ උඩුබැලි අතට හැරී හිරු දෙස බලා ගෙනය. ඇය සැහැල්ලු චලනයකින් විවෘත මුහුද දෙසට ගමන් කරමින් සිටි අතර ඇයට යටින් වූ මුහුදෙහි නිල් පැහැය වෙනස් වමින් තිබිණි. ඒ නිල් පැහැය ක්‍රම ක්‍රමයෙන් ලා පැහැයටද වඩ වඩාත් දීප්තිමත් බවටද පත් වමින් තිබිණි.
“බලාගෙන, ඇඳුමක් දා ගන්න! ඔය කිට්ටුවට බෝට්ටු එනවා!”
ඩේලියා දැනටමත් අහස යට වූ ගල් කුළු අතරට ගොස් සිටියාය. ජලය යටට කිමිදුණු ඕ සිය අත දිගු කළාය. උස්නෙල්ලි ඇය අතට රෙදි කඩවල් දෙක දුන්නේය. පිහිනමින්ම ඒවා ඇඳ ගත් ඇය රබර් ඩිංගි බෝට්ටුවට ගොඩ වූවාය.
ඔවුන් වෙත ළඟා වමින් තිබුණේ ධීවරයන්ගේ බෝට්ටුය. උස්නෙල්ලි ඔවුන් හඳුනා ගත්තේය. මසුන් මරන කාලය පැමිණි විට වෙරළෙහි වූ ඇතැම් ගල් පර්වතයක සෙවණේ නිදන දුප්පත් මිනිසුන්ගෙන් සමහරෙක් ඒ අතර වූහ. ඔහු ඔවුන් වෙත සේන්දු විය. බෝට්ටුව හබල් ගසමින් සිටියේ තරුණයෙකි. දතක වේදනාවෙන් පෙළෙමින් සිටි ඔහු සිය පටු දෑස වැසෙන්නට සුදු පැහැති නාවික කැප් තොප්පියක් පැළඳ සිටියේය. ඔහු කෙටි වේගවත් හබල් පහරවල් දියට ගැසුවේ ඉන් ඔහුගේ වේදනාව අඩු වන්නාක් මෙනි. ඔහු පස් දරු පියෙකු වූ අතර බලාපොරොත්තු සුන් වූ කෙනෙක් විය. බෝට්ටුවේ අවරයෙහි සිටියේ මහල්ලෙකි. ඔහුගේ මෙක්සිකානු මාදිලියේ පිදුරු තොප්පිය මහල්ලාගේ කෙසඟ සිරුරෙහි හිස මත වූ රශ්මි වළල්ලක් මෙන් විය. ඇතැම්විට එක්තරා යුගයක අභිමානයෙන් පුළුල්ව තිබෙන්නට ඇති ඔහුගේ රවුම් දෑස දැන් අයත් වූයේ බේබද්දෙකුටය. තවමත් කලු පැහැයෙන් යුත් එල්ලා වැටෙන උඩු රැවුලට යටින් ඔහුගේ මුව විවර විණි. ඔහු ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ ගල් මාළුවෙකු පිහියකින් ශුද්ධ කරමින් සිටියේය.
“ගොඩක් මාළු ඇල්ලුවද?” ඩේලියා හඬ නගා ප්‍රශ්න කළාය.
“ අනේ නෑ ටිකයි.” ඔවුහු පිළිතුරු දුන්හ. “මේ වාරෙ මහ සවුත්තුයි.”
ඩේලියා ප්‍රදේශවාසීන් සමග කතා කරන්නට ප්‍රිය කළාය. එහෙත් උස්නෙල්ලි එසේ නොකළේය. (ඔවුන් සමග කතා කරන විට “තමන්ගේ හෘද සාක්ෂිය අපහසුවට පත් වන්නේ” යැයි කියන ඔහු උරැහිස් හකුළා නිහඬ වෙයි.)
රබර් ඩිංගිය, දැන් අව්වට පිච්චුණු සායම් ඉරිතලා ගොස් ගැලවී හැලෙන ධීවර බෝට්ටුව පසෙක විය. එහි හබල් බෝට්ටුවේ බඳට තබා ලණුවකින් බැඳ තිබූ අතර ඒවා ගෙවුණු ලී බඳෙහි ගෑවෙන වාරයක් පාසා කිරි කිරි හඬක් නැගීය. බොහෝ කාලයකට පෙර වියැලුණු රතු පැහැති මුහුදු පැලෑටිවලින් වැසුණු කොකු හතරේ කුඩා නැංගුරමක් පැලැල්ලක පැටලී අසුනක් යට තිබිණි. ටැනින්වලින් සායම් කළ කෙළවරවල්වල රවුම් කිරළ ඇබ ගැට ගැසූ මාළු දැල් ගොඩ මත වූයේ පිලී ගඳ ගසන ලා අළු හෝ ලා නිල් පැහැති කොරපොතු ඇඳුම හැඳගෙන මුව හයා ගෙන සිටින මසුන්ය. රුධිරයෙන් නිර්මිත ත්‍රිකෝණයකට යටින් ඔවුන්ගේ කරමල තවමත් ගැහෙන බවක් පෙනිණි. උස්නෙල්ලි සිටියේ නිහඬවය. එහෙත් මේ මනුෂ්‍ය ලෝකයේ වේදනාව වනාහී මීට ටික වේලාවකට පෙර ඔහු වෙත සන්නිවේදනය වමින් තිබුණු ස්වභාව සෞන්දර්යයේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්‍රපංචය විය. මීට ටික වේලාවකට කලින් වූ තත්ත්වයේදී එය විස්තර කරන්නට ඔහුට වචන නොතිබිණි. එහෙත් දැන් ඔහුගේ මනසෙහි එකිනෙකා පරයා නැගෙන වචන සමුදායක් පොර බැදුවේය. මහලු මසුන් මරන්නාගේ සිහින්, අපිළිවෙළට බෑ රැවුල සහිත මුහුණෙහි වූ සෑම ඉන්නෙකු ගැනම සෑම රැවුල් ගසක් ගැනම මෙන්ම ගල් මාළුවාගේ සෑම රිදී පැහැති කොරපොත්තක් ගැනම විස්තර කරන වචන එහි විය.
වෙරළෙහි තවත් බෝට්ටුවක් ගොඩට ඇද අනෙක් පැත්ත ගසා ලී කොට මත රඳවා තිබිණි. රාත්‍රිය මුළුල්ලේ මසුන් මරා දැන් ඒ බෝට්ටුව සෙවණේ නිදන මිනිසුන්ගේ පාවහන් රහිත දෙපා යටින් පෙනුණේය. සම්පූර්ණයෙන්ම කලු පැහැති ඇඳුමකින් සැරසුණු මුහුණ නොපෙනෙන සේ ආවරණය කර ගත් ගැහැනියක් ඒ අසළ මුහුදු පැලෑටිවලින් ඇවුලූ ගින්නක් මත වළඳක් තබමින් සිටියාය. ඒ ගින්නෙන් දිර්ඝ දුම් රොටුවක් නැගෙමින් තිබිණි. ඒ වෙරළ අළු පැහැති පාෂාණවලින් ගහණ වූ අතර ඒ අතර දක්නට ලැබුණු වියැකුණු වර්ණ පදාස වෙරළෙහි සෙල්ලම් කරන ළමුන්ගේ ඇඳුම් විය. නහයෙන් අඬන වැඩිමහලු සොහොයුරියන් විසින් බාලයන් බලා ගැනිණි. වැඩිහිටියන්ගේ දිග කලිසම් කපා සාදා ගත් කොට කලිසම් පමණක් හැඳගත් මඳක් වයසින් වැඩි හා ක්‍රියාශීලී පිරිමි ළමෝ ගල් පර්වත සහ මුහුද අතර දුවමින් සිටියෝය. ඊට ඔබ්බෙන් වැලි සහිත ඍජු වෙරළ තීරයක් ආරම්භ විය. එය සුදු පැහැතිද පාලුද වූ අතර වෙරළෙහි එක් පැත්තක් තුනී බට කැලෑවක් සහ සී නොසෑ ඉඩම් තුළට අතුරුදන් වූයේය.
කලු පැහැති ඉරිදා ඇඳුමකින් සහ හිස්වැසුමකින් සැරසී කෝටුවක රැඳවූ කුඩා පොදියක් උරෙහි තබා ගත් තරුණයෙක් ඒ වෙරළ තීරය දිගේ ඇවිදින්නට පටන් ගත්තේය. ඔහුගේ පාවහන්වල වූ ඇණවලින් වැල්ල මත සලකුණු සටහන් විය. ඒ නොවැරදීම අසළ අභ්‍යන්තර ගමකින් පොළට හෝ වෙනත් කිසියම් කටයුත්තක් සඳහා පැමිණි ගොවියෙකු හෝ එඬේරෙකු මුහුදු සුළං වැදීම පිණිස මේ මාර්ගය තෝරා ගත්තා විය යුතුය. දුම්රිය මාර්ගයේ වූ කම්බිද එහි ඉවුරද කණු සහ වැටවල්ද පෙනිණි. ඉන් අනතුරුව දුම්රිය මාර්ගය බිම්ගෙයක් තුළට අතුරුදන් වූයේ ඊට ඔබ්බෙන් යළිත් මතුවී යළි අතුරුදන් වන්නටය. දුම්රිය මාර්ගය සමතලා නොවූ රෙද්දක ගැසූ මැහුම් මෙන් විය. අධිවේගී මාර්ගයේ කලු- සුදු සංඥා පුවරුවලට ඉහළින් වූ කඳු බෑවුම්වල ඔලිව් වතු තිබිණි. ඊටත් ඉහළින් කඳුවල කිසිදු වගාවක් නොකෙරුණු අතර එක්කෝ තණකොළවලින්, පඳුරුවලින් එසේ නැතහොත් ගල්වලින් පමණක් වැසී තිබුණේය.
මේ කඳු අතර වූ පැල්මක පිහිටා තිබූ ගමක් ඉහළට විහිදිණි. ගෙවල් වූයේ එකක් උඩ එකක් වශයෙනි. ගෙවල් අතර වූ ගල් ඇල්ලූ පාරවල්වල කොටළුවන්ගේ මළ මූත්‍ර පහසුවෙන් ගලා යා හැකි වන පරිදි ආනතිය පාරේ මැදට වන්නට සකස් කොට තිබිණි. ඒ සෑම ගෙයකම දොරකඩ අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ වැඩිමහල් හෝ මහලු ගැහැනු සිටියෝය. මිටි තාප්පවල හිඳගෙන අසංඛ්‍ය සංඛ්‍යාවක් වූ තරුණ හා මහලු පිරිමි සිටියෝය. ඔවුන් සියලු දෙනාම ඇඳගෙන සිටියේ සුදු පැහැති කමිසය. පියගැටපෙළවල් බඳු ඒ පාරවල් මැද ළදරුවෝ ක්‍රීඩා කළෝය. තරමක් වැඩිමහල් පිරිමි ළමයෙක් පාරෙහි වැතිර දොර පඩියකට හිස තබා ගෙන නිදාගෙන සිටියේ එතැන නිවෙස ඇතුළට වඩා මඳක් සිසිල්ද දුර්ගන්ධය අඩුද වූ බැවිනි. සෑම තැනකම පියාඹන හෝ එකතැන කැරකෙන මැසි රංචු පිරී සිටියහ. සෑම බිත්තියක්මත් ගිනි උඳුන් අසළ වූ සෑම කඩදාසි මල්දමක්මත් මැස්සන්ගේ අසූචිවලින් වැසී ගොස් තිබිණි. උස්නෙල්ලිගේ මනසට එකිනෙක හා ඇලුණු ඝනැති වචන නොනැවතී ගලා එන්නට විය. වාක්‍ය අතර විරාම නැති වචන ගලා එන්නට වූයේය. අවසානයේදී ටිකෙන් ටික ඒවා එකිනෙක වෙන්කොට හඳුනාගන්නට නොහැකි තැනට පත්විය. ඉතාම කුඩා සුදු පැහැති ඉඩ පවා අතුරුදන් වමින් ගොස් කලු පැහැය පමණක්, අත්‍යන්ත කලු පැහැය පමණක් ඉතිරි වූ, විලාපයක් බඳු භයානක පැටලුමක් බවට ඒ වචන අවසානයේදී පරිවර්තනය වූයේය.
ඉතලෝ කල්විනෝ (1923-1985)
නිලූක කදුරුගමුව පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/*අවසර ඇතිව උපුටා ගැනුනකි.