නැගුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත…..
හද කලම්ඹන නෙතු විකල්වන නුඹේ රුව මත පතිත සඳ සේ
දෙතොල් පොපියන වතත් රතුවන හැඟීමක් මැද රඟන බිඟු සේ
රැලිත් නොනගින විලත් හඬවන හමායන සැඩ මාරුතය සේ
කොහේ සිට නුඹ පාවුනිද මෙහි මගේ දිවියේ අයිතිකරු සේ
පාවෙනා සුළඟත් නිසලවන දිදුලනා නුඹේ නීල දෙනයන
කැල්ම දරනට බැරුව ලතවෙන මගේ සිතුවිලි මන විකල්වන
සරණ සොයනට නුඹේ උණුසුම සියළු සසරෙම සොයා ලතවෙන
වැළඳ ගන්නට තවත් ඕනෙද සිතන්නට කල් මාව අවුලන
කල් බලගන දෙතොල පිනවන මදුවිතක් වුන නුඹේ වදනට
නෙතු පිනායන සිතුවමක් වුන දූල කැල්මක රැඳුන උවනට
මටද මාවත් අමතකව යන සිත නිවාලන ලතෙත් සෙනෙහෙට
උරුම අයිතිය මටම දෙනවද හොවා ඔසු මේ හද උමතුවට
කටුසු හදවත
https://katusuhadawatha.blogspot.com
මට වෙලාවකට හිතෙනවා…
මට වෙලාවකට හිතෙනවා…
බොහොමයක් ඉර බහින හැන්දෑවල
අහසත් මූදත් මුණගැහෙන සිතිජ රේඛාවේ
දියවෙවී බොඳවෙලා යන්නෙ අර
අපි අතින් ඉහිරෙන්න තිබුණ බීර අහුරක් බව..
සෙනඟ තදබද වුණ බස් එකක
රේඩියෝ කබලකින් චිරි චිරි ගගා සද්දෙට
ඔය ඇහෙන්නෙ අපි කියන්න හිතාගෙන උන්න
සින්දුවක් එහෙම දවසක…
වහින්න කලින් අඳුරු ආකාසෙ
දේදුන්නක් වගේ හැඩට
ඇඳිලා ආයෙමත් බොඳවෙලා යන්නෙ
අපේ ඒ හීනවල තිබුණු පාට…
ඇත්තටම
මට වෙලාවකට හිතෙනවා
වලාකුළු වගේ සුදු මුදුවට
පාවෙලා යන්නෙ ඈතට
හිනාවෙවී හිනාවෙවී ඔහේ
ගෙවාදමන්න තිබුණ දවස් අපිට…
සඳෙහි පෙදෙසක
https://hashanrandika.blogspot.com
හිමියනි ! හිස් ය මේ දිවි බඳුන !
සෙබළ උත්තමාචාර වියැකී
හිස් ව ගිය අවකාශයේ පාවී
හමා ආ සුසුදු අරලිය මලක්
මුදුන් වූ පස් කණ්ඩිය මත රැඳිණ…
හත් දොහක, තුන් මහක, අවුරුද්දක
දැල්වුණ පහන් එළි
දුබලව නිවී යද්දී
පා සටහන් සඟවා
නිදිකුම්බා යාය වැතිරිණි…
මුදුනත බිඳී ගිය
පස් වැටිය මත
ඒ අරලියා මල ?
කොහේ වේ දැයි
කවුරු නම් දනී ද ?
නිදිකුම්බා ගොල්ලකි
දැන් ඒ ඉසව්ව ම
සුවඳක් නැතත්
යායට මල් පිපුණ…
තරුරසී
https://tharurasi.blogspot.com
ආදරිය
ඔමරි හිනාවට ආලෙ බඳිනවා
ලස්සන නුඹ ලඟ හිත නවතිනවා
ඉඟි බිඟි බැල්මට මසිත සැලෙනවා
සිහිනෙන් මම නුඹෙ දෙතොල් සිඹිනවා
හැරී බලනවා කැකිරි පලනවා
රවා බලනවා නොපෙනි යනවා
නුඹෙ හැඩරුව දැක සිහිසුන් වෙනවා
නුඹ මා රවටනවාද සිතෙනවා
සිදාදියෙන් සිටු කුමරෙක් එනවා
උඡාරුවට නුඹ කැන්දන් යනවා
තනියම බැඳි පෙමෙ දුක උහුලනවා
නුඹ රුව හදවතේ ඇඳි තියෙනවා
සිහනද Lion’s Roar
මා විතරක් උනානම්
පිරිමහ ගන්න
තිබුණානේ අපට
කඳුලත්
හිනාවත්
දෙකම…
නුඹට..
මා
විතරක්ම
උනානම්…
නුඹේ හිතේ..
මා
විතරක්ම
උන්නනම්…
හුදකලාවේ ලියු කවි
https://hudakalakavi.blogspot.com
මේඝ සක්මන
අහස තද දම් පැහැ වී
හිම තුහින තුඩු විසුරන
සැඩ සුළං, සර සරයෙන්
දුර තුරු මුදුන් කළඹන
අකුණු එක එක දිලිසෙන
තෙතබරිත හවස් වරුවල
සුහදිනිය,
නුඹ වෙසෙන අර්ධ ගෝලයේ
කල් ගෙවන්නේ කෙලෙසද?
ලෙහා විහිදා මුහුලස
ඉගිලෙන සුළං මිත වෙත
එබි එබී කවුළු දොර’ගින්
අසමින් ගිගුම් මිමිණුම
කෝපිත් කවිත් උණුහුම්
සමසමව දෑතට ගෙන
සුහදාන
මා වෙසෙන අර්ධ ගෝලයේ
නරඹමිනි මේඝ සක්මන!
Hot chocolate days