ඡන්ද වියදම් සීමාව ගැන කතා කරන්න පක්‍ෂ නායකයන් කැඳවන්න යයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙවර ජනාධිපතිවරණය බවත් ඒ අනුව මැතිවරණ කොමිසම නාම යෝජනා ලබා ගත් පසු දින පහක් ඇතුළත අදාළ දේශපාලන පක්ෂ නියෝජිතයන් කැඳවා මැතිවරණ වියදම් සීමා කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සිදු කරන බව ත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක  පැවසීය.

ඒ අනුව, එකී වියදම් සීමාවන්ගෙන් පසු මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා අපේක්ෂකයන් විසින් මැතිවරණ කොමිසමට ලබා දිය යුතු බව සභාපතිවරයා පැවසීය.විශේෂයෙන් ම මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත සම්බන්ධ නීතියට යටත්ව මෙම පනත ක්‍රියාත්මක කිරීමට විශේෂ අවධානයක් යොමු කරන බව ද රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

අදාළ වියදම් වාර්තා අපේක්ෂකයන් විසින් කොමිසමට ලබා දුන් පසු මහ ජනතාවට සහ අනෙකුත් ආයතනවලට ඒ අය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය බව ත් එම නඩු කටයුතු පැවැරීම නීතිපතිවරයා හරහා සිදු කරන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

ජනාධිපතිවරණය වෙනුවෙන් වෙන් කර ඇති රු. බිලියන 10ක මුදල කොමිසමේ අවශ්‍යතාව අනුව ප්‍රමාදයකින් තොරව ලබා දීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සිය කොමිසම හමුවේ පොරොන්දු වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරට ත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *