පොහොට්ටුවේ පෙති ගැලවෙයි – බහුතරයක් රනිල්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් පසුගියදා ඒකමතිකව තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හා අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු මෙම එකඟතාවය පළකර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමේ යෝජනාව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක එම යෝජනාව ස්ථීර කර තිබේ.මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවට මෙම කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පක්ෂව එහි විධායක සභාවේදී ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී ඇත.මෙම රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත දහස් දක්වමින් රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම ප්‍රකාශ කරන ලද්දේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92ක් අදාළ රැස්වීමට පැමිණ ජනාධිපතිවරයාට සහයෝගය පළකළ බවයි.වනජීවී සහ වන සම්පත් අංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගී වී ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය  තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන නිසා, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා නොදීමට පක්ෂය තීරණය කළ බවයි.පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළා.එහිදී සාගර කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටියේ මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි. කෙසේවෙතත්, මෙතෙක් පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න පිළිබඳව තීරණය කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට නම් කිහිපයක්  සාක්ච්ඡාවට ගෙන ඇති බවත් සාගර කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළා.මෙම රැස්විමට සාමාජිකයින් 82 ගෙන් 79 ක් සහභාගි වි තිබු අතර ඡන්ද විමසීමක් පවත්වා තිබුණා.එහිදි සාමාජිකයින් 11 දෙනෙක් ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධ වි තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *