අභියාචනයකින් ලැබුණු ඔලිම්පික් පදක්කම.

පසුගියදා නිමාවට පත්වු පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර 5000 ඉසව්ව ඉතා ආන්දෝලනාත්මක තරඟ ඉසව්වක් බවට පත්වුණි.එම ඉසව්ව මිනිත්තු 14යි තත්පර 28.56කින් නිමකළ කෙන්යාවේ බියට්‍රිස් චෙබට් රන් පදක්කම හිමිකර ගෙන තිබුණි.රිදී පදක්කම කෙන්යාවේ ෆේත් කිප්යෙගෝන් හිමිකරගත් අතර ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ නෙදර්ලන්තයේ සිෆාන් හසන් විසිනි.

කෙසේ වෙතත් රිදී පදක්කම දිනූ ෆේත් කිප්යෙගෝන්,  කාන්තා මීටර 5000 ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ගුදාෆ් සෙගායිගේ ධාවනයට බාධා කළ බව පවසමින් ගුදාෆ් සෙගායි විසින් විරෝධතාවක් ගොනුකර තිබූයේ තරගය අවසන් වීමෙන් අනතුරුවය.එම විරෝධතාව සලකා බැලූ තරග සංවිධායකින් ෆේත් කිප්යෙගෝන්ට රිදී පදක්කම අහිමි කිරීමට තීරණය කර තිබුණේ මංතීරු නීතිය උල්ලංඝනය කිරීම සහ ධාවනයට බාධා එල්ල කිරීම යන සාධක පදකම් කරගනිමිනි.

නමුත් කෙන්යා මලල ක්‍රීඩා සංගමය නැවතත් එම තීරණය අභියෝගයට ලක්කරමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකළ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ විශේෂ ජූරි සභාව, ෆේත් කිප්යෙගෝන් අතින් වරදක් සිදුවී නොමැති බව තීන්දු කරමින් ඇයට නැවතත් රිදී පදක්කම ලබාදෙන ලෙස පැරිස් ඔලිම්පික් තරග සංවිධායකයින්ට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *