චිත්‍රපට වලින් ලෝකේ වටේ යමුද ?, වාර්තා චිත්‍රපට ඇසුරින් ලෝක සංචාරයක්.

ගෙදර ඉදන් බැලුවත් , සිනමා ශාලාවක ඉදන් බැලුවත් ඔබව ලෝකෙ වටේ විනාඩි ගණනකින් ගෙනියන්න චිත්‍රපට වලට පුළුවන්. ඒ  විශේෂ හැකියාව එන්නේ කථා අන්තර් ගතය සංස්කරණය කල රූප රාමු එක්ක කදිමට සීරු මාරුවට ගලපලයි. අපේ හිතට සැනෙකින් එන ඒ ඒ මතක වලින් ලෝකෙ වටේ  යන්නට පුළුවන් වගේ චිත්‍රපට නිර්මාණ කණ්ඩායම කරන ඒ වික්‍රම කොච්චර හොදින් ඇමිණුනාද කියල බලන්න පුළුවන් වෙන්නෙ ඒවා තියන බොක්ස් ඔෆිස් වාර්තා අනුවයි.  

The Bucket list – (2007)

වියපත් පිරිමින් දෙදෙනෙකු වුනු මෝටර් කාර්මික කාටර් සහ බිලියනපති එඩ්වඩ්ට එකිනෙකා හමුවෙන්නෙ එඩ්වඩ් ගේම රෝහලේ ළය පිළිකාවට බෙහෙත් ගන්නට නේවාසිකව ඉන්න කොටයි. ඉතිහාසය පිළිබද මහාචාර්ය වරයෙක් වන්නට සිහින මැවූ තරුණ කාටර් ට මෝටර් කාර්මිකයෙක් වෙන්නට සිදුවන්නෙ ජීවිතයේ කලින්ම පවුල් වුනු හින්දයි. ඊට හාත්පසින්ම වෙනස්  එඩ්වඩ් හතර සැරයක්ම දික්කසාද වෙලා තෝමස් කියන සේවකයත් එක්ක ජීවත්වන සෞඛ්‍ය සේවා අංශයේ ව්‍යාපාර හිමිකරුවෙක්.

සෞඛ්‍ය තත්වය අනුව තවත් එක් අවුරුද්දක් විතරක් ජීවත් වෙන්න පුළුවන් කියන අනුමානයක ජීවත්වන කාටර් මැරෙන්නට කලින් කරන්නට කියල හිතාගෙන ලැයිස්තුවක් හදනවා, කපනවා  එඩ්වඩ්ට දකින්නට ලැබෙන්නේ අල්ලපු ඇදේ  හිටපු හින්දයි. ඒක දකින එඩ්වඩ් ඒකට තවත් දේවල් එකතුකරලා ” හරි අපි ඒ ලැයිස්තුව කරමු. වියදම මම බලාගන්නම් ” කියල කියනවා.කාටර් ගේ බිරිද වර්ජිනියා අකමැති වුණත් කාටර් සහ එඩ්වඩ් මේ ගමන යන්නෙ තෝමස් කියන සේවකයත් එක්කයි. ඔවුන් මුලින්ම Skydiving කරනවා. California Speedway  එකේ කාර් රේස් එකක් තියනවා. North Pole එක උඩින් යනවා. මිල අධික ප්‍රංශ හෝටලයක කෑම ගන්නවා. Taj mahal, Everest, African Safari  එකක් වගේම චීන මහා ප්‍රාකාරයේ මෝටර් සයිකලයකින් යනවා.  

මේ ගමන් අතරතුරේ කාටර් සහ එඩ්වඩ් ඔවුන්ගේ ජීවන තොරතුරු බෙදා ගන්නවා. කාටර් තමන්ගේ බිරිදට තියෙන ආදරය ගැන වගේම එඩ්වඩ් හොරෙන් පැනලා ගිය තමන්ගේ එකම දුව හින්ද තියෙන හිත් රිදීම ගැන කථා කරනවා. හොංකොන් වලදී ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ සේවය ලබා ගන්නට එඩ්වඩ් සුදානම් වෙද්දී තම බිරිද හැර වෙනත් කාන්තාවක් සමග කල් ගත නොකල කාටර් එය ප්‍රතික්ෂේප කරන්නේ මේ ගමන අතහැර දාල ගෙදර යමු කියලයි. ආපහු ගෙදර එන අතරතුර එඩ්වඩ් තමන්ගේ දුව එක්ක එකතු වෙන්න උත්සාහ කරනවා. කාටර් සතුටින් ගෙදර ගිහින් පවුලේ අයත් එක්ක සතුටු වෙද්දී එඩ්වඩ් තනියම විශාල මන්දිරයේ පාළුවෙන් ඉන්නවා.

ටික දවසකින් දැන ගන්නට ලැබෙන්නේ කාටර් ගේ පිළිකාව මොලේටත් පැතිරිලා කියලයි. ශල්‍යකර්මය කරද්දී කාටර් මිය යනවා. ඒ වෙනකොට එඩ්වඩ් ගේ දුව අමනාපකම් ඉවත දාල තාත්තා ගාවට එන්නේ තමන්ගේ චූටි දුව එක්කයි. ඒ හුරතල් දැරිය හාදුවක් දුන්නාම  එඩ්වඩ් Bucket list  එකේ තිබුණු ” ලෝකයේ ලස්සනම ගැහැණු ළමයාගෙන් හාදුවක්”  කියන එක කපා දමනවා. කාටර් ගේ අවමංගල සභාවේදී සංවේදී කථාවක් කරන එඩ්වඩ් කියන්නේ ගෙවුණු පහුගිය මාස 3 ක කාලය තමන්ගේ ජීවිතයේ හොදම කාලය කියලයි.  තෝමස් කාටර් ගේ අළු බදුනත්  එක්ක එඩ්වඩ් කැමති කෝපි කුඩු වර්ගය සහ Bucket list  එක ටින් එකක දාල හිමාල කදු මුදුනේදී එය වීසි කරන්නේ ඒ ලැයිස්තුවේ තිබුණු ” Witness something truly majestic ” කියන අන්තිම අසම්පුර්ණ එකත් කපල අයින් කරලයි.  

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Bucket_List

Trailer  යු ටියුබ් දිගුව  

The Buttefly’s Dream – Turkish(2013) Original name – Kelebegin Ruyasi   

මේ චිත්‍රපටය පටන් ගන්නේ 1941 දී තුර්කියේ Zonguldak කියන කළු මුහුද ආශ්‍රිත ගල් අගුරු කර්මාන්තයට ප්‍රදේශයේ රාජ්‍ය සේවයට යන තරුණයින් දෙදෙනෙකුගෙන්. Muzaffar සහ .Rustu කියන මේ දෙන්නා කවියට, සාහිත්‍යයට බර කලාකාමී දෙන්නෙක්. යුරෝපය පුරා දෙවන ලෝක යුද්ධයත් එක්ක පැතිර යන විවිධ වෙනස්කම් අතරේ ඉන්නා ඔවුනට උවමනා වෙන්නෙ නිදහසේ සමනළයින් වගේ ඉගිල ගිහින් කවි ලියන්නයි. ක්ෂය රෝගයට ගොදුරුව පීඩා විදින ඔවුන් දෙදෙනාට ඒ ප්‍රදේශයට එන සුරූපී තරුණිය Susan දකින්නට ලැබෙනවා.


ඇය දිනාගන්නා අරමුණින් ඔවුන් දෙන්නා කවි ලියන්නේ ඔට්ටු අල්ලමින්. Rustu ගේ කවි වලට Susan කැමති වුණත් ඇගේ හිත දිනාගන්නේ  Muzaffer              . අසාධ්‍ය වෙලා Rustu රෝහල්ගත කරාම ඔහුට Mefiha කියන තරුණිය හමුවන්නෙත් රෝහලේදීමයි. අවසානයේදී  Rustu සහ Mediha ආදරයෙන් බැදෙනවා. මේ හතර දෙනාගේ ආදර අන්දරය ඔබට අපූරුවට රස විදින්න පුළුවන්.   

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Butterfly%27s_Dream_(2013_film)

Trailer  යු ටියුබ් දිගුව  

Swades – Hindi ( 2004)

NASA  ආයතනයේ විශේෂ ව්‍යාපෘතියක වැඩකරන මොහාන් ඇමෙරිකාවට ගියේ වැඩිදුර ඉගෙන ගන්නයි. මෝටර් රථ අනතුරකින් දෙමාපියන් අහිමිව ඉන්නා මොහාන්ව හදිසියේම තමන් කුඩා කල බලාගත් සේවිකාව කාවේරි අම්මා ව බලන්න හිතෙනවා. RV එකක් අරගෙන මේ වෙනකොට උත්තර ප්‍රදේශ් වල ඉන්නා කාවේරි අම්මා බලන්න යනකොට ඇය ඉන්නේ ඔහුගේ කුඩා කාලයේ හිතවතියක වුනු ගීතා ගාවයි. කුලය සහ ආගමික අදහස් හින්ද පහත් යැයි සම්මත ජන කොටස් ජීවත්වන ගමේ දරුවන්ගේ ජීවන තත්වය උසස් කරන්නට මහන්සි වෙන ගීතා හිතන්නේ මොහාන් ආවේ කාවේරි අම්මා ඇමෙරිකාවට ගෙනියන්න කියලයි.

කාවේරි අම්මා මොහාන්ට කියන්නේ තමන්ව ඇමෙරිකාවට ගෙනියන්න ඕන නම් ගීත ව කසාද බැදලා ඇයත් එක්කගෙන යන්න ඕන කියලයි . උපායශීලී විදිහට ගීතාව මොහාන් ට ලං කරවන ගමනක් කාවේරි අම්මා සංවිධානය කරනවා. ඒ ගමනේදී ජනතාව විදින දුක දකින මොහාන් තමන්ගේ නිවාඩුව දික් කරගෙන ඒ ගැමියන්ගේ විදුලි බල ප්‍රශ්නයට විසදුමක් විදිහට ජල විදුලි බලාගාරයක් හදනවා.   

ඒ වැඩවලදී හිතවත් වන ගමේ නායකයා Dadaji  ගේ මරණයත් , කාවේරි අම්මා සහ ගීතා ඉන්දියාවේ නවතින්න කියලා කරන ඇවටිල්ලත් එක්ක මොහාන්ගේ සිතුවිලි පොර බදනවා. ආපහු ඇමෙරිකාවට ගිහින් තමන්ගේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරන මොහාන් ආපහු ඉන්දියාවට එන්නේ NASA  එකට සම්බන්ධ Vikram Sarabhai Space Centre එකේ වැඩ කරන්නයි.   

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Swades

Trailer  යු ටියුබ් දිගුව  

Gemma Bovery – French ( 2014)

Gustave Flaubert  කියල කියන්නේ ප්‍රංශයේ හිටපු දක්ෂ නවකතා කරුවෙක්. ඔහු ලියූ Madame Bovary නවකතාව බොහෝ විවාදයට ලක්වුණු එකක්. මාටින් කියල කියන්නේ Normandy  ගමේ ඉන්නා බේකරි හිමියෙක්. ඒ වගේම Madame Bovary කථාවට වශීවෙලා ඉන්නා කෙනෙක්. මාටින්ගේ ගමට තරුණ යුවලක් පදිංචියට එන්නේ ඔහුගේ ගෙදර ගාවම පැරණි ගෙයක් මිලට අරගෙන. සරාගී පෙනුමක් තියෙන තරුණ කාන්තාවගේ නම Gemma Bovary, සැමියා Charles. ඒ කාන්තාව දකින වාරයක් වාරයක් ගානෙම මාටින් නවකතාවේ කාන්තා චරිතය ඇසුරින් සිතුවිලි මවාගෙන ඇය ගැන විමසිල්ලෙන් ඉන්නා හැටි ඔබට බලන්නට පුළුවන්.

බේකරියේ වැඩ කියාදෙන ගමන් , ගමේ ඇවිදයන වෙලාවක අහම්බෙන් හමුවුණාම කෘමි සතෙක් විදපු වෙලාවේදී ඇයව අතපත ගාන මාටින් සොරාගන්නා ඇගේ දිනපොත ඇසුරින් ඇගේ තවත් සම්බන්ධකම් ගැන හොයන්නට පටන් ගන්නවා. ගෙමා සහ ගමේ ඉන්නා කරච් නම් තරුණයාගේ සම්බන්ධය පස්සේ යන ඔහු ඔවුන් කරන කියන දේ හොරෙන් බලන්න පුරුදු වෙනවා. මේ අතරේ චාල්ස් වැඩකට ලන්ඩන් ගිහින් ඉන්නකොට ඇගේ පරණ පෙම්වතා ගෙදරට එනවා. චාල්ස්  එනකොට ගෙමා මැරිලා. හේතුව පාන් හිරවෙලාලු. කතාව ඉවර වෙනකම් බැලුවොත් ඔබට ඒ ගැන හොයාගන්න පුළුවන්.    

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Gemma_Bovery_(film)

Trailer  යු ටියුබ් දිගුව  

Palthu Janwar – Malayalam  (2022)   

  

  පශු පරීක්ෂකවරයෙකු විදිහට ආණ්ඩුවේ රස්සාවක් අරගෙන ඈත ගමකට යනවා. වැඩට ගිය මුල්ම දවසේම ගම් සභාවේ නියෝජිතයා එක්ක ඔහු රණ්ඩු වෙන්නේ ගව මඩුවක් සම්බන්ධයෙන්. පශු වෛද්‍ය සුනිල් ඔහු එක්ක එකතු වෙලා මුදල් හොයන ක්‍රමයක් ගැන කියද්දී ඒකට කැමති නොවුණු හින්ද ඉන්නේ එච්චර හොද හිතකින් නෙවෙයි. සෞඛ්‍යය තත්වය හොද නැති හින්ද සුනිල් රස්සාවෙන් අයින් වෙලා ගියාම ඔවුන්ගේ ප්‍රදේශය ආවරණය කරන්නේ වෙනත් කලාපයක වැඩ කරන  පශු වෛද්‍යවරයෙක් හින්ද ප්‍රසුන් ට වැඩිපුර වැඩත් ගොඩගැහෙනවා. 

ගමේ පල්ලියේ හොරකමක් ගැන හොයන්න ආපු පොලිස් බල්ලා වැරදි මාත්‍රාවක් බෙහෙත් එන්නත් කිරීම හින්ද මැරෙනවා. දැන් ප්‍රසුන්ගේ රස්සාව අනතුරේ හින්ද ඔහු හිතන් ඉන්නේ මේක දාලා යන්නයි. ඩේවිස් කියල මනුස්සයෙක් රෝහලට දුවගෙන එන්නේ මේ අතරේ. මොලිකුට්ටි කියන එයාගෙ පැටියෙක් ලැබෙන්න හිටපු එළදෙන කන්දෙන් පහලට වැටිලා ගමේ ගොඩ වෙදකම් වලින් පලක් නැතුවයි ඉන්නෙ. ප්‍රසුන් ට වැඩේ තේරෙනවා. එළදෙන කන්දෙ හංගලා තිබ්බ අරක්කු වගයක් බීලා. බේකින් සෝඩා දීලා ඇයව සුවපත් කරන්නේ ඔහුගේ ගෑණු ළමයා Stephy එක්කයි.  එළදෙන සුවපත් වෙනවා. ඒත් වතුර බෑග් එක කැඩිලා හින්දා ඇගේ දරු ප්‍රසූතිය අනතුරුදායක වෙනවා. ගමේ මිනිස්සු පුදුමයට පත් කරවමින්  ප්‍රසුන් එළදෙනත් පැටියාත් බේරා ගන්නවා.   

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Palthu_Janwar

Trailer  යු ටියුබ් දිගුව  

වාර්තා චිත්‍රපට ඇසුරින් ලෝක සංචාරයක්

වාර්තා චිත්‍රපට බලන්නට මගේ තිබෙන්නේ ඉතා ඉහළ මට්ටමේ උනන්දුවක්.  කර්මාන්තයක් විදිහට ගත්තාමත් වාර්තා චිත්‍රපට කියන්නේ විශාල පරාසයක විහිදෙන පුළුල් ක්ෂේත්‍රයක්. ඒ කොහොම උනත් අපට විශ්වීය මානවයෙකු වෙන්න ඉන් ලැබෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි.  මේ මම එහෙම මේ මෑත කාලයේ දී බැලූ වාර්තා චිත්‍රපට කිහිපයක්,

Behind The Attraction

වෝල්ට් ඩිස්නි ගේ ඩිස්නි ලෝකයට 2016 දී කල ගමන තවමත් මතකයේ තිබෙන එකක් . ඒ සංචාරයේ මතක එක්ක මෑතකදී මට බලන්නට ලැබුණේ එහි තිබෙන  සංචාරක අත්දැකීම් ගැන  කල මේ වාර්තා චිත්‍රපට  පෙලයි.ඩිස්නි සමාගම කලින් කලට අලුත් කරන විවිධ සංචාරක අත්දැකීම් අද ඔබ දකින ආකාරයට සකස් කෙරුණු හැටි පියවරෙන් පියවර විස්තරාත්මකව දකින්නට මේ වැඩසටහන් මාලාව ඔබට හොද අත්වැලක් සපයාවි. 

සැබෑව හා මායාව මුසු කරමින් විවිධ දක්ෂයින්  විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඔවුන් කරන වෙනස්කම් හින්දා ඔබ කොයි වයසෙ කෙනෙක් වුණත් මුදල් තිබෙනවා නම් හැම වසරකම වුණත් ඔබ ඒ පරිශ්‍ර වලට ගියොත් අත් දකින්නට ලැබෙන්නේ වෙනස් වෙනස් අත්දැකීම්. නිර්මාණ ශිල්පීන්,  ඉදිකිරීම් ශිල්පීන් , සේවකයින් වැනි පුළුල් වපසරියක පිරිසක් ඒ අත්දැකීම් දිහා මතක අවදි කරන හැටි ඔබට මේ වැඩසටහන් පෙළේ දී දකින්නට පුළුවන්.

Moulin Rouge – Yes we Can can

වසර එකසිය තිහකට වැඩි ඉතිහාසයක් තිබෙන පැරිසියේ Moulin Rouge   නර්තනාගාරය වැඩිහිටි විනෝදාස්වාදන කැබරේ නැටුම් සඳහා ලෝකයේ නම් දැරූ   එකක්.  වැඩි මිලක් ගෙවා එහි දර්ශන බැලීම විතරක් නෙමෙයි , එහි රංගනය ඉදිරිපත් කිරීම සඳහා රැකියාවක් ලබා ගැනීමත් ඉතා දුෂ්කර වැඩක්.

අඩනිරුවත කලාත්මකව ඉදිරිපත් වන එහි නර්තන අංගයන් සඳහා ඇඳුම් ආයිත්තම් සඳහා,  පුහුණුව වගේම ඒ නර්තන අංග ඉදිරිපත් කිරීම සඳහා දක්ෂතම නිර්මාණ ශිල්පීන් තෝරා ගැනීම් සදහා ඒ  ආයතනය අති විශාල මුදලක් වියදම් කරන හින්දා වරක් පමණක් බලන්නට තරමේ සුවිසල් මුදලක් ඔබට එහි දර්ශනයක් සඳහා ගෙවන්න වෙනවා.

එහි නිර්මාණ අධ්‍යක්ෂකවරිය වන ජැනට්  ඒ සඳහා අවුරුදු තුනේ කොන්ත්‍රාත් සඳහා නිරූපන ශිල්පීන්,  ශිල්පිනියන් තෝරා ගන්නා හැටි , ඔවුන් ඒ සඳහා නැටුම් ඉදිරිපත් කිරීමට පුහුණු කරන හැටි වගේම වාර්ෂිකව ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකට අලුත්ම විලාසිතා එක්ක නැටුමක් නිර්මාණය කරන හැටිත් ඔබට ඒ  වැඩසටහන් මාලාව තුළින් බලන්නට පුළුවන්.


Lost Car Rescue 

History  නාලිකාව වෙනුවෙන් නිපදවනු ලැබූ මේ කැනේඩියානු රූපවාහිනී වාර්තා චිත්‍රපට මාලාව british columbia පළාතේ සැඟවුණු වාහන සංරක්ෂණය කරන කණ්ඩායමක් කරන ගවේෂණ කටයුතු පාදක කරගෙන නිෂ්පාදනය වුණු එකක්, කණ්ඩායම් නායකයා  Matt Sager . ඔහුගේ කණ්ඩායමට කුඩා ගුවන් යානා පදවන නියමුවරියක වන Jessica James , වාහන කාර්මික ශිල්පී Steve Sager , වාහන බඳ අලුත්වැඩියා පිළිබඳ ප්‍රවීණ  Dave Mischuk  සහ දොඹකර ක්‍රියාකරු Lee Brandt අයත් වෙනවා.

කැනඩාවේ විවිධ දුර බැහැර පළාත් වල සැඟවී තිබෙන පැරණි වටිනා රථවාහන සංරක්ෂණය සඳහා ඒවාට තව දුරටත් හානියක් නොවන ආකාරයට ඒවා සංරක්ෂණය කරන මධ්‍යස්ථානයට ගෙන එන්නට සුවිසල් ට්‍රක් රථයට පටවා ගන්නා තෙක් කරන මෙහෙයුම සුවිසල් එකක්. මෑතකදී සංචාරක සටහනක ලියූ  Bush Plane එකක්, විශේෂී දොඹකරයක් සහ වාහන ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් භාවිතා කරමින් ඔවුන් කරන මෙහෙයුම් වලදී ඔවුන් ගස් සහ ස්වභාවික පරිසරය ආරක්ෂා කරගනිමින් විශාල කාර්යභාරයක් කරනවා.  ඒ වෙනුවෙන් ඔවුන් තොරතුරු එක් රැස් කර ගන්නා හැටි , වාහන සොයන හැටි බලන්න අපූරුයි.

The World’s Most secret Hotels

ප්‍රායෝගිකව මට යන්නට බැරි වුණත්  ලෝකයේ විශාල පරාසයක මහද්වීප අතර සැරිසරන්නට මම කැමතියි.  එහෙම යද්දි අපට නවතින්නට වෙනවා. තරු පන්තිය වෙනස් වුණත් නවාතැන් ගන්න තියෙන හෝටල් බොහෝමයක් එකම විදිහේ ඒවා. දැන් තියන ප්‍රවණතාවය පරිසර හිතකාමි නැවත නැවත පාවිච්චියට ගැනෙන දේ ඇසුරින් නවාතැන් ඉදි කරන එකයි.

 මේ වැඩසටහන් පෙළේ ඔබට එහෙම තැන් රැසක් බලන්න පුළුවන්. සමහරක් ඒවා බලනකොට ඔබට හිතේවි එහෙම තැනක මේ වගේ නවාතැනක් තියෙන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතයෙන් නිවසේ ඉඳගෙන රැකියාව කරන තරුණ පිරිස් අතරේ මේ වගේ තැන් වගේම ජංගම නිවහන් ජනප්‍රිය වෙලා තියෙන්නේ නගරේ තියෙන අධික වියදම වගේම නිස්කලංක බවක් නැති හින්දයි.

Secrets of Royal travel 

බ්‍රිතාන්‍ය රාජකීයන්  තමන්ගේ ගමන් බිමන් සඳහා යොදාගත් දුම්රිය සහ ගුවන් යානා ගැන දැනගන්න පොදු මහජනතාව තුළ විශාල කැමැත්තක් තියෙනවා. දැන් දැන් රාජකීයත්වය පිළිබඳ වෙනස් කතිකාවතක් තිබුණත්  ඒ ඉතිහාසය සංරක්ෂණය කරන්න මහ  ජනතාවට ප්‍රදර්ශනය කරන්න මහා බ්‍රිතාන්‍ය කටයුතු කර තිබෙනවා.

මේ වැඩ සටහනේ කොටස් දෙකින් පළමු වැන්න රාජකීය දුම්රිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනවා දෙවැනි වැඩසටහන වෙන් ව තිබෙන්නේ රාජකීය ගුවන් යානා ගැනයි.

රුවන් හරිස්චන්ද්‍ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *