මැදියම් රෑ හන්දියේ බේකරිය

මැදියම් රෑ හන්දියේ බේකරියේ
පාන් සහ බටර් විස්කෝතු
පිළිස්සෙන අතර
මා කුඩා සන්දියේ රහ්මන්ද
මා සමඟ කැරම් සෙල්ලම් කළ
අස්මත්ගේ දිලිසෙන ඇස්ද
නැඟේ මා මතකයට
මැදියම් රෑ හන්දියේ බේකරියේ
පාන් හා බටර් විස්කෝතු
පිළිස්සෙන අතර
තනිව කාමරයේ
මදුවිත තොල ගාමි මම
බැදපු පීකුදු කැබැලි
පිඟානක සීතලව ගොස් ඇත
මා ඉදිරිපිට
මා මිතුරන් සියල්ලම
මැදපෙරදිග ගොස්ය
මැදියම් රෑ හන්දියේ බේකරියේ
පාන් හා බටර් විස්කෝතු
පිළිස්සෙන අතර
යාබද නිවෙසේ පඨාන් ජාතිකයාගේ බිරිය
ඇතුළු වී මා කාමරයට, වසා දොර
පිටුපා සිටියි මා වෙත
කියමි මම ඇයට, නැඟණිය,
වෙනත් කිසිවකු සොයා යනු මැන
පාන් පිපෙනා කලට
මුළු ගොඩනැඟිල්ලේ සුවඳ
පුරවාලයි මා නැහැය.

-දිලිප් චිත්රේ (1938-2009)

පරිවර්තනය නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.
සබඳකම

පුරුද්දක් තිබුණා ඔහුට
ආ විගස, ඇඳුම් උනමින්
ඔරලෝසුව බලන්නට
ඔරලෝසුව නොබලාම
ඈ දැන සිටියා
ඔහු පැයකින් දෙකකින් යන බවත්
ඔහුගේ ඒ පුරුද්ද
සුපුරුදු ලෙස
ඔහු කෑමට ගෙදර යන බව
ඇයට දැන්වීමට බවත්
සුරක්ෂිත ව මෙසේ
ඔවුන්ට වසර ගණනාවක් ගෙවිය හැකිව තිබිණි
බලා සිටීම, දුරකථන ඇමතුම, පැමිණීම
නොසෑහෙන නමුත් එහි යමක් විය
ඒ නොසෑහීමේ තරම
වැටහුණා ඇයට
ඇගේ උපන්දිනය සිහිවී
ඔහු මල් කළඹක් එවූ දා
ඈට හැඬුම් ආ විට

‘The Affair’ by Katharine Gallagher

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot Chocolate days බ්ලොග් අඩවියෙන්.https://hotchocolatedays.blogspot.com
*අවසර ඇතිව උපුටා ගැනුනකි