මුහුණු පොතේ කවි අතරින්

වළලු කර ගැන ඉතිං තව කවර කතා ද…..

දණිස් පොල් කටු ළඟට ගෙවුණාම ජීවිතේ

වළලු කර ගැන ඉතිං තව කවර කතා ද

හිරිහැරේ ඉවසන්න බැරිම තැන හැමදාම

තවත් නම් පුප්පන්නෙ නැත්තෙ මොන සතා ද…..

අනිත් උන් පැන පැනම ඌට ටොකු අනින්නේ

මෙතෙක්කල් කරබාන ඌ හිටපු නිසාද

අත පයට වඩා උගෙ හිත හයිය වෙච්චාම

මහත්තයො.. ඌ ඔලුව උස්සන්න එපාද…..

මහ රෑට හැඩිවෙච්ච අහස හැඩ කෙරුවේම

අපිළිවෙල පිළිවෙලක් කරපු තරු රටා ද

නැතුව මහ උජාරුව බැබලි බැබලී උන්න

සත පහක වැඩක් නැති සඳ තිබ්බ නිසාද…..

ඒ මුකුත් නොවේ, නම් සේරොටෝමත් වැරදි

හරි හමං අප්පෙකුගෙ ජාතකේ හෙව්වෙ නැති

පව්කාර ගෑණියෙක් උගෙ අම්ම නිසාද……

රුවන් ජයරත්න

https://www.facebook.com/ruwan.jayatathe

පෙනෙන දේ ගැන අවදියෙන්

සිහින අතරේ සැරිසැරූ සිත

එහි නිමාවම පෙන්වමින්…………………………….

දෙනෙත් හෙමිහිට විවර කරවයි

නැවුම් දිනයක් කැඳවමින් …………………………..

සිසිලසින් හමනා පවන් රොද

ගතේ හෙමිහිට දැවටෙමින් ………………………..

පිනිවැටුන ගහකොළේ සුවඳත්

ගෙනෙයි හදවත නහවමින් ……………………….

ඉතිරිලා යන සොඳුරු සෙනෙහස

අකුරු වැලකට ගිල්වමින් ………………………….

ඉගිල යනවා හිත අනන්තෙට

නිදහසින් හා සැනසුමෙන් ………………………….

ජීවිතය ළඟ තිබෙන්නට හැක

දහසකුත් පැන ගුලිවෙමින් ……………………….

ඒත් දිනයක ඇරඹුමෙදි එය

තැබිය යුතුවෙයි පැත්තකින් ……………………..

හිතට නිදහස හිතට සැනසුම

එකතුවෙද්දී ඒ ලෙසින් ………………………………

ගැටලු බිඳ සිත ජය ලබන්නට

දිරිය පතනෙමි ආදරෙන් ……………………………

දිනෙන් දින අපෙ දෙනෙත් ඉදිරියෙ

පෙනෙන දේ ගැන අවදියෙන්……………………..

බලා ඉඳ නිසි තැනදි බුද්ධිය

මෙහෙයවමු නිවැරදිම විලසින්…………………

රේණුකා ගලප්පත්ති

https://www.facebook.com/renuka.galappaththi

අනේ කාලේ වනේ වාසේ

කන්න අදින්නට පොලොවෙහි හැප්පෙන ගොවියෙකි මගෙ නම වෙයි කළුවා

පවුල රකින්නට දහඩිය මුතුකැට

මහ පොළොවෙහි අප පැළ කෙරුවා

වෙච්ච මහන්සිය මල් පුබුදන්නට

අහස් ගගෙන් වැසි දිය බෙදුවා

බන්ඩි කුරක්කන් මෝරන කාලෙට

හිරු දෙවියන් නෙත් ඇර බැළුවා

මඩට ගොඩට කොයි වැඩපල වලදිත්

අම්බරුවෝ වැඩි බර දැරුවා

දෙයියො වගෙයි උන් පස් ගෝරස සහ

ගොම පොහොරත් අප හට බෙදුවා

ගසට විපත් දෙන රෝග නසන්නට

සරලම ක්‍රමයන් අප කෙරුවා

ලෙඩක් දුකක් නැත නිරෝගි සම්පත

අපත් සමග සතුටින් විසුවා

කලක් එක්ක අප වයසට යනවිට

අළුත් අළුත් දේවල් වැඩියා

හුගක් ගන්න අස්වැන්න සිතාගෙන

වසත් විශත් උන් මුසු කෙරුවා

මැස්සො වහන්නැති පණුවො ගහන්නැති

කෑමත් රස කර කර හැපුවා

නොයෙක් අළුත් ලෙඩ අබල දුබල අය

දුක් දොම්නස් සැමතැන දුටුවා

මලේ රොණත් සමගින් කෘමි නාශක

මුසුව ගහ කොළත් වැළපෙනවා

පරාගනය වැඩෙ හරියට වෙන් නැහැ

මී මැස්සොත් වඳවී යනවා

නෙලා ගන්න ඵලදාවත් හිග වී

ආහාර හිගයක් ලග එනවා

සොබා දහම උඩු යටිකුරු වීලා

සියළු සත්වයෝ වැනසෙනවා

මහින්ද රුද්‍රිගු

https://www.facebook.com/mahinda.rodrigo1

මම එයාට මලක් යැව්වා අදත්…

man, woman, portrait-5886719.jpg

හැම අවුරුද්දකම උපන්දිනය දවස

හැමෝටම අමතක වුන

අවුරුදු කොච්චරක් ද මන්දා

මට අමතක නොවන

පුරුද්දක් වගේ නෙවෙයි

පාරමිතාවක් වගේ පුරන

අදත් මම යැව්වා රෝස මලක්

එයාගේ උපන් දින.

පුංචි ම කාලෙවත්

කේක් චොකලට් හමු නොවුන

පියෙක් වුන දාකත්

එවැනි පිලිවෙත් මග ඇරුන

කාලයක් යද්දී

බිරිඳටත් අමතක වුන

වැඩ වැඩි නිසාවෙන්

දරුවන්ටත් මග ඇරුන

අදයි එයාගේ උපන් දින.

ඉස්සර පොකට් මනි එකතු කරගෙන

ලස්සන කාඩ් අරන් හොරාටම

පස්සේ කාලෙක අතින් හරි

ලියූ ලස්සන වචන පේලියක් සමග

එයා ආසම කැප්රි සුවඳ කැවූ

මගේ සුබ පැතුම

එදත් නොවැරදීම ලැබුනා

ඔහුගේ උපන් දින.

ඉක්මගොස් කාලයත්

නැතුවත් කාලය ගැන වත් ආලයක්

ඒත් තවමත් ඉන්න බව දන්නවා

මග බලාගෙන

නොවරදින සුබපැතුම ගැන.

වැහැරුණත් තාම මල් පූදින

නොමැරුණු ආලයේ මල් ගසින්

පෙති ලිහී ගිය නටුවක් දරා

කවදාවත් මල් නොලැබුනු අතින්

ආදරෙන් නෙලාගෙන

ජියෝඩානි සුවඳ කැටිත්තක් එක්ක

(දැන් ඒ සුවදටයි එයා ආසම!)….

අදත් යැව්වා මලක්

එයාගේ උපන්දින!

රේණුකා ඉලංගකෝන්

https://www.facebook.com/renuka.illangakoon

සියපතක්

සියපතක් මත විසුල පිනි කැට පබළු විලසින් බබල වන්නේ

වැව්දියක් එය නිසල තුරුලේ සඟව සඟවා සුවඳ දෙන්නේ

රුපියලක් නැති දුගී අපි එය කඩා විකුනා සතුටු වෙන්නේ

දම්ගඟක් සේ විපුල ගුණ ඇති බුදුරදුන්ටම මෙය පුදන්නේ

✍️චමිලා නවගත්තේගම.

https://www.facebook.com/profile.php?id=100070352617715

Leave a Reply

Your email address will not be published. Required fields are marked *