සිංහල කෙටිකතාව
රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්. ඇයි අවුල්ද?
ඉරට හැතැප්මයි. වෝව් !
ඉර අතන – අපි මෙතන
එෆ්.එම් එකක නිවේදක බට්ටෙක් කෑගහනව. මම බස් එකේ කවුලුවට මූණ තද කරගෙන ඉර දිහා බැලුවා. ඇස් නිලංකාර වේගෙන ආවා. නිල් පාට, දම් පාට රවුම් රවුම් ඇස් දෙක ඉස්සරහ නොනවත්වාම කැරකෙන්න ගත්තා.
ඉරේ ඉඳන් ගාලු පාරට දුර හැතැප්මකට වඩා අඩු ඇති. වාහනවල ලා කලු පාට දුමාරයත්, හීන් දුහුවිල්ලත්, මූදු හුළඟ එක්ක එකතු වෙලා ඇඟේ දැවටෙද්දි දැනෙන්නෙ පෝරණුවක් ඇතුලෙ පණපිටින් පිලිස්සෙනවා වාගෙ හැඟීමක්.
“බාම්බලපිටිය බාහින අය ඊස්සරහට ඒන්ඩ. . . . . .”
කොන්දොස්තර මල්ලි හයියෙන් ඇදලා පැදලා කියනවා ඇහෙනකොටම මං ලහිලහියේ බස්සෙකේ ෆුට් බෝර්ඩ් එකට බැහැ ගත්තා. අලුතෙන් ගොඩනැංවෙන පදික වේදිකාව නිසා පදිකයන්ටත් තාර පාරට බහින්න වෙලා. මම සාක්කුවෙන් ගත්ත ලොකු ලේන්සුවෙන් බෙල්ල වටේ දහදිය පිහදාන ගමන් යුනිටි ප්ලාසා එකට ගොඩවුනා.
ලෙක්චර්ස් ගිහින් ඇවිත් රෑට රෑට ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට ඩිසයිනින් වැඩ කරලා හොයාගත්තු තුට්ටු දෙක ඉතුරු කරගෙන . . . . . .
තුට්ටු?
සුද්දො කවද්ද තුට්ටු වලින් ගෙවුවෙ! වැඩකට ඩොලර් පහ ගානෙ එකතු වුනේ සුදු කාසි.
සුදු කාසි ? පහන්, පිස්සුද යකෝ උඹට ? ඊ-මනී වලට පාටක් කොයින්ද ?
කාටවත් නොපෙනෙන සිතුවිලි පෙරලිය මැද්දෑවෙ මට හීන් හිනාවක් ගියා. වායුසමීකරණයට පින්සිද්ද වෙන්න මෙතෙක් වෙලා සිරුර වෙලාගත්තු වෙහෙසකාරී දාහය මදින් මද පහව යන හැටි විඳින අතරේ මම ආයෙත් මාත් එක්කම හිනා වුනා. මේ වතාවෙ හිනා වුනේ හදවතින් විතරයි. සුපුරුදු බකුසු මූණත්තහඩුවට මුවාවෙලා මේ විදියට හිත ඇතුලෙන් හිනාවෙන එක මගේ ඇබ්බැහියක්.
ඉහල මාලයට දිවෙන එස්කැලේටර් එක පටුයි.
කැතයි.
ඒත්. . . .
ඒත්. . . . .
එස්කැලේටර් එකේ තරප්පු හතරක් ඉහලින් පේන
දිගු දෙපා යුගලය සුදුයි.
හැඩයි.
වෙජ් හීල් එකේ ලුමිනස් රෝසපාට පටි ඒ දෙපා වලට එක් කලේ අමුතුම එළියක්.
ඇගේ විලුඹ ලා රෝස පැහැතියි, වටකුරුයි. දැවමය පැහැති වෙජ් හීල් එකේ දේදුනු වර්ණ වලින් නොයෙක් හැඩතල රටා සහිත නිදහස් මෝස්තරයක් ඇඳ තිවුනා.
හ්ම්ම්. . . . අපූරු තේරීමක්.
එස්කැලේටර් එකෙන් ඉහල මාලයට ගොඩවුනු සිය ගානක් සෙනග ඉස්සරහට, පස්සට, වමට, දකුණට ඇවිදගෙන ගියෙ මහා හදිස්සියකින් වගෙයි. මම තවමත් බලා උන්නෙ රෝස පාට හීනි පටි දොලහක් කහසුදු පාට දිග උඩුපතුල වටේ එතිලා ඇති අපූරුව දිහා.
කොරිඩෝව ඉස්සරහට ඇදෙනවද? නැත්නම් ඒ මගෙ ඇහැ කොනට පෙනුන මායාවක්ද? හෙහ් ! කෙල්ලෙක්ගෙ සපත්තුවක් දිහා බලන් ඉඳල මට කැරකිල්ලක්වත් හැදිලද.
අන්න ඈ යනව දකුණට !
වහවහා ඒ පසුපස ඇදෙනවා මිසක් මම ඒ ගැන දෙපාරක් හිතහිතා ඉන්න කාලය වැය කලේ නෑ.
‘රෝස සපත්තු දෙකක් පස්සෙ ඇවිදින බූරු කොල්ලෙක්.’
දිග කොණ්ඩය බෙල්ල පිටිපස්සට එක්කහු කරන අතරෙ මට එක තප්පරේකට එහෙම හිතුන. කොණ්ඩෙ වවාගත්තු බූරු කොල්ලෙක්. රස්තියාදුකාරයෙක්.
රෝස සපත්තුකාරියගේ මූණ බලාගන්න ඇත්නම්.
දණහිසින් අඟල් එකහමාරක් විතර උඩින් දෙපා වටේ දැවටෙන ලා රෝසපාට ලේස් පටියක්. ඩිස්නි කාර්ටුන් මුද්‍රිත ගවොම හුරතල් පාටයි. ඈ ඇවිදින්නෙ ලතාවකට. උරහිසින් පහලට වැටෙන ලේයර් කරපු කොණ්ඩෙ ඒ ගමන් තාලෙට යාන්තමට එහෙට මෙහෙට පැද්දෙනවා. කොණ්ඩෙ තැනින් තැන අපිලිවෙලට රඳවාපු හෙයාර් ක්ලිප්.
පිස්සු කොණ්ඩයක්. කාක් කූඩයක්.
තුන්වෙනි තට්ටුවෙ දකුණු කෙළවරේ තියෙන අන්තිම සාප්පුවත් පහු කරල ඈ තවත් ඉස්සරහට යනවා.
මේ කෙල්ලට පිස්සුද?
නෑ එයා ජංගමයා එක්ක හිනාවෙවී ඉස්සරහට යන්නෙ. පාරක් බලාගෙන ඇවිදගෙන යන්නෙ නෑ, කවුරුහරි උස්සන් යනකම් දන්නෙ නෑ.
ඒ ගමන මෙන්න මේකි ෆෝන් එකට රවනව. පිස්සු කෝලමක්නෙ,
ඒත් . . . . . .
අන්න ඈ දොරක් ඇරගෙන ඇතුලට යනවා.
“WORK YOUR MAGIC”
මම මේ සාප්පුව මීට කලින් කවදාවත් දැකලා නැහැනෙ ! මම හිතුවෙ ලැප්ටොප් වර්ල්ඩ් ෂෝ රූම් එකෙන් මේ සාප්පු පේලිය ඉවරයි කියලා.
ඇතුලට යමු.
ඔහ් ! වැරදුනා. මම හරිනම් ‘යමි’ කියලයි කියන්න ඕනා. ඒකට මක් වෙනවද. මමයි, එයයි. ඒ කියන්නෙ අපි. මම තනියෙන් යමි උනාට දැන් අපි දෙන්නම යමු.
අලුත් ෂොප් එකක්. මම හිතන්නෙ මේ දැනෙන්නෙ තීන්ත සුවඳ.
කෝ මාත් එක්ක ඇතුලට ආපු රෝස සපත්තුකාරි? අහා. . . . . අර සුකුරුත්තන් ෆෝන් රාක්කෙට එහාපැත්තෙන් පේන්නෙ කාක් කූඩු පිස්සු කොණ්ඩෙ.
අමුතුම මොඩ්ල් ගණනාවක ලැප්ටොප්, පරිඝණක උපාංග මහ ගොඩක්. රෝස සපත්තු හෙවිල්ල මදකට නවත්තාපු මම ලැප්ටොප් එකින් එක පිරික්සන්න පටන් ගත්ත. ඔව් නේන්නම්. මම අද තකහනියෙ යුනිටි එකට ආවෙ ලැප්ටොප් එකක් ගන්න කියලනෙ.
ප්‍රදර්ශණයට තබා ඇති ලැප්ටොප් පරිඝණක පේලියක කෙලවර මම මෙතෙක් දැක නැති අලුත්ම මොඩලයක් එක්වනම මගේ ඇස ගැටුනා. අලුත්ම මොඩලයක් – වෙනස්ම මොඩලයක්. මැගසින් එකකවත් දැකල නැහැ.
“මේ අලුත් රිලීස් එකක්ද?” මම අසල ගැවසුන අලෙවි සහායකයෙක්ගෙන් විමසුවා.
“ඔව් සර්. මේක මේ අවුරුද්දට ආපු අලුත්ම මොඩ්ල් එක. MGC 77. ස්ටොක් නම් ඉවරයි. මේ ඩිස්ප්ලේ දාපු දෙක විතරයි තියෙන්නෙ. . . .”
ඔහෝ. . . . ! ඒ ජාතියෙන් තවත් එකක්. මෙතෙක් පිරික්සමින් සිටි දිලිසෙන දම් පැහැති ලැප්ටොප් එකට වඩා අලෙවි සහායකයා පෙන්වූ තද නිල් පැහැති පරිඝණකය මගේ සිත ගත්තා.
“කොහොමද මේකෙ ප්‍රොසෙසර් එක?
“හාර්ඩ් එක?”
“රැම් එක?”
මම සුපුරුදු ප්‍රශ්ණාවලිය දිගඇරියා.
“අලුත්ම මොඩ්ල් එක බොස්.
Core i 7, 16 GB රැම්, 1 TB හාර්ඩ්, 2 GB සෙපරේට් VGA, 15.6 LED ස්ක්‍රීන්”
අලෙවි සහායකයා පුහුණු කරපු ගිරවෙක් වගේ කටපාඩමින් කියාගෙන කියාගෙන ගියා.
“ප්‍රයිස් එක කීයක් වගේ වෙයිද?”
“මේක අනූ අටක් වෙනව සර්.
අලුත් කම්පනි එකක්නෙ. ගාන බොහොම අඩුයි.”
ගන්නද? එපාද? – ගන්නද? එපාද? – ගන්නද? එපාද?
මගෙ හිත දෝලන අවලම්භයක් වාගේ ඒ අතට මේ අතට දෝලනය වෙන්න ගත්තේ නිරායාසයෙන්.
අනූඅටදාහක් කියන්නේ සාක්කුවට දැනෙන ගානක්. ආවෙ හැට පහකට විතර පරණ ලැපක් අරන් යන්න. ඒත් දැන් මොකද කරන්නෙ !
එක්කෝ කමක් නෑ. මේ තරම් හොඳ ෆීචර්ස් තියන වෙන ලැපක් අඩුම තරමේ ලක්ෂ තුනක්වත් වේවි. ඔන්නොහේ ගන්නවා.
බිල ගෙවන්න කවුන්ටරයට යන අතරෙදි මට ආයෙමත් මතක් උනේ රෝස සපත්තුකාරියව. සාප්පුව සිසාරා ඇස් දිවෙවුවත් ඇගේ ඡායා මාත්‍රයක්වත් දෑසට අසු වුනේ නැහැ.
මුදල් ගෙවූ පසු රෝස පැහැ ෂොපින් කාර්ඩ්පත වොලට්ටුවට ඔබා ගන්නා අතරේ මට යලිත් වරක් ඒ රෝස පාට සපත්තු දෙක මතක් උනා. ඔව්, මම ආසම පාට රෝස පාට. ඇයි කොල්ලෙක්ට රෝස පාටට ආදරේ කරන්න තහනම්ද?
මම රෝස පාටට ආදරේ කරන කොල්ලෙක්.
ඇයි අවුල්ද?
මම සාප්පුවෙන් එළියට බැහැලා තුන්වෙනි මහලේ ඒ මේ අත ඇවිද්දේ රෝස සපත්තුකාරියව තවත් වරක් දැකබලා ගන්න ආසාවෙන්. ඒත් අවට සාප්පු එකකවත් ඈ හිටියේ නෑ. එළියට යන්න ඇති සමහරවිට.
අනේ ඉතින් මට පාන් ද?
ලැපක් ගන්න ආපු මම කෙල්ලෙක් නිසා කට්ට කන්නෙ මොකටද ! දැන් කරන්න තියෙන්නෙ ඉක්මනටම බෝඩිමට ගිහින් මගේ අලුත් ලැපී ආදරිය එක්ක තුරුළු වෙන එකයි.
කොල්ලො කියන කතාව ඇත්ත.
මට නම් දවසක කසාද බැඳගන්න වෙන්නෙත් ලැපක්ම තමයි.
යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )
බස්සීගේ නවාතැන https://bassigenawathana.blogspot.com/ බ්ලොග් අඩවිය * අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර
සහතිකයක් සොයා!
මා උසස් පෙල ලියා නිවසේ සිටින කාලයේ එක් දවසක; පියා; මා හමුව අලුත් අදහසක් සිතට එක් කලේය.
“පුතේ! මොනවා හරි කෝස් එකක් එහෙම කරණවා නං හොයා ගන්න! මම සල්ලි දෙන්නං!”
එකල මමත් තාත්තාත් පමනක් නිවසේ තනිව විසූ කාලය විය.
අම්මා මිය ගොසින් ය. සොහොයුරාත් සොහොයුරියත් විවාහවී නිවසෙන් බැහැරවී ගොස්ය.
තවත් සතියකින් පමණ; තාත්තාම සොයා දුන් පත්තර කෑල්ලක තිබුනු “ඩීසල් මොටර් කාර්මික ඩිප්ලෝමාව” සඳහා මා ඉල්ලුම් පතක් තැපෑලට එක් කලෙමි.
කුඩා කල “රථ කල්කය” නියමිත මාත්‍රාවට; නිසි කලට ලබා දීමට බැරි වීමෙන් ජීවිත කාලය පුරාවට මා “රථ ගායෙන්” පෙලෙන බව තාත්තා පමණක් නොව අපේ සනුහරේ බොහෝ ඇත්තන් දන්නා කාරණයකි!
සති කිහිපයකින් මා හට ඉල්ලුම් පත්‍රයක් ලැබුනි. එය එවා තිබුනේ ශ්‍රී ලංකා ට්‍රැක්ටර් (නීතිගත) සංස්ථාවෙනි. සිංහලෙන් කියනවා නම් ට්‍රැක්ටර් කෝපරේශන් එකෙනි. ට්‍රැක්ටර් කෝපරේශන් එක මා හට අළුත් තැනක් නොවීය. පාසැලේ “මෝටර් කාර්මික ශිල්පය” උගෙන ගනිද්දී; වාහන වල කැටලොග් (සඟරා) ඉල්ලා ගැනීමට මම බොහෝ විට එයට ගොඩ වී ඇත්තෙමි.
ඒ කෙසේ වෙතත් ට්‍රැක්ටර යනු මගේ සිතේ මහත් විසල් කොටසක් හිමි කර ගත් මෙවලමකි. එයිනුත් මැසී ෆර්ගියුසන් 135 යන්ත්‍රයේ වූ “පිරිමි” හැඩය මාගේ ඉමහත් සිත් ගත් එකකි. මා මීට කලින් ලියා ඇති පරිදිම මම ජීවිතයේ මුල් වරට පැදවූවේද මැසි 135 කි! එය එකල අයත්ව තිබුනේ මාගේ පියා සේවය කල වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට අයත්ව තිබුනු හබරණ, ගල් ඔය හංදිය අසල හතරැස්කොටුව ග්‍රාමයේ පවත්වාගෙන ගිය පැල තවානේය. අද එතැන ඇති මැසියක්, තවානක් තබා බෝඩ් ලෑලලක් වත් එය තිබුනු තැනක් වත් සොයා ගැනීමට නොහැක.
එම පැල තවාන පාලනය කලේ ධර්මරත්න නම් මහතෙක් විසිනි. එය ඉතාමත් විධිමත් ලෙසත් පිළිවෙලටත් පවත්වාගෙන ගිය බව තවමත් මතකය. (කථාවක් ගිය දුරක් නේද?)
ට්‍රැක්ටර් සංස්ථාවෙන් මා ලද අයදුම් පතද පුරවාගෙන ග්‍රාම සේවක (එකල සිටියේ ඒ අයය! අද ග්‍රාම සේවා නිළධාරී වූවාට!) ගෙන් චරිත සහතිකයක් ද රැගෙන එහි ලිපිනය සොයා පිටත් වුනෙමි.
මා එතෙක් ට්‍රැක්ටර් සංස්ථාවට කියා ගොඩ වැදී තිබුනේ; ගිණි නිවන හමුදා මූලස්ථානය අසල තිබුනු කාර්යාලයකට සහ මිහිඳු මාවත අසල තිබුනු පැරණි ගොඩනැගිල්ලට පමණි. මේ වන විට එය මෙතනට ගෙනැවිත් තිබුනි.එය විධිමත් ගොඩනැගිල්ලක් පමණක් නොව ගොඩ නැගිලි සංකීර්ණයකි. වැඩහල, ගබඩාව, කාර්යාලය, විකුණුම් අංශය ආදී එකී නොකී මෙකී සියළුම “ගිණි පෙට්ටි” එහි ස්ථාපිත කොට තිබුනි.
එහෙත් අභිනවයෙන් එය පිහිටා තිබුනේ නාරහේන්පිටින් නාවල පාරට හැරී පුංචි රේල් පාර පනිනවාත් සමගය. එතැනට ගේට්ටුවෙන් ඇතුළු වනවාත් සමග පේලියට නවතා තිබූ මැසී ට්‍රැක්ටර් පෙල දක්නට ලැබුනි. එතැනින් අපව දෙශණ ශාලාවකට රැස් කොට පාඨමලාව ගැන හඳුන්වා දී ඊළඟ සතියේ හෝ දෙකකින් වැඩේ ඇරඹුනි.
අප අවුරුද්දක පාඨමාලාවකට ඇතුලත් වුනෙමු. ඩීසල් එන්ජිමේ නිර්මාණයේ සිට ක්‍රියාකාරීත්වය දෝෂ වැනි සෑම දෙයක්ම පාහේ එහිදී අපට උගන්වනු ලැබීය. සෛධාන්ත මෙන්ම ප්‍රායෝගික කරුණු කාරණාද එහි උගැන්වුනු අතර ඒ සඳහා යොදා ගැනුනේ ට්‍රැක්ටර් එන්ජින්ම විය!
මෙහි වූ ආශ්වාද ජනකම සිද්ධිය වූයේ එතැන තිබූ රථ ගාලේ නවතා තිබුනු යෝධ ට්‍රැක්ටර් අතර කාලය ගත කිරීමට ලැබීමය. එකල මැසී 240 ට්‍රැක්ටර් මෙරටට ආ අලුත වාගේය. අළුත්ම අළුත් කිරි කිරි ටොයියා 240 අසලම යෝධ 275 ක් නවතා තිබුනි. එය එකල මෙරටට ආනයනය කොට තිබුනේ සීනි කර්මාන්ත ශාලාවකට බව කියැවිනි.
මේ 1988 -89 වසර විය යුතුය. වසරක පාඨමාලාව අවසන්වී අවසාන පරීක්ෂණයට පවා සහභාගී වූ මුත් මාහට එහි සහතික පත්‍රය ලභා ගැනීමට නොහැකි විය!
මන්ද ඒ වන විට මාහට රැකියාවක් ලැබී තිබුනු හෙයින් හා සහතික ප්‍රධානය කරණා දිනයේ මා රැකියාව සමග කාර්යබහුල වූ නිසා විය හැක.
කාලය ගෙවී ගියේය. අවසන් කල පාඨමාලාවේ සහතිකය ලබා ගැනීම දිනෙන් දිනම පහුවී ගියේය. තවත් කලකින් පැවති රජය මෙම ආයතනය; “ශ්‍රී ලංකා ට්‍රැක්ටර්ස්” නමින් අලුතින් බෞතීස්ම කලේය! විකිණීමට පුඹුරු පත් සකසන ඕනෑම ආයතනයකට මුලින්ම ගමන් ගන්නා මල් බයිසිකලය මෙම “බෞතීස්මය” යි.
2001 වසරේදී හරි අපූරු සිදුවීමක් සිදුවිය!
දිනය හරියටම කියනවා නම් 2001 සැප්තැම්බර් මාසයේ 10 වෙනිදා ය. එදින මම නාරහේන්පිට මෙම ආයතනය ඉදිරියෙන් ඇවිද ගියෙමි. කාලයකට පෙර ආඪ්‍යයව තිබුනු මෙම ආයතනය; ඒවන විට හුදෙක් පාළුවට ගිය ගොඩනැගිළි සංකීර්ණයකි. ඉදිරියෙ මහ ගේට්ටුව වසා කුඩා ගේට්ටුවක් තුලින් යාම් ඊම් කෙරිණි.
ආරක්ෂක නිළධරයෙක් යැයි සිතිය හැකි අයෙකු ඉදිරියේ කුඩා කුටිය තුල සිටියේය. ඔහුද බොහෝ සෙයින් ජරා ජීර්ණ වී සිටියෙය. “ගෙදරක ඉදිරියේ සිටින බල්ලා; ගෙදර පදිංචිව ඉන්නා අයගේ චර්‍යාවන් විදහා දක්වයි!”
“මේක වහලාද?”
“අවුරුදු ගානක ඉඳන්!”
“වැඩ කරපු අය?”
“වන්දි අරං අස් උනානේ! කීප දෙනෙක් ඉන්නවා අන්න අර කෙරෝලේ කාමරේ! කාව හම්බෙන්නද?”
මට ඒවන විට හමුවීමට කෙනෙකුගේ නමක් කියන්නට නොතිබුනි. එහෙත් එය ඇතුලට ගොස් ඉන්නා අය සමග කථා බස් කොට දුක සැප බෙදා ගැනීමට මට සිත් විය. එය අතීතකාමයට වඩා ඒ ගැන සිතමින් ශෝකී වීමට තිබුණු අවශ්‍යතාවය විය යුතුය.
ඒ සමගම මාගේ මනසට හේතුවක්ද ගලා ආවේය.
“මට සහතිකයක් ගන්න තියෙනවා!”
“අනේ මංදා! ගිහිං බලන්නකෝ!”
මම කොරිඩෝරයක් දිගේ ඇවිද ගියෙමි. පසු කරණ සෑම කාමරයක්ම වසා දමා තිබුනි. බොහෝ කාමර වට කොට තිබුනු වීදුරු ඇතුලතින් පත්තර කොළ අලවා ඇතුලත නොපෙනෙන සේ ආවරණය කර තිබුනි.
ඒ සෑම කාමරයක්ම පිළිබඳ යාන්තම් හෝ මතකයක් මාහට තිබුනි.
මෙම පේලියේ නොවුනත් එක් කාමරයක සිටි සුන්දර යුවතිය මාහට තව මත් හොඳින් මතකය. ඇය කාර්යාලයට ඇන්දේ විචිත්‍ර සාරි වූ අතර කොන්ඩය බොහෝ සෙයින් රැලි ගැසුණු කොටට කැපූ එකක් විය. කොන්ඩයෙන් ඇය “සායි බාබාගේ නංගී” යැයි අනුමාන කල හැකි විය. ඇය නමින් සුජීවා විය. වරක් ඇයව 155 ගල්කිස්ස කොට්ටාව බසයකදී දුටු බවක්ද මතකය. ඇය සේවය කලේ අපගේ පාඨමාලා භාර කළමණාකරු සරත් විමලසූරිය (සරත් විමලසූරිය මහතාගේ නම සඳහන් කරණ්නේ මාගේ මතකයෙන් සහ මා ලඟ ඇති කුඩා මූලාශ්‍රයකපිහිටෙන්) මහතාගේ පුද්ගලික ලේකම්වරිය ලෙසිනි. අපට බොහෝ කටයුතු සඳහා ඇය හා සම්බන්ධ වීමට සිදුවූ අතර; නව යොවුන් වියේ සිටි අප එම “සම්බන්ධයෙන්” සියුම් සතුටක්ද නොලැබුවාම නොවේ!
“සුජීවා මිස් කොහේද දන්නෑ!?” මා මගෙන්ම ඇසුවෙමි.
කොරිඩෝරයේ ඇවිද යන ගමන් නිකමට මෙන් මා ආපසු හැරී බැලුවෙමි.
ගේට්ටුවේදී හමුවූ අය ඉනට අත තබාගෙන මා යන දෙසම බලා ගෙනය.
ඔහු අතින් මාහට ස්ංඥාවක් කරමින් විය.
“ඉස්සරහට යන්න ! දිගටම යන්න!!” එහි අරුත වන්නට පුළුවන.
මා කෙළවරේ කාමරයට ලං වත්ම ඒ තුල කිසිවෙකු හෝ සිටිනා බවක් එළියට දැනුනි.
මා කාමරයට පිවිසෙනවාත් සමග එය තුල මේසයක් පසුපස අසුන්ගෙන සිටි මැදි වයස පසු කල අයෙක් හිස ඔසවා බැලීය.
“මොකටද දන්නෑ . . . !?” ඔහු එසේ විමසනවාත් සමගම එතැන සිටි එක් කාන්තාවක් සහ තවත් අයෙක්ද මා දෙස හිස ඔසවා බැලුවෝය.
“ට්‍රැක්ටර් කෝපරේශන් එකෙන් මෙච්චරද ඉතුරු!?” මට ඇසුනේ ඉබේටම වාගේය. එහෙත් එයට නිසි පිළිතුරක් මා නොලැබූ අතර තව දුරටත් මුව අයාගෙන සිටින; මාහට කථා කල අයට මා දෙන්නට පිළිතුරක් සොයන්නට විය!
“ඔය මහත්තයා ඇයි ආවේ . . ?” දෙවෙනි වර ඔහු අසනවාත් සමග මා පියවිසිහියටත් පිළිතුරකින් සමන් විත වීමත් විය.
“මහත්තයා මම මෙහේ තිබුනු ඩීසල් මෝටර් ඉන්ජිනියරිං ෆස්ට් බැච් එකේ කෙනෙක්. මට මගේ සර්ටිෆිකේට් එක ගන්නට බැරි උනා! ඒක ගන්න පුළුවන්ද කියලා බලන්නයි ආවේ!?”
“අවුරුදු කීයක්ද . . ? මෙච්චර කලක් ඇයි ආවේ නැත්තේ . . . ? ඒ කාලේ හිටපු ට්‍රේනිං මැනේජ්මන්ට් එක දැං ඇත්තෙත් නෑ. ද්ං ඉන්නේ මං! මම බලන්නම් ඔයාගේ නමක් වත් ඒ ලිස්ට් එකේ තියේද කියලා . . . . . ඔයාගේ වෙලාවට තිබුනොත් බලමු මොකක්ද කරණ්නේ කියලා. කොහොමත් සර්ටිෆිකේට්ස් නම් තියෙන්නේ රෙකොර්ඩ් රූම් එකේ. ඒක වහලා . . . !”
“නිකං ඉන්න මගෙන් අහල ගියත් මොකෝ !” කියා කියමනක් ඇත. මම මේ ආවේ මගේ අතීත ස්මරණ පොලිෂ් කර ගන්නට විනා වෙන අවශ්‍ය තාවයකට නොවේ. එහෙත් මාගේ තාත්තා බැරි අමාරුවෙන් උපයා සපයා ගත් මුදලින් මා වසරක් පුරා හැදෑරූ පාඨමාලාවේ සහතික පත්‍රය ලබා ගැනීමට නොහැකි වීම හුදෙක් මාගේ වගකීමක් නැති කමද, වටිනාකමක් නැතිකමද, කියා මටම සිතා ගත නොහැක. එම නොසැලකිල්ල මගේ සිතට; කිසිදා කිසිම හේතුවකින් සාධාරණය කර ගැනීමට නිහැකි එකකි!
මාගේ ජීවිතයේ බොහෝ බොහෝ කාරණා සම්බන්ධයෙන් මේ ගුණාංගය දක්නට පුළුවන. එය මා දුටු අනෙක් චරිතය වන්නේ චින්තන ජයසේන පුවත් පත් යෝධයා ය! ඔහුද මහන්සියෙන් උඩ නග්ගන සරුංගලය නූල කඩා අහසේ පාවෙන්නට යනු බලා සිටිය හැකි අයෙකි.
ඒ කෙසේ වෙතත් පසුගිය වසර ගණනාව තුල ඔය සහතිකය පිළිබඳ මතකය නිරන්තරයෙන් මාගේ සිතට වද දුන්නේය. සෑම කාලයකදීම එය අනාගතයට කොටින්ම “හෙටට” අයත් කාරණයක් ලෙස කල් දැම්මා විනා කල දෙයක් නොමැත.
රජයේ රැකියාවක් කල මාගේ පියා එකල මේ සඳහා ගෙඩි රුපියල් 4000ක් හෝ 6000ක් වියදම් කල බව මට මතකය. මාගේ තාත්තා සේවය කලේ රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් ලෙස නොවේ. හේ සේවය කලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේය.
ඔහු උඩරට පහත රට මෙන්ම වන්නි හත් පත්තුවේද් කැලෑ තුල සේවය කල අයෙකි. වෙනත් රැකියාවල මෙන් “දුෂ්කර සේවය” කියා වෙනසක් එහි නොවීය. දුෂ්කර නොවන සේවා කැලෑ වල කොයින්ද?
අප තිදෙනෙක් හට ඉගෙනීම ලබා දුන්නේද ඇන්දුවේද කැව්වේද නිවසක් ඉඳි කලේද එතුමාගේ තනි පඩි පතිනි. මාගේ මතක ඇති කාලයක මාගේ මව රැකියාවක් නොකලාය. එහෙත් තාත්තා ගෙන එන සොච්චම නිවැරදිව කළමණා කරණය කර ගැනීමට ඇය උපන් හපන්නියක් වූවාය. මව තැපැල් ස්ථානාධිපති වරියක් වුවත් ඒ පිළිබඳව මතකයක් ලෙස ඇත්තේ ඇගේ රැකියා ස්ථාපිත ලිපිය පමණි!
තාත්තාගේ වසර 35ක පමණ සේවා කාලය තුල දෙවරක් වැඩ තහනමට ලක් විය. ඉන් පලමු අවස්ථාවේදී ඔහුගේ වැටුප් මුළුමණින්ම නවතා වසර 5 කට ආසන්න කාලයක් පැවතුනි. ඒ කාලය තුල ඔහු අප වෙනුවෙන් බොහෝ දුක් පීඩා වින්දේය. තාත්තා මෙම පාඨමාලාව සඳහා මුදල් ලබා දීමේදී කවර විදියේ කැපවීමක් කරණ්නට ඇත්දැයි මා සිතීමට නොපෙළඹුනේ එය ම හද මහත්සේ පාරණ කාරණයක් වූ බැවිනි!
අද අහම්බෙන් හෝ මා එළඹී ඇත්තේ ඒ පිළිබඳව යන්තමින් හෝ උත්සාහ කිරීමටය.
මා සිතුවිලි අතර සැරිසරණාතරතුර ඔහු එතැන තිබුනු ලී අල්මාරියක් ඇර ලිපි ගොනුවක් දිග ඇරියේය. ෆූල්ස් කැප් කොල කිහිපයක් ඒ තුල අමුනා, නවා එම ෆයිල් කවරය තුල සතපවා තිබුනි.
“ෆස්ට් බැච් එකේ අයගේ නම් මෙතන තියෙනවා. ඔයා කලේ ඉන්ග්ලිශ් මීඩියම්ද සිංහල මීඩියම්ද . . ?
“ඉන්ග්ලිශ් මීඩියම් . . !”
ඔහු ලිපි ගොනුවේ කඩදාසි ආපිට පෙරළමින් දිගැති කඩ දාසියක් මතු කර ගත්තේය!
ඔහුට කලින් මම මාගේ දෙනෙත් ඉහල සිට පහලට දිව යැව්වේය.
“මායා දුන්න” හරි මායාදුන්න කියන්නේ අපේ ඉස්කෝලේ අපිත් එක්ක මේ කෝස් එක කරපු එකෙක්. උගේ නම මට මතකය. මේ සොයා ගෙන ඇත්තේ නිවැරදි ලැයිස්තුවයි! “දෙයියනේ මොන කරුමයකට හරි මගේ නම මේකේ නොතිබ්බොත්!” මගේ සිත මටම මුර ගාමින් විය.
“මොකක්ද ඔයාගේ නම . . ?”
“මංජුල . . ශ්‍රීනාත් . . පෙරේරා . .!” මම; ඒ වන විට මා මගේ පසුම්බිය ඇද අතට ගෙන තිබුනු ජාතික හැඳුනුම් පත මේසය මත තබා මාගේ නම පැහැදිළිව නවත්වමින් පැවසීය.
“හරි මේ තියෙන්නේ . . !”
“මංජුල ශ්‍රීනාත් පෙරෙරා” දෙයියනේ මගේ නම ලැයිස්තුවේ ඇත. එවිට ඔහු එම නම ඉදිරියේ තිරස් අතට ඇඟිල්ල ගෙන ගියේය!
“අන්තිම කාලේ වැඩිය ලෙක්චර්ස් වලට ඇවිල්ලා නෑ වගේ!” එහි තැනින් තැන වූ බිංදු අසලින් ඇඟිල්ල ගෙන යමින් පැවසීය.
“ආ හරි ඔයා ෆයිනල් එග්සෑම් එකත් කරලා තියෙනවා. මේ එන්ජින් තියරි වලට වෙරි ගුඩ් පාස් එකකුත් අරං තියෙන්නේ . . !?” ඒ සියල්ල එම ලැයිස්තුවේ සඳහන් වී තිබුනි.
“හරි සර්ටිෆිකෙට් එක අරං නෑ තමයි! ඇයි ගන්න ආවේ නැත්තේ රට වත් ගියාද?” මාහට ඉඩ ලැබුනේ හතරට පහට ඇඹරෙන්නට පමණි.
“වෙනින් දවසක ඇවිත් වත් ගන්න පුළුවන්ද?” මම ඔහුට නැඹුරු වී සෙමින් ඇසීය. මේ මා ඉදිරියේ ඉන්නේ මා අතින්; මාගේ නොසැලකිළිමත් භාවය නිසා ගිලිහී ගිය අතීතය නැවත එක්කාසු කොට’ මා අත ඇzති ෆයිල් කවරයක් තුලට දැමිය හැකි ඉෂ්ඨ දේවතාවාය!
“පුතා! ඒවා ශුවර් නෑ! අපිත් මේකට හෙට එයිද නැද්ද කියන්නත් බෑ!! හෙට වෙන කොට මේ බිල්ඩිම වත් තියෙයිද කියන්න බෑ!!!” ඔහු බර සුසුමක් හෙළමින් ප්‍රකාශ කලේය.
“සර්! දැන් මොකද්ද මේකට කරණ්න පුළුවන්! මට සර්ටිෆිකට් එකක් අද ගන්න බැරි නං ලියුමක් වත් දෙන්න බැරිද?” මම බොහෝ ගරු ගාම්භීරව ඇසීය.
“ඔව් එහෙම එකක් කරණ්න බලමු! මිස් ලෙටර් හෙඩ් එකක් අරං මේ ළමයට මෙන්න මේ ටික ටයිප් කරලා දෙන්න! . . . . . . . . . . This is to certify that . . කියලා මෙයාගේ නම දාලා . . . has followed the Diploma in Diesel Motor Engineering Technology . . . . . . . . කියලා ලියුමක් ගහලා දෙන්නකෝ! ඔයා අන්න අර මිස්ට ඔයාගේ නම හරියට දෙන්න . .! . . . . . . . . . . . . ” ඔහු කියාගෙන කියා ගියේය..
“සර් ඕකට දාන්න පුළුවන්ද මට එන්ජින් තියරි වලට වෙරි ගුඩ් පාස් එකක් තියෙනවා කියලා . . .!?” මම බැගෑපත් ස්වරයෙන් ඇසීය!
“ඔව් ඔයාට ඒක වැදගත් නම් අපි ඒක දාලා දෙන්නම්! ඒක බොරුවක් නෙවෙයිනේ . . මිස් මේ ටිකත් දාන්න . . . . . .He has obtained a very good pass in Engine Theory at the final Examination . . !
මගේ වසනාවට එදා එහි සිට ඇත්තේ ට්‍රැක්ටර් සංස්ථාවේ (පසු කලෙක ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ් වූ) අවසන් Training & Technical Development Manager ජී. ඒ. මාකෙවිට මහතාය. ලිපිය ලබා අගත් පසුව ඔහුට හා අනෙක් අයට බෙහෙවින් කෘතඥවූ මා එයින් පිටවිය.
“තව මොනවා හරි තොරතුරක් ඕනෑ වුනොත් මට කතා කරණ්න. එතැන සිටි එකම කාන්තාව වූ මංගලිකා මහත්මිය ඇගේ නිවසේ දූරකතන අංකය මාහට නිර්ලෝභීව ලියා දුන්නීය!
මේ පහලින් ඇත්තේ එම ලිපියයි. ජීවිතයේ සතුටින්ම සිටි දවසක් ලෙස එදින මාගේ මතකයේ අදටත් පවතී.
මෙම ලිපිය ලැබී කාලය සෙමෙන් ගෙවී ගියේය. ඒ ගෙවී ගිය කාලය තුල මෙම ලිපිය මා එකසිය එක් වතාවක් බලන්නට ඇත. එය ඒ තරම්ම ජීවිතයට වැදගත් එකක් විය. කාලාන්තරයක් අත හැරී තිබී; සතුවූ වස්තුවක් විය. වසරින් වසර ගෙවී ගොස් 2006 වසරේ අවසාන කාර්තුවට ලඟා විය. මේ කලය වන විට යටි සිත නැවත මුර ගාන්නට විය.
“ලියුමක් තිබුනාට සහතිකයක් නෑනේ! පාඨමාලාවකට පසු අත ඉතිරි විය යුත්තේ සහතිකයක් විනා ලිපියක් නෙවෙයිනේ . . !” මේ යටි සිත මාහට කෙඳිරූ අයුරුය!
මා හට දැන් අවශ්‍යව ඇත්තේ සහතිකයක්ය. එසේම එය හොර සහතිකයක්ද නොවිය යුතුය! මා හට මරදානේ ඇවිද සහතිකයක් කොයි ලෝකෙන් හෝ ගසා ගැනීමට හැකියාවක් ඇති වුවත් මට ඇවැසි වූයේ එවැන්නක් නොවේ! මට අවශ්‍ය වූවේ “ජෙනුයින් සර්ටිෆිකේට්” එකකි!
එහෙත් ගතවූ කාලය තුල; පැවති රජයයන් විසින්; ට්‍රැක්ටර් සංස්ථාව දියකොට හැර තිබුනි. එය පෞද්ගලික අංශයට විකුණා දමා දමා තිබුනා පමණක් නොව එය මිළදී ගත් මුදලාළිලා එහි ඉඩ කඩම් ගැන උනන්දු වූවා මිස මෙරටට ට්‍රැක්ටර් ගෙන්වා විකිණීමක් කිරීමට උනන්දුවී නොතිබුනි.
කලකට පෙරට මෙරට දිවුනු මැසි ෆර්ගිසන්, කුබෝටා (මට මතක ඇති පරිදී ඉසෙකි ) යන්ත්‍ර ගෙන ආ ආයතනය හුදෙක් නිශ්චල දේපලක් පමණක් වී තිබුනි.
ඒ වන විට මා ඩිප්ලෝමාව අවසන් කොට වසර 17ක් ගත වී ඇත. ට්‍රැක්ටර් සංස්ථාවක් ඒ වන විට නැත!
එය මිළදී ගත් ආයතනය ලෙස වෙනත් පෞදගලික සමාගමක නමක් කියැවුනි. මා එම ආයතනය සොයා බොහෝ වාර ගණනාවක් ගිය පසු; එම ආයතනයේ සේවය කල එක් නිළධරයෙකු; ඒවන විට වසර දහයක පමණ කාලයක් වසා දමා තිබුනු කාර්යාලයක් ඇර පෙන්වීමට පොළඹවා ගැනීමට මාහට හැකිවිය.
“ඔරීමජිනල් සහතිකයක් මා කෙසේ හෝ ලබා ගනිමි’ යි මා ස්ථිරව අධිෂ්ඨානය කර ගත්තෙමි. මේ ලෝකේ කොහේ හරි ඔරිජිනල් සහතිකයක් ඇතොත් මම එය සොයා යා යුතු මය! මම මටම නියෝගයක් පනවා ගත්තෙමි.
එක්සෙ නසුරාදා දිනෙක මම නාවල වසා දමා තිබුනු ඉස්ටෝරු සංකීර්ණයකට ගියෙමි. එහි සිටි ආරක්ෂක නිළධරයා හමුවීමත් සමග ඔහු දූරකථනයෙන් පෙරකී අයව සම්බන්ධ කරගත්තේය. පසුව ඔහු එකල එනම් ඊට වසර ගනනාවකට පෙර ආයතනයේ කාර්යාලය ඇර පෙන්වීමට කැමති විය.
“මේකේ තිබුනු ඔක්කොම ලිය-කියවිළි තියෙන්නේ මෙන්න මේ කෑල්ලේ!” ඔහු දොරක් අබියසට ගොස් පැවසීය. මකුළු දැල් වැහුණු දූවිලි පිරුනු දොර ඇරීමට ගියෙමු!
අප මකුළු දැල් පිරුණු දූවිල්ලෙන් වැසී ගිය දොරක් අභියස සිටියෙමු. ආරක්ෂක නිළධරයා අත යෝධ යතුරු කැරැල්ලකි. ඔහු එහි වූ යතුරු එකින් එක දමා දොර අරින්නට උත්සාහ ගනිමින් විය.
“දැන් මේක ඇරියත් ඔහේගෙ ඔය ගත්තෙ නෑ කියන සහතිකේ මේකෙ කොහේ තියෙනවද නෙවෙයි තියෙනවාද කියලාවත් කවුද දන්නේ? මේ ඉස්ටෝරුවේ වහලෙ දෙපාරක් හැදුවා. තිබුනත් දැන් තෙමිලා විනාස වෙලා ඇති!” ඔහු මාගේ සිත පාරවමින්; යතුරු කැරැල්ලේ තවත් යතුරක් යතුරු සිදුර ඇතුලට දැමීමට උත්සාහ කරයි.
“මගුල! මේවා අරින්න බෑ අප්පා; මළකඩ කාලා!” මගේ ඇඟේ ගෑවී නොගෑවී යන පරිද්දෙන් නිළධර තොමෝ යතුරු තහඩුවට දෙස් දෙවොල් තියමින්ය.
“තාම උදේට කාලත් නෑ! මේවට කවුරු හරි එවන එවුං දැන ගන්න ඕන !” ඔහු ඔහුගේ බැරි අමාරුකමින් වටේටම පහර දෙමින් සිටියේය.
“අයියේ මේ සහතිකෙන් මගේ මුළු ජීවිතේම වෙනස් කරණ්නටපුළුවන් එකක් අයියේ! ඔයාට මේකට පොඩි වෙලාවක් මහන්සි වෙන්න නං වෙයි! මම මේ මේකට මහන්සි වෙන්නේ අවුරුදු ගානක ඉඳන්!” මම ඔහු අමතා කීවෙමි.
ඒ වැකිය ඔහුට පැවසූ මාගේ බිඳුණු ස්වරය ඔහුගේ හදවතේ ගැඹුරුම තැන ඇනෙන්නට ඇති! ඔහු මද වේලාවක් මාගේ මුහුණ දෙස බලා සිටියේය.
“ඔව් නේද!? හරි බලමුකෝ !” ඔහු බොහෝ සෙයින් වෙනස් වී ගිය බවක් පෙණුනි. “දොර ඇරීම හා මාගේ සහතිකය සොයා දීම” යන කාරණය ඔහුගේ කාර්යයක්, යුතුකමක්, සද්ක්‍රියාවක්, පිංකමක් ලෙස ඒත්තු ගැන්වීමට මාගේ වදන් පෙළ සමත් වී තිබුනි.
මා එකල විශ්වාසකල ලෝකයේ පවතින- නොපවතින, දෘෂ්‍යමාන – අදෘෂ්‍යමාන, මිය ගිය මාගේ ආසන්නතම ආදරණීය වස්තුව “අම්මා” මේ සියළු දෙනාහට මා නිහඬව මගේ දුක කීවෙමි. “අනේ මේ දොර ඇරෙන්න! ඇරලා දෙන්න!!” එහෙත් අවසානයේ ඒ මොන බලවේගයකටවත් දොර ඇරීමට නොහැකි විය!
“අනේ දෙයියනේ . . . !” මට කියැවිනි.
“පොඩ්ඩක් ඉන්න තව යතුරු දෙක තුනක් බෙලෙක්කෙක දාලා තිබ්බා . . .!” ඔහු නැවතත් මාගේ බලාපොරොත්තුවේ නිවී යන්නට සූදානම් වූ පහනේ තිරය සකසා තෙල් ස්වල්පයක් එක් කලේය.
මා ඔහු පසු පසම; ගේට්ටුව අසල කුඩා කුටිය වෙත ගියෙමි. මේසයක් යටින් ඔහු සාමාන්‍ය තරමේ මලකඩ කා දුර්වර්ණ වූ විස්කෝතු ටින් එකක් එළියට ගත්තේය.
“මෙතන නැත්නං මට කරණ්න දෙයක් නෑ! මට පුළුවං උපරිමෙං මම කලා . . . . !”
“ඔව් මම දන්නවා අයියේ! මොනා කරණ්ණද . . !?”
අප ආයෙමත් පා ගමනින් පැරණි ගබඩා කාමරය අසලට කිට්ටු කලෝය. ගබඩාව පිහිටියේ හිස් බිමකට මුහුණලා ය. එහි පසෙක පහලින්ම අතු විහිදී ගිය අඹ ගසෙකි. එහි දිගු සෙව නැල්ලක් පොලොව මත පතිත කරමිනි. ගොඩ නැගිල්ල ඉදිරියේ වූ හිස් බිම් කඩේ තැනින් තැන උස් තණකොල පඳුරු වැවී තිබුනි. එහෙත් අපගේ ගමන් මග විහිදී තිබුනේ දූවිළි පිරුණු නිරුවත් පස් බිමක් මතය!
ගබඩාවේ ඉදිරි දොර කොටස් හතරකින් සමන් විත විය. එහි ප්‍රධාන කොටස ඇරීමටයි අප මෙතෙක් මහන්සි වූයේ. එය වසා දමා හිර කරගෙන සිටි යෝධ ඉබ්බා; “ආ! වරෙල්ලකෝ බලන්න ආයෙ . . !” කියමින් ඔරවාගෙන සිටියේය.
දොර ඇර පෙන්වීමට මා සමග ආ ආරක්ෂක නිළධරුවා යතුරු බෙලෙක්කය බිම තැබීමට සූදානම් වන විට මම ඊට ඉඩ නොදී අල්ලා ගත්තෙමි.
“දෙන්න අයියේ . . !”
මොනවා කලත් එම දොර ඇරීමට ඒ කිසිදු යතුරකට නුපුළුවන් විය.
“කරුමෙ අයියේ . . !” මම ඔහුට කීවෙමි. මා වට පිට බලන විට මෙම මහ දොරට ලම්භකව එලියට නෙරා ආ ගොඩ නැගිල්ලේ කොටසක තවත් කුඩා දොරක් දක්නට ලැබුනි.
“අයියේ අර දොර ඇරගෙන ඇතුලට යන්න පුළුවන්ද දන්නෑ නේ . . ?
“අනේ මංදා මේක නිකං වංක ගිරිය වාගේයි . . . බලමු ඒකත්!”
ඔහුට කලින් මා එතැනට අඩි කිහිපයකින් ළඟා විඅය! මාගේ අතවූ බෙලෙක්කයේ පතුලේ ඒ මේ අත විසිරී තිබුනු යතුරු කිහිපය ගෙන එකින් එක අගුලට දමා කරකැවීමට උත්සාහ කලෙමි.
ඔබ පිළිගන්න දෙවෙනි තෙවෙනි උත්සාහයේදී අගුල ඇරුනි!
“මං කිව්වේ . . මෙතන ඕකේ යතුර තියෙනවා කියලා . . !” ඔහු තම වෘථීය ඥානය මා ඉදිරියේ ගෙන ඇර පෑවේය.
මා දොරේ අගුල ඇරියත් දොර ඇරියේ නැත. එය ඇරීමට ඔහුට ඉඩදී පසෙකට වූයෙමි. ඒ ඔහුට ගෞරවයක් ලෙසය! (පිස්සු මනස් ගාත!)
ආරක්ෂක නිළධරයා දොර ඇර ඇත්ලට ගියේය. මමද ඔහු පසු පසින් වැටුනෙමි. ශාලාවේ පසක තොනී ලෑලි වලින් වෙන් කල කුටිඅක් විය. එහි දොර ඇර තිබුනු අතර එය මුළුමණින්ම ලිපි ද්‍රව්‍ය වලින් පිරී තිබුනි. විශාල ලිපි ගොනු එහි පීත්ත පටි වලින් ගැට ගසා තිබුනි. පීත්ත පටි සකස් කොට තිබුනේ යතුරු ලියන තීන්ත රිබන් වලිනි. ඒවා රතු පැහැයෙන් හා කළු පැහැයෙන් ෆයිල් කවර වතා දරණ ගසාගෙන සිටියෝය!
“ඔන්න ඔතන බලන්න! තියෙන මගුලක් ඔතන තමයි! නැත්නං නෑ! ඔයාට තියෙන්නේ ඔය ප්‍රෙස් එකකට ගිහිල්ලා කීයක් හරි දීලා සහතිකයක් ගහ ගන්න!” මම ලිපි ගොනු එකින් එක ලිහා බලද්දී ඔහු පසු පස සිට උපදේශනයක යෙදෙමින්ය. ඒ අතර ඔහු අසල වූ මේස ලාච්චු ආදිය එකින් එක ඇර බැලුවේ ඔහුටත් යමක් වෙත්ද කියා විය යුතුය!
දෙවෙනි තෙවෙනි ලිපි ගොනුව මේසය මතට ගෙන ලිහා බලන විට බිම තිබුනු ෆයිල් කන්ද යට වූ එක් කවරයක් අතරින් එලියට පැන තිබුනු කහ පැහැති කාඩ් බෝර්ඩ් මිටිය මා දුටුවෙමි. මා සියල්ල නවතා දමා එම ලිපි ගොනුව සීඋවට අතට ගෙන ඩිග ඇර බැලුවෙමි.
මා එතෙක් සොයා ආ වස්තුව එහි විය! ඔව් කිසිවක් නොලියන ලද සහතික මිටියක් එහි විය.
“අයියේ මේ තියෙනවා . !” මට කෑගැස්සිනි.
“ගන්න ගන්න එකක්! ඔයාගේ නම තියෙනවාද?”
“නෑ මගේ නම තියෙන මගේ සහතිකේ හොයන එක ලේසි වෙන්නේ නෑ! අවුලක් නෑ මට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්!”
ඔහු මගේ අතින් සහතිකය ගෙන දෙපැත්ත බැලුවේය. “අයියෝ මේකටද මේ මැරුණෙ!? මේක සටස් ගාලා ගාලා දෙයිනේ ප්‍රෙස් එකකට ගියා නං!” ඔහු කීවේ එලෙසින් ය. ඔහු එය නොසැලකිළිමත්ව ඇල්ලූ තැන ඔහුගේ දූවිළි වැකුණු ඇඟිළි සටහන සහතිකයේ රටාවක් ඇඳීය. මා නැවතත් ලිපි ගොනුවට නැඹුරු වී අලුත් නොයිඳුල් සහතික කන්‍යාවක් ගෙන එතැනින් පිටත් විය.
දැන් සහතිකේත් හරිය! එහෙත් එහි කිසිවක් ලියා නැත. අත්සන් නැත. කොටින්ම හොර මුද්‍රණාලයකින් ගසා ගත් සහතිකයකට වඩා මෙහි ඇති සුවිශේෂී අලබෝලයක් නොමැත. පලමුව මා දැන් කල යුත්තේ මාගේ නම මෙහි මුද්‍රණය කර ගැනීමය!
ඊට මා උදව් කර ගත්තේ මාගේ සොහොයුරියයි. ඇය එකල ජා ඇල ඒකල යූනියන් කාබයිඩ් සමාගමේ සේවය කලාය. (මේ වන විට එයද වැසී ගිය කර්මාන්ත ශාලාවකි!) ඇය කාර්යාලයෙන් සහතිකය මත මාගේ නම කොටා ගෙනැවිත් දුන්නීය.
තෙවැනි ක්‍රියාන්විතය ඇරඹුනේ ඉන් පසුවය. මෙම සහතිකයේ ට්‍රැක්ටර් සංස්ථාවේ එවකට සිටි සභාපති, සාමාන්‍යාධිකාරී සහ පුහුණු කළමණාකරු යන තිදෙන අත්සන් කල යුතු විය. මේ වන විට මා සමග මෙම පාඨමාලාව කල කිසිවෙකු පිළිබඳව කිසිදු ආකාරයේ සම්බන්ධයක්ද නොමැති විය.
දැන් තව අත්සන් තුනක් මා සොයා යා යුතුය! වසර ගණනාවකට පෙර වැළලුනු අතීතයක් සොයා යෑමට යලිත් මා පටන් ගතිමි. මා මෙවර අමන් ඇරඹුයේ දෙහිවලිනි. ඒ මාකවිට මහතාගේ කාර්යාලයේදී තම නිවසේ දූරකථන අංකය ලබා දුන් මංගලිකා මහත්මිය හමුවීමෙන් ය. ඇය “සරත් විමලසූරිය” (සරත් විමලසූරිය මහතාගේ නම සඳහන් කරණ්නේ මාගේ මතකයෙන් සහ මා ලඟ ඇති කුඩා මූලාශ්‍රයකපිහිටෙන්) එනම් එවකට මාගේ පුහුණු කළමණාකරුගේ නිවෙස තිබෙන ඉසව්ව පිළිබඳව ඉඟිය දුන්නීය.
“එයා හිටියේ රත්මලානේ සිරිමල් උයනේ” මට පාර නම් හරියට මතක නෑ! ඔයා පොඩ්ඩක් ඒ පැත්තේ ගිහිං බලන්නකෝ.!’ ඇය කාරුණිකව මා හට කීවේය.
“තාම ජීවත්ව ඉන්නවා ඇතිනේ . . ?”
“ඔව් වොව් තාම ඉන්නවා . . .!’ ඇය සිනහ වෙමින් පැවසීය.
සිරිමල් උයන යනු මීට වසර ගණනාවකට පෙර ජනාවාසයක් නැතහොත් ජනපදයක් වූ විසල් බිම් කඩකි. එයට ඇතුළු වීමට අත්තිඩිය පාරෙන් හා ගාළු පාරෙන් මාර්ග තිබුනි. අත්තිඩිය පාරත්, ගාළු පාරත් ටෙම්ප්ලර්ස් පාරත් අතර මැද මෙම ප්‍රදේශය පැතිර තිබුනේය. මෙම ප්‍රදේශය පුරාවට විහිදී තිබුනේ මල් වල නම් වලින් හැඳින් වුනු මාර්ග පද්ධතියක්ය. උපුල් මාවත, සමන් මාවත, නෙළුම් මාවත ආදී වශයෙන් වූ නෙක පුෂපයන්ගෙන් එම ප්‍රදේශය පිරී තිබුනි.
මා රත් මලානට ගොඩ බැස්සේ දිවා කල ගෙවී යාමත් සමගය. දහවල් එකේ දෙකේ සිට පලාතේ කොනක සිට සෑම පාරක් පාරක් ගානේ මා “සරත් විමලසූරිය” සොයමින් ඇවිද්දේය. කාලය ගෙවී යමින් ය. දැන් වේලාව සවස 6.00 පසුවී ගොස්ය. සිරිමල් උයනේ එක් කෙළවරක ටෙනිස් පිටියක් (හෝ බැඩ්මින්ටන් පිටියක්) විය. ඒ අසල සිටියේ තුවා කරේ දා ගත් යොනෙක්ස් කොට කලිසම් හා ටී ෂර්ට් ඇඳගත් සුදු ක්‍රීඩා සපත්තු ලාගත් එක විදියක පිරිසකි. මා සෙමෙන් සෙමෙන් එතැනට කිට්ටු කලෙමි.
“මහත්තයා මේ අර . . . සරත් විමල . . .” මට කියා අවසන් කරණ්නට ලැබුනේ නැත.
“ආ! පොඩ්ඩක් ඉන්න දැන් මෙතැනට එනවා . . !”
තවත් විනාඩි ගණනකි එතැන පසෙකි නැවැත්වූ මෝටර් රියකින් සරත් විමලසූරිය මෙලොවට සැපත් වුනි.
“අර එන්නේ . . . !” එතැන සිටි අයෙකු මට ඉහුව දැක්වීය. එසේ නොකලානම් එකවර මට ඔහුව හඳුනා ගැනීම පහසු වන්නේ නැති තරම් ය. වටා පිටාවේ අඳුර, කාලය, ඔහුගේ ඇඳුම ආදී සියල්ල ඊට හේතු විය.
“සර්! . . . . මම . . !” කථාව මුල සිට පැවසීමි! නළල රැලි කරගෙන සිනහ මුසුව ඔහු ඒ සියල්ල අසා සිටියේය විමතියෙනි. මාකෙවිට මහතා මා අතට පත් කල ලිපිය මාගේ කථාවට මහත්වූ පිටුවහලක් සැපයූවේය!
“ඔයා මාර මනුස්සයෙක්නේ . . . . !” ඔහු සහතිකය ගෙන ඔහුගේ මෝටර් රිය වෙතට ගොස් Manager Training සන් නාමය ඉහලින් අත්සන් කර දුන්නේය.
“සර් චෙයාමන් සර්ගෙයි ගෙනරල් මැනේජර සර්ගෙයි අත්සන් ගන්නේ කොහොමද . . . ?”
“ආ! ඉන්න මම ඒක කරලා දෙන්නම්! මම ලියුමක් ලියලා දෙන්නම් ඔයා ගිහින් මිස්ට අමර සිංහව හම්බෙන්න! එයා දැණ් ඉන්නේ කැළණියේ ” . . . .” කම්පනි එකේ! එයා උදව් කරයි අනිත් අත්සන ගන්න!”
සරත් විමලසූරිය මහතාට ලිපියක් ලිවීමට කොල කැබැල්ලක් සොයා ගැනීමට අපහසු නිසාදෝ; මාකවිට මහතාගේ ලිපියේ පසු පස ඔහු සටහනක් තැබීය.
සරත් විමලසූරිය මහතාගෙන් මා සමුගෙන පියවර කිහිපයක් ඉදිරියට ඇවිත් ආපසු හැරී බලනා විට ඔහු අනෙක් පිරිසට මා පෙන්වමින් රසවත් කථාවක් කියන්නට පටන් ගෙන තිබුනි!
පසුදිනම මා අමරසිංහ මහතා මුණ ගැසී සහතිකය මත අත්සන තබා ගත් අතර ඔහුගේ මග පෙන්වීමෙන් නුගේගොඩදී අවසන් අත්සන නොබෝ දිනකින් ලබා ගෙන සහතිකය සර්ව සම්පූර්ණ කර ගත්තෙමි!
ජීවිතය එසේය!
මුළු මහත් ජීවිතය පුරාවටම යන බස් එක පසු පසින් දිව ගොස් පස්සා දොරින් එල්ලුනු මා හට මෙය අමුත්තක් නොමැත!
මේවා සියල්ල ජීවිතයේ පසු කල ආ මං පෙතේ සළකුණුය.
ඉන් පසු 2007 සිට පුරා වසර 12කට ආසන්න කාලයක් මා ජීවත් වූයේ එම සහතිකයේ පිහිටෙනි. යුනයිටඩ් මෝටර්ස් ආයතනයට ගොඩවීමට මාහට දොර හැරුනේ එළෙසින් ය!
දුක් මහන්සියෙන් හරි හම්බ කල දේ දුන් තාත්තාට කිසිදා ඒ සහතිකය දැක ගැනීමට බැරිවිය. තාත්තා කිසිදා මගෙන් “කෝ කරපු කෝස් එකේ සහතිකේ . . ?” කියා විමසා නොතිබුනි! මා එය තාත්තාට කිසිදා නොපෙන්නූ බව මතක් උනේ අද මා මෙය ලියන මොහොතේය! මා කෙතරම් අකාරුණික පුතෙක් ද?
මංජුල ශ්‍රීනාත් පෙරේරා
තට්ටයාගේ කොලම බ්ලොග් අඩවිය https://thattayagekolama.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව
මා අත්තම්මාට අකුරු ඉගැන්වූ හැටි
මම දොළොස් වියැති තරම් වයසේදී උතුරු කර්නාටකයේ ගම්මානයක මගේ අත්තම්මා සහ සීයා විසූ නිවසේ ඇතැම් කාල වල නතර වී සිටියෙමි. ප්‍රවාහන පහසුකම් ඒ තරම් හොඳ මට්ටමක නොතිබුණු ඒ කාලයේදී අපට උදෑසන පුවත්පත ලැබුණේ හවස් වරුවේ ය. සතිපතා පළ වූ සඟරාව පැමිණියේ දිනක් ප්‍රමාද වූ පසු යි. ගමට පුවත්පත්, සඟරා සහ තැපැල් ගෙන ආ බස් රථය පැමිණෙන තුරු එකල අපි නොඉවසිල්ලෙන් බලා සිටියෙමු.
මේ කාලයේදී ත්‍රිවේණි නමින් කන්නඩ බසින් ලියූ ඉතා දක්ෂ ප්‍රසිද්ධ ලේඛිකාවක් විය. ඇය ලියූ දේ කියවීමට පහසු වූවා මෙන්ම ඒවා හදවතට ඉතා ළඟ බවක් දැනුණි. ඇගේ රසවත් කතාවලට බොහෝ විට විෂය වූයේ සාමාන්‍ය මිනිසුන් මුහුණ දෙන සංකීර්ණ මානසික ගැටළු විය. ත්‍රිවේණි අඩු වයසින් මිය යෑම කන්නඩ සාහිත්‍යයට සිදු වූ බලවත් අඩුපාඩුවකි. හතලිස් වසරකට පසු පවා තවමත් රසිකයෝ ඇගේ නවකතා අගය කරති.
‘කාශි යාත්‍ර’ නම් ඇගේ නවකතාවක් එකල කර්මවීර නම් සතිපතා නිකුත් වූ කන්නඩ සඟරාවක කොටස් වශයෙන් පළ විය. කාශි නගරයට හෝ බරණැසට වන්දනා ගමනක් යන්නට බලවත් ආසාවෙන් සිටි වයස්ගත කාන්තාවක් ගැන මේ කතාව ගෙතී තිබිණි. කාශි වෙත ගොස් විශ්වේශ්වර දෙවියන් ට පුද පූජා පැවැත්වීම උසස්ම පුන්‍යකර්මයක් ලෙස බොහෝ හින්දුවරු විශ්වාස කළ හ. මේ කතාවේ වයස්ගත කාන්තාවත් මේ විශ්වාසයේ එල්බ සිටි අතර මේ ගමන යාමට සැලසුම් කරද්දී ඇතිවූ අභියෝග මෙහි විස්තර කෙරුණි.. මීට අමතරව මේ කතාවේ අනාථ දැරියක් ද විය. ඈ ආදරයෙන් බැඳී සිටියද ඇයට විවාහය සඳහා මුදල් තිබුණේ නැත. අන්තිමේදී වයස්ගත කාන්තාව තමන් කාශි වෙත යාමට එක්රැස් කරගත් මුදල තරුණියට දෙන්නීය. “විශ්වේශ්වර දෙවියන්ට වන්දනා කරනවාට වඩා මේ අනාථ කෙල්ලගේ සතුට මට වැදගත්” ඈ කියයි.
ක්රිෂ්ටක්කා නම් වූ මගේ අත්තම්මා කිසිදාක පාසැල් ගොස් නොතිබුණු නිසා ඈ කියවීමට දැන සිටියේ නැත. හැම බදාදා දිනකම සඟරාව පැමිණි විට මේ කතාවේ ඊළඟ කොටස ඈට ඇසෙන්නට කියවීමට මම පුරුදු වී සිටියෙමි. මේ වෙලාවට ඈ තමන්ගේ සියලුම වැඩ කටයුතු අමතක කර ඉතා උනන්දුවෙන් මට සවන් දුන්නාය. ඉනික්බිති ඈ මුළු කතාවම මතකයෙන් ආපිට කීවා ය. අත්තම්මා ද කිසිදිනක කාශි වෙත ගොස් නොතිබූ නිසා ඈ කතාවේ කතා නායිකාව සමඟ සිතින් බැඳී සිටියා ය. එබැවින් අන් කවරෙකුටත් වඩා කතාවේ ඊළඟට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ඈ උනන්දු වූ අතර මවෙතින් එය ඇසීමට මඟ බලා සිටියා ය.
සෑම සතියකම ‘කාශි යාත්‍ර’ කතාවේ සිදු වූ දේ දැනගත් පසු ඈ කෝවිල් බිමේ දී තම මිතුරියන් සමඟ ඒ ගැන සාකච්ඡා කළා ය. කුඩා අප ඒ අවට තැන තැන දුවමින් හැංගි මුත්තමේ යෙදුණු එකල නම් මට ඒ කතාවේ ඒ තරම් අවධානය ලැබිය යුතු දෙයක් නොවැටහිණි.
වරක් මම විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට මගේ ඥාති සොයුරු සොයුරියන් සමඟ යාබද ගමකට ගියෙමි. ඒ කාලයේ මේවා සුවිශේෂී උත්සව විය. නිරතුරුව රස කෑම ත්, සෙල්ලම් කිරීමට ඉඩ කඩත් ලැබුණු බැවින් අප කාලය ගතකළේ මහත් ප්‍රීතියෙනි. කාර්යබහුල වැඩිහිටියන්ට අප ගැන සොයාබලන්නට ඉඩකඩ නොතිබුණු බැවින් අපි නිදහස උපරිමයෙන් භුක්ති වින්දෙමු. දිනක් දෙකක් එහි නවතින්නට සූදානම් ව ගිය මම අන්තිමේදී සතියක්ම එහි නැවතී සිටියෙමි.
මා නැවතත් නිවසට පැමිණි විට අත්තම්මා කඳුළු පිරි දෑසින් සිටිනු පෙනුණි. මින් පෙර ඉතා දුෂ්කර අවස්ථා වලදී පවා ඈ කිසි විටෙක හඬනු නොදැක තිබූ නිසා එය දැක මම පුදුමයට පත් වුණෙමි.
“ඇයි අව්වා? මොකක් හරි ප්‍රශ්නයක් ද?” මම ඇසුවෙමි.
මා ඇයට ‘අව්වා’ කී අතර උතුරු කර්ණාටකයේ භාවිත වුනු කන්නඩ බසට අනුව එහි තේරුම ‘අම්මා’ විය. ඈ හිස වැනුවත් පිළිතුරු දුන්නේ නැත. ඇගේ කනස්සල්ලට හේතුව මට නොවැටහුණු අතර ටික වෙලාවකින් මට එය අමතක විය. එදින රාත්‍රී අහාරයෙන් පසු අප නිදාගත්තේ ඇගේ නිවසේ විවෘත බරාඳයේ යි. එය ගිම්හාන රාත්‍රියක් වූ අතර අහසේ පුන් සඳක් පායා තිබුණි. අත්තම්මා මගේ හිස පිරිමදිමින් සිටියා ය. ඈට මා හට යමක් කීමට අවශ්‍ය බව මට දැනුණි.
“ඇයි අව්වා?”මම නැවතත් ඇසුවෙමි.
“මම පුංචි කාලේ මගේ අම්මා නැතිවුණා. ඒ නිසා මාව බලාගන්නවත් මට මඟ කියන්නවත් කවුරුවත් හිටියේ නැහැ. මගේ තාත්තා හරියට වැඩ රාජකාරි තිබ්බ කෙනෙක්. එයා වැඩි කලක් යන්න කළින් ආයෙත් විවාහ වුණා. ඒ කාලේ ගෑනු ළමයි ඉගෙන ගන්න වුවමනායි කියලා කවුරුත් සැලකුවේ නැහැ, ඒ නිසා මම කවදාවත් ඉස්කෝලේ ගියේ නැහැ. බොහොම අඩු වයසකින් මම කසාද බැන්දා, දරුවෝ ලැබුණා. ජීවිතේ බොහොම කලබල වුණා. තව කාලයක් යද්දී මට මුනුපුරු මිනිපිරියොත් ලැබුණා. ඔයාලා හැමෝටම කන්න උයලා දෙන එක මට ලොකු සතුටක් වුණා. ඉස්කෝලේ යන්න බැරි වුණ එක ගැන මට දුකක් දැනුණා තමයි, ඒත් මගේ ළමයින්ටත් එයාලගේ ළමයින්ටත් හොඳින් ඉගෙන ගන්න ඉඩ දෙන්න මම හැමදාම මහන්සි වුණා.”
ඒ රැයේ මැදියමේදී මගේ හැට දෙහැවිරිදි අත්තම්මා, දොළොස් හැවිරිදි මට තම ජීවිත කතාව කියන්නේ ඇයිදැයි මට වැටහුණේ නැත. එහෙත් මා ඈට බෙහෙවින්ම ආදරය කළ අතර ඈ මේ විස්තර කීමට හේතුවක් තිබිය යුතු බව මම දැන සිටියෙමි. ඇගේ මුහුණ බලද්දී එහි කනස්සලු පෙනුමත් ඇගේ දෑසේ පිරුණු කඳුලුත් මට පෙනුණි. ඈ සාමාන්‍යයෙන් නිතරම සිනා මුසු ව සිටි සුන්දර කාන්තාවකි. එදා ඇගේ මුහුණේ වූ දුක්මුසු පෙනුම අදටත් පැහැදිලි ව මගේ මතකයේ රැඳී ඇත. ඉදිරියට නැඹුරු වූ මම ඇගේ අත ගත්තෙමි.
“අව්වා, අඬන්න එපා, මොකක්ද ප්‍රශ්නේ කියලා මට කියන්නකෝ. මට උදව්වක් කරන්න පුළුවන් දෙයක් ද?”
“ඔව් මට දුවගේ උදවු ඕන. ඔයා ගෙදර නොහිටි අතරේ වෙනදා වගේම කර්මවීර සඟරාව ආවා. මම ඒක පෙරළලා බැලුවා, කාශි යාත්‍ර කතාව එක්ක තියෙන පින්තූරේත් මම දැක්කා. ඒත් මට ඒ කිසි දෙයක් කියවාගන්න බැරි වුණා. ඒ කියලා තියෙන දේ තේරුම් යයි කියලා ප්‍රාර්ථනා කරමින් මම ඒ අකුරු කීප පාරක් අතගෑවා. ඒත් ඒක එහෙම නොවෙන බව මම දැනගෙන හිටියා. අනේ මම අකුරු ඉගෙන ගත්තා නම් කියලා මට හිතුණා. දුව එනකම් මම මඟ බලාගෙන හිටියා. මට හිතුණා ඔයා වේලාසන ඇවිත් මට කතාව කියවයි කියලා. මට වෙලාවකට හිතුණා ඒ ගමට ඔයාව හොයාගෙන ඇවිත් ඔයාට සඟරාව දීලා කතාව කියවගන්න. මට ඒක මේ ගමේ වෙන කෙනෙකුට වුණත් කියලා කරගන්න තිබුණා, ඒත් මට එහෙම කරන්න ලැජ්ජා හිතුණා. මට දැනුණේ මහා අසරණ, ගැති බවක්. අපිට හොඳින් සල්ලි බාගේ තියෙනවා, ඒත් ස්වාධීන වෙන්න බැරි නම් සල්ලි වලින් වැඩක් තියෙනවද?”
කීමට කිසිත් සිතාගනු නොහැකිව මම නිරුත්තර වූයෙමි. අව්වා තව දුරටත් කතා කළා ය.
“මම තීරණය කළා මම හෙට ඉඳන් කන්නඩ අකුරු ලියන්න කියන්න ඉගෙන ගන්නවා කියලා. ඒකට මම බොහොම මහන්සි වෙන්න ලෑස්තියි. දශේරා උත්සව කාලේ සරස්වතී පූජාව තියන දවස වෙද්දී ඒක කරගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එදාට මට තනියම නවකතාවක් කියවන්න පුළුවන් වෙන්න ඕන. මට ස්වාධීන වෙන්න ඕන.”
ඇගේ මුහුණෙහි වූ අධිෂ්ඨානය දුටුවත් මට සිනා පහල විය.
“අව්වා, වයස අවුරුදු හැට දෙකක් වෙලා ඔයාට අකුරු ඉගෙන ගන්න හිතුණා? ඔයාගේ කොන්ඩෙත් සුදු වෙලා, අත් දෙකත් රැළි වැටිලා, ඔයා කණ්ණාඩි දානවා, කුස්සියේ වැඩත් සෑහෙන්න තියෙනවා…”
බොළඳ දැරියක ලෙසින් මම ඇයට විහිළු කළෙමි. එහෙත් ඈ සිනාසුණා පමණයි.
“හොඳ දෙයක් වෙනුවෙන් මහන්සි වෙද්දී බාධක ජය ගන්න පුළුවන්. කාටත් වැඩියෙන් මහන්සිවෙලා මම කොහොම හරි ඒක කරගන්නවා. ඉගෙනීමට වයස් සීමාවක් නැහැ.”
ඊට පසු දින සිට මගේ ඉගැන්වීම ඇරඹිණි. අව්වා අපූරු සිසුවියක් විය. ඈ සම්පූර්ණ කළ ගෙදර වැඩ ප්‍රමාණය මා මවිත කළේ ය. ඉගැන්නූ දේ කිහිප වතාවක් කියවමින්, ලියමින්, වර නඟමින් ඈ උගත්තා ය. මා ඇගේ එකම ගුරුවරිය වූ අතර ඈ මගේ පළමු ශිෂ්‍යාව වූවා ය. මා පසු කලෙක පරිගණක විද්‍යාව විෂයේ ගුරුවරියක් වී සිසුන් දහස් ගණනකට උගන්වනු ඇතැයි එකල මා දැන සිටියේ නැත.
දශේරා උත්සව සමය එළඹිණි. ඒ වෙද්දී කාශි යාත්‍ර කතාව නවකතාවක් ලෙස පළවී තිබුණු අතර මා එය රහසින් මිළදී ගෙන තිබිණි. දිනක් පූජා මණ්ඩපය වෙත මා කැඳවූ අත්තම්මා, මා නූස් අසුනක හිඳුවා, මට ගවුම් රෙද්දක් තෑගි කළා ය. ඉනික්බිති අමුතු දෙයක් කරමින් බිමට නැඹුරු වූ ඈ මගේ දෙපා අල්ලා නමස්කාර කළා ය. මහත් පුදුමයට පත්වූ මම මඳක් පසුබෑවෙමි. වැඩිහිටියන් කිසි විටෙක දරුවන්ට නමස්කාර කරන්නේ නැත. සාමාන්‍යයෙන් මෙලෙස නමස්කාර ලබන්නේ දෙවියන්, වැඩිහිටියන් සහ ගුරුවරුන් පමණක් වූ අතර එය ගෞරව දැක්වීමේ ක්‍රමයක් විය. එහෙත් එදින සිදු වූයේ මේ විශිෂ්ඨ චාරිත්‍රයේ අනෙත් පැත්තයි. එහි නොගැලපෙන බවක් මට දැනුණි.
“මම මේ පාද නමස්කාර කරන්නේ මගේ මිනිපිරියගේ නෙමෙයි, මගේ ගුරුවරියගේ. දුව මට බොහොම ආදරයෙන්, කෙටි කාලයක් ඇතුලත හරිම සාර්ථක ව අකුරු ඉගැන්නුව නිසා මට දැන් බය නැතිව ඕන කතා පොතක් කියවන්න පුළුවන්. දැන් මම ස්වාධීනයි. ගුරුවරයෙකුට ගෞරව දක්වන එක මගේ යුතුකමක්. අපේ පුරාණ පොත පතේ කියලා තියෙනවා නේද වයසවත්, ගෑනු පිරිමි කම වත් නොසලකා ගුරුවරුන්ට ගෞරව කරන්න කියලා?” අත්තම්මා කීවා ය.
ආපිට අත්තම්මාගේ දෙපා නමස්කාර කළ මම මගේ පළමු සිසුවියට ගෙන ආ ත්‍යාගය දුන්නෙමි. එය විවර කළ වහාම ඈ ‘ත්‍රිවේණි ලියූ කාශි යාත්‍ර’ යනුවෙන් එහි නමත් කතෘගේ නමත් කියවූවා ය.
මගේ සිසුවිය ඉහළින්ම සමත් ව ඇති බව එයින් මට වැටහිණි.
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘How I Taught My Grandmother to Read’ (2004) by Sudha Murthy
Hot Chocolate Days බ්ලොග් අඩවිය https://hotchocolatedays.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .