නදීම් පාකිස්තානයට පළමු රන් පදක්කම දිනාදෙයි.

දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳිමින් සිටින පාකිස්තානය තවමත් යථාතත්ත්වයට පත්ව නොමැත. එවන් තත්ත්වයක සිටියත් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමට එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 දෙනෙකුට අවස්ථාව උදා විය.ඒ අතුරින් බොහෝ දෙනෙකුගේ ඇස ගැටුණු තරුවක් වූයේ අර්ෂාද් නදීම්ය.

ඔහු සමස්ත පාකිස්තානුවන්ගේම බලාපොරොත්තු ඔසවා තබමින් ඊයේ (08) අවසන් වූ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන් මීටර 92.97ක දක්ෂතාවක් දක්වමින් ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට ඔහු සමත් විය.මෙය එසේ මෙසේ රන් පදක්කමක් නොවන අතර, ඔලිම්පික් වාර්තා පොත අලුත්කළ රන් පදක්කමකි.ඒ අනුව නදීම් බිඳදමනු ලැබුවේ 2008 වසරේදී බීජිං (චීනය) ඔලිම්පික් උලෙළේදී නෝර්වේ රාජ්‍යයේ ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් මීටර 90.57ක දක්ෂතාවක් දක්වා පිහිටුවා තිබූ වාර්තාවයි.

එමෙන්ම නදීම්ගේ මෙම රන් පදක්කම ඔලිම්පික් ඉතිහාසයේ ජවන හා පිටිය ඉසව්වකින් පාකිස්තානුවෙකු දිනූ පළමු රන් පදක්කමද විය.මෙය පාකිස්තානුවන්ට තවත් වටිනා රන් පදක්කමක් වූයේ ඔවුන්ගේ ප්‍රධානම එදිරිවාදී රට වන ඉන්දියාව නියෝජනය කරමින් පැමිණි නීරාජ් චෝප්රාවද අභිබවා යමින් මෙම පදක්කම දිනාගැනීම ය.නීරාජ් යනු ඉකුත් ටෝකියෝ ඔලිම්පික් උලෙළේ රන් පදක්කම්ලාභියා වන අතර, එවර ඔහු මීටර 87.58ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය. 

නදීම් එවරද පාකිස්තානය නියෝජනය කරමින් අවසන් 12 දෙනා අතරට සුදුසුකම් ලබා සිටියත්, ඔහුට දැක්වීමට හැකිවූයේ මීටර 84.62ක දක්ෂතාවකි. ඒ හේතුවෙන් 05වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට ඔහුට සිදුවිය.අඩි 06යි අඟල් 04ක් උසැති නදීම්, පාකිස්තානයේ පංජාබ්හි උපත ලැබූවෙකු වෙයි.කලක සිට සිය දක්ෂතා සෙමෙන් සෙමෙන් මුවහත් කරගනිමින් සිටින්නෙකු වන නදීම් තවමත් වයස අවුරුදු 27ක තරුණයෙ කි.ඔහු 2016 වසරේ ඉන්දියාවේ (ගුවහාති) පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසිකිරීම ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභියාද වෙයි.එවර මීටර 78.33ක දක්ෂතාවක් දක්වා ලෝකඩ පදක්කමකට සීමා වූ නදීම්, ඉන් වසර 08කට පසු සමස්ත ලෝකයම ගැටෙන ඔලිම්පික් උලෙළේ ඔලිම්පික් වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

2016 සාෆ් ක්‍රීඩා උලෙළේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේද නීරාජ් චොප්රාය. ඒ වෙනුවෙන් ඔහු මීටර 82.23ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.එම සාග් උලෙළේ රිදී පදක්කම දිනාගැනීමට සමත් වූයේ අන්කවරෙකුවත් නොව ශ්‍රී ලාංකිකයෙකු වන සුමේද රණසිංහයි. ඔහු ඒ වෙනුවෙන් මීටර 80.25ක දක්ෂතාවක් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *