සදත් උයලලු එන්නෙ අහසට
ෆයිල් එක දෙක වසා හෙමිහිට , ඇගිලි අත්සන තබා හනිකට
නික්ම කන්තෝරුවෙන් විගහට , පැන්නේ බසයට යන්න ගෙදරට
මටත් කලියෙන් ගොසින් ගෙදරට , සැදෑ ගොම්මන බලන විට මග
විඩාපත් සිත වඩාගෙන මම , ගෙනැත් තැබුවා පුටු සැටිය උඩ
මහන්සිද මැණිකේ අසාගෙන , ඔච්චමක් කරනා විලාසෙට
පැය කටුව හඩ නගයි නොනැවත , වෙලාවලු රෑ බත උයන්නට
කඩෙන් කෑවම රටේ නැති ලෙඩ , කියන අපගේ මහත්තැන් හට
සියළු රෝ දුක් නසාලන්නට , තැබුවේ ලිප උඩ රෑ කැකුළු බත
පුතා කන්නේ නැතිලු වම්බටු , දෝණි නොකනා ගහේ එළබටු
ශීතකරණයේ හඩන තිබ්බටු , අදට නිහඩව හිදිනු මැන බටු
තනා කිරි හොද්දකුත් විගහට , මාලු සාලයෝ බැද්දේ තෙලටම
කට්ට සම්බෝලෙකුත් කෙටුවම , ඔන්න රෑ බත මේසෙ උඩටම
කුස්සියේ කවුළුව වසන්නට
එබී බැලුවම අහස අන්ධම
කිමද තරු කැටයකින් ඇහුවම
සදත් උයලලු එන්නෙ අහසට ………….
විජායි නාලිකා කරුණාතිලක
කවි පොත කවි සිත රෝන්දෙක
පුංචි මෆිට් මෙනවිය, පැන්ස හයේ සිංදුව සහ වී විලී වින්කී
ළමා කවිවල අඳුරු ඉතිහාසය
පුංචි මෆිට් ගෑණු ළමයා.
මෙන්න කවිය:
පුංචි මෆිට් මෙනවිය
උස් තණ ගොඩැල්ලක (සමහර අය කියන විදිහට කකුල් තුනේ බංකුවක) වාඩි වුණා
ඇගේ මුදවපු කිරි සහ මෝරු කමින්
මකුළුවෙක් ඇවිල්ලා
ඇගේ පසෙකින් වාඩි වෙලා
පුංචි මෆිට් මෙනෙවිය බයකරලා එළෙව්වා
මේ කවියෙන් කියවෙන්නේ දොස්තර තෝමස් මෆිට් (1553 – 1604) සහ ඔහුගේ දුව (සමහරු කියන විදිහට සුළු දියණිය) වන පේෂන්ස් මෆිට් ගැන.
දොස්තර මෆිට් ගේ කාලයේ මිනිස්සු විශ්වාස කළා, සෙම්ප්‍රතිෂ්‍යාව වගේ සමහර රෝග සුව කරන්න මකුළුවන්ට පුළුවන් කියලා. සමහරු මකුළුවෙක් ඇතුල් කළ බීජ ඇටයක් තමන්ගේ ඇඳුමේ පළඳගෙන සිටීම කළ අතර, තවත් සමහරු මකුළුවන් බටර්වලින් ආවරණය කර ගිල්ලා.
දොස්තර මෆිට් තමන්ගේ දුව අසනීප වුණු විට ඒ විදිහෙ ප්‍රතිකාර කරලා, ඒ විශ්වාසය ගැන පර්යේෂණ කරන්න ඇති කියලා විශ්වාස කරනවා.
පැන්ස හයේ සිංදුව
මේ කවිය ඇත්තට ම සංඥා භාෂාවකින් ලියපු මුහුදු කොල්ලකාරයන්ගේ පණිවුඩයක්. මෙන්න කවිය:
පැන්ස හයේ සිංදුවක් ගයන්න
රායි පිරුණු මල්ලක්,
හතරකුත් විස්සක් කළු කුරුල්ලන්
පයි එකකට දාලා පිළිස්සුවා
පයි එක විවර කළාම,
කුරුල්ලො ගායනා කරන්න පටන් ගත්තා;
ඒක රසවත් දීසියක් නෙවෙයිද
රජෙක් ට ඉදිරිපත් කරන්න?
රජු හිටියා විසිත්ත කාමරේ,
ඔහුගේ සල්ලි ගනිමින්;
රැජිණ හිටියා කුස්සියේ,
පාන් සහ පැනි කමින්;
සේවිකාව හිටියා අංගනයේ,
රෙදි වනමින්;
පුංචි කළු කුරුල්ලෙක් ඇවිත්
කෙටුවා ඇගේ නහයට.
මේ කවිය සුප්‍රකට කපිතන් කළු රැවුළා හෙවත් කැප්ටන් බ්ලැක් බියර්ඩ් නම් මුහුදු කොල්ලකාරයා, තමන්ගෙ නැවට නැවියන් බඳවා ගන්නට ප්‍රසිද්ධ කරපු පණිවුඩයක්. මුහුදු කොල්ලකාරයෙකුගේ සතියක වැටුප වුණේ, පැන්ස හයක් සහ රායිවලින් පෙරන ලද විස්කි කුලාවක්. කළු කුරුල්ලන් කිව්වේ කළු රැවුළාගේ නැවියන්ට. පයි එක ලෙසින් හැඳින්වුණේ ඔවුන්ගේ නැව.
කළු රැවුළාගේ සාමාන්‍ය ඉළක්කය බවට පත් වුණේ රාජකීය නාවුක හමුදාවේ නැව්. ඒ අනුව, කළු කුරුල්ලන් පිරුණු පයි එකක්, රජු ඉදිරියට පමුණුවන්න බොහොම අගනා “දීසියක්” හැටියට පෙනෙන්න පුළුවන්.
පරණ ඉංග්‍රීසි කියමනක් තමයි, “හැම ආකාරයකම පුදුමයන් පයි එකක් තුළින්…”. ඒක කපිතන් කළු රැවුළා ගොඩක් වෙලාවට යොදාගත්ත උපක්‍රමයක්. ඔහුගේ නැවක්, විපතට පත්වුණු, එහෙමත් නැත්නම් කුණාටුවකට අසුවී අතරමං වුණු නැවක් විදිහට පෙනෙන්නට ඉඩ හරින එක. ඒ ළඟින් යන වෙළෙඳ නැවු හෝ වෙනත් මුහුදු කොල්ලකාර නැවු, ඒ නැවට පිහිට වෙන්නට හෝ ඒ නැවේ ඇති දේ කොල්ල කන්න ආ විට, ඒවාට පහර දී අල්ලා ගැනීම තමයි ඒ උපක්‍රමය.
“රජු හිටියා විසිත්ත කාමරයේ – සල්ලි ගනිමින්” යන පදයෙන් කියවෙන්නේ කපිතන් කළු රැවුළා සතුව මුදල් ඇති බව. “රැජිණ” යන්නෙන් අදහස් කළේ ඔහුගේ “ඈන් රැජිණගේ පළිගැනීම” (Queen Anne’s Revenge) නම් නැව. එය වරායක නැංගුරම් ලා තිබීම සහ ආහාර පාන ආදිය පටවා ගැනීම, රැජිණ පාන් සහ පැනි කෑමෙන් හැඟවෙනවා.
අංගනය කියා හැඳින්වුණේ කැරොලයිනා සිට කැරිබියන් දක්වා මුහුද. මෙහෙකාරිය ලෙස අදහස් කෙරුණේ ඉළක්කගත නැව තිබූ තැන. රෙදි වනමින් සිටීම මඟින්, එම නැව් රුවල් ඔසවා යාත්‍රා කරමින් හෝ යාත්‍රා කිරීමට සූදානමින් ඇති බව හැඟවුණා.
තවත් සමහරෙක් කියන විදිහට, මේ කවිය අටවන හෙන්රි රජු, පූජකාශ්‍රම තහනම් කිරීම සමඟ සම්බන්ධ වෙනවා. කලින් ලිපියේ ජැක් හෝනර් ගේ කවියේ කතාවම…
ඒ අනුව, පුංචි කළු කුරුල්ලන් මගින්, අට වන හෙන්රි රජු වෙත නත්තල් පයි එකක් හැදූ පූජකාශ්‍රමවල පූජකයන් හැඳින්වුණා. පයි එක ඇතුළට මන්දිරවල ඔප්පු ඇතුළත් කිරීම, පුංචි කළු කුරුල්ලන් පයි එකෙන් මතු වීම සංකේතවත් කෙරුණා.
තවත් සමහරුන් කියන්නේ, අර එළදෙන හඳට උඩින් පැනීම කවියේ සඳහන් ඉතිහාසයට මේ කවියත් සම්බන්ධ බව. වැඩිමනත් ම දෙවෙනි කොටස. එහි, රජු අට වන හෙන්රි වූ අතර, රැජිණ යනු ඇරගොන් හි කැතරින් රැජිණයි. මෙහෙකාරිය, රජු පසුව විවාහ කර ගත් ඈන් බෝලීන් වුණු අතර, ඇගේ නහයට කෙටීමෙන්, ඇය පසුව හිස ගසා දැමුණු වග සංකේතවත් කරනවා.
තවත් සමහරුන් ගේ අදහස, කළු කුරුල්ලන් විසි හතරෙන් පැය විසි හතරත්, රජු සහ රැජිණ පිළිවෙලින් ඉර හා හඳත්, සංකේතවත් කරන බව.
වී විලී වින්කී
ළමයින් රෑ අට වෙනකොට ඇඳට යවන්න අතීතයේ දෙමාපියන් හදාගත්ත සංකල්පයක් තමයි මේ වී විලී වින්කී. ඔහු මුල් කාලයේ දී නපුරු අවතාරයක්. මේ තියෙන්නෙ ඊට සම්බන්ධ කවිය.
වී විලී වින්කී
නගරය පුරා දුවනවා
උඩ තට්ටුයි යට තට්ටුයි පුරා
ඔහුගේ රෑ අඳුම පිටින්
ජනෙල්වලට ගහමින්
අගුල් තුලින් කෑ ගහමින්
“ළමයි ඔක්කොම ඇඳට ගිහින් ද?
දැන් වෙලාව අටයි”
දෙමාපියන්, ළමයින් නිදි කරවන්නට යොදාගත්ත සංකල්පයක් වුණත්, මේ කවියේ ඉතිහාස කතාවක් තියෙන බව එක තැනක කියවන්න ලැබුණා. ඒ විල්හෙල්ම් වින්ක්ලර් නම් පුද්ගලයා ගැන.
ඔහු ගේ රාජකාරිය වෙලා තියෙන්නේ, රාත්‍රියේ නගරය පුරා සැරි සරමින්, ළමයින් ඇල්ලීම. මේ; අනාථ ළමයින් හෝ ගෙවල්වලින් පැනලා ගිහින් වීදියේ නිදාගත්ත ළමයින්. මේ ළමයින් අල්ලාගෙන ඔහු අනාථ නිවාසවලට හෝ වර්ක් හවුස් නම් ආයතනවලට සැපයීම කළා. ඒ වෙනුවට ඔහුට යම්කිසි මුදලක් ලැබුණා.
සමකාලීනව සහ පසුකාලීනව ඔහු ගැන කියමින් ළමයින් බය කර ඇඳට යවන්නට දෙමාපියන් පුරුදු වුණු බව හිතන්නට පුළුවන්.
මේ කතාව තහවුරු වෙන ඉතිහාස සාධක සොයාගන්න ලැබුණේ නම් නැහැ.
මූලාශ්‍ර
https://www.snopes.com/fact-check/pirates-sing-song-sixpence
https://www.straightdope.com/21343044/what-s-the-nursery-rhyme-sing-a-song-of-sixpence-all-about
https://medium.com/linguist/sing-a-song-of-sixpence-9beff05cf2f0
https://www.worldanvil.com/w/wfrp-fragile-alliances-didz/a/wee-willy-winky-article?preview=true?
ලිව්වෙ ඩ්‍රැකී විසින්
https://drackey.blogspot.com/2022/10/blog-post.html