අමෙරිකානු සහ රුසියානු තානාපතිවරුන් ජනපති හමු වෙයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ පෞද්ගලික පණිවුඩයක් රැගෙන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. සගාරියන් මහතා පසුගිය (01) වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

මෙම හමුව සිදු වූයේ ජනාධිපති කාර්යාලයේදී ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සිය පණිවිඩයෙන් දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවේ දී දෙරට අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳවද විශේෂ අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.

දෙපාර්ශ්වයේම අන්‍යෝන්‍යය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහාවන කැපවීම මෙහිදී නැවතත් තහවුරු කර තිබේ.

ඔක්තෝබර් 22 වනදා සිට 24 දා දක්වා රුසියාවේ කසාන් හි පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගීවන ලෙස තානාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ය.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යය බ්‍රික්ස් සාමාජිකයින් එයට සහභාගී වේ.

රුසියාව මේ වනවිට එහි සභාපතිත්වය දරනු ලබයි.
                    
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය අතර හමුවක් එදින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණි.

එහිදී අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද එහිදී විශේෂ අවධානය යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.

ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීම සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩසටහන් හරහා ශ්‍රී ලාංකිකයින්ට සහය දෙන බව ජූලී චන්ග් මහත්මිය එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *