ඉන්දීය – කැනඩා රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය උග්‍ර අතට.

සීක් බෙදුම්වාදී නායකයෙක් ලෙස සැලකුණු හර්දීප් සිං නජ්ජාර්(Hardeep Singh Nijjar ) කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා(British Columbia) ප්‍රදේශයේදී අබිරහස් ලෙස ඝාතනයට කිරීම සම්බන්ධයෙන් කැනඩාව සහ ඉන්දියාව අතර ඇති වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය උත්සන්න වෙමින් තිබේ.

එම අර්බුදයේ තවත් පියවරක් ලෙස කැනඩාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 06 දෙනෙකුව එරටින් පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.

කැනඩාවේ පුරවැසිභාවය හිමි සීක් බෙදුම්වාදී නායකයා පසුගිය වසරේ ජුනි මාසයේදී ඝාතනය කර තිබුණි. එම ඝාතනය සඳහා ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධ බවට විශ්වාසනීය සාක්ෂි ඇතැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ(Justin Trudeau) චෝදනා කළේ ඒ සමයේදීම ය. විදේශීය මැදිහත්වීමකින් කැනඩාව තුළදී කැනේඩියානු ජාතිකයෙකු ඝාතනයට කිරීම පිළිගත නොහැකි කරුණක් බව ඔහු එහිදී අවධාරණය කළේය. එය කැනඩාවේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් ලෙසත් අග්‍රාමාත්‍ය ටෘඩෝ හැඳින්වීය. කැනඩාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 06දෙනෙකු පිටුවහල් කරන බව කැනඩාව ඊයේ නිවේදනය කළේ එරට සිටින ඉන්දීය විරෝධීන්ව ඉලක්ක කරන බවට ඉන්දීය රජයට චෝදනා කරමිනි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවත්, එරට වැඩබලන කැනේඩියානු මහකොමසාරිස්වරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් 06දෙනෙකු පිටුවහල් කරන බව නිවේදනය කළේය. එමෙන්ම කැනඩාවේ සිය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම ගැන සඳහනක් නොකර ඔවුන් ඉන්දියාව විසින් ඉවත් කරගත් බව ඉන්දිය රජය ප්‍රකාශ කළේය.

කොහොම නමුත් පොදුරාජ්‍ය මණ්ඩලයේ විශාලතම සහ ප්‍රබලතම රාජ්‍යයන් දෙකක් අතර ඇති වී තිබෙන මෙම අර්බුදය දෙරටම අයහපත් ප්‍රතිඵල ගෙනදෙන බව පැහැදිලි කරුණකි. නව පියවර ප්‍රකාශයට පත්කරමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ (Justin Trudeau) ප්‍රකාශ කළේ ඉන්දීය බලධාරීන්ට එරෙහි කැනඩාවේ සිටින ඉන්දියානුවන් තවදුරටත් ඉන්දීය රජයේ ඉලක්කයක් වන බවය.

කැනඩාවේ සිටින සිව්වැනි විශාලතම ආගමික ජනකොටස වන්නේ සීක්වරුන් ය.කැනඩාවේ සීක් ජාතික ජනගහණය 800,000ක් පමණ වන අතර එය කැනඩාවේ මුළු ජනගහනයෙන් 2.1%ක් පමණ වෙයි. විශේෂයෙන් මෙම සීක් ජනකොටස අතර සිටින ක්‍රියාකාරීන් ඉන්දියාව විසින් ඉලක්ක කරගැනිම මහජන ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්දීය බලධාරීන් එම ක්‍රියාකාරීන්ව බෙදුම්වාදීන් ලෙස හඳුන්වයි. ඉන්දීය රජයට එරෙහි කැනඩාවේ සිටින සීක් ජාතික ක්‍රියාකාරීන් පිළිබඳ තොරතුරු රැස්කිරීමටත්, ඔවුන්ට තර්ජනය කිරීමට සහ ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම ඇතැම්විට ඝාතන සිදුකිරීමට ඉන්දියාව පෙළඹී සිටින බව අග්‍රාමාත්‍ය ටෘෘඩෝ කියා සිටියේය. ඉන්දියාව මේ ආකාරයෙන් කැනඩාව තුළ අපරාධ ක්‍රියාවලිය නිරතවීම මූලික වශයෙන්ම වැරැද්දක් බව අගමැති ටෘඩෝ සඳහන් කළේය.

කෙසේ නමුත් කැනේඩියානු රජයේ චෝදනා ප්‍රතික්ෂේප කරන ඉන්දියාව පවසන්නේ කැනේඩියානු අගමැති ටෘෘඩෝ දේශපාලන අරමුණකින් කටයුතු කරන බවයි.සීක් බෙඳුම්වාදී නායක නජ්ජාර් ඝාතනය සඳහා කැනඩාවේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළ බව රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලීසිය ඊට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණි. කැනඩාවේ ක්‍රියාවට ප්‍රතිචාර ලෙස ඉන්දියාවද එරට සිටින කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 06 දෙනෙකුට ලබන සෙනසුරාදාට පෙර නික්මෙන ලෙස දැනුම්දී තිබේ.එමෙන්ම ඔවුන් ඉන්දියාවේ වැඩබලන කැනඩා මහකොමසාරිස් ස්ටුවට් වීලර් (Stewart Wheeler) කැඳවා කරුණු විමසා ඇති බවද වාර්තා වෙයි.

කැනඩාවේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් නොමැතිකම නිසා ඔවුන් ඉවත්කරගන්නා බව මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. කැනඩාව විසින් ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් 06 දෙනෙකු පිටුවහල් කළේ නජ්ජාර් ඝාතනයට අදාළ ප්‍රශ්න කිරීම් සඳහා ඉඩ සලසමින් ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ඉවත්කරගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව ය.

ඒ සඳහා ඉන්දියාව සහයෝගයෙන් කටයුතු නොකළ බැවින් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරිමට පියවරගත් බව කැනඩා විදේශ අමාත්‍ය මෙලනි ජෝලි(Mélanie Joly) ප්‍රකාශ කළාය. කැනඩාවට ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් අවශ්‍ය නොවන නමුත්, ඕනෑම රටක නියෝජිතයන් කැනේඩියාවන් පීඩාවට ලක්කරමින් ඝාතන පවා සිදුකරන විට නිහඬව බලාසිටිය නොහැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පසුගිය වසරේ ඔක්තෝබර් පටන් මේ දක්වා කැනඩාව විසින් ඉන්දියාවේ සිටි සිය රාජ්‍ය තාන්ත්‍රිකයන් 40 දෙනෙකු පමණ යළි කැඳවා තිබුණි.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ සිටින සීක් බෙදුම්වාදී නායකයෙකු නිව්යෝක් නුවරදී පසුගිය වසරේදී ඝාතනය කිරීමට උත්සාහ කළ බවට ද ඉන්දියාවට චෝදනා එල්ල වෙයි. ඒ සඳහා ඉන්දීය රජයේ නිලධාරියෙකුගේ උපදෙස් මත ඉන්දීය ජාතිකයෙකු කටයුතු කරමින් සිට ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙදෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන්ද පරීක්ෂණයක් පවත්වන අතර ඔවුන් පසුගිය සතියේ වොෂින්ටනයේදී අමෙරිකානු බලධාරීන් මුණගැසී ඇති බව සඳහන් ය.

කැනඩාවේ සහ ඉන්දියාවේ ද්වත්ව පුරවැසිභාවය හිමි ගුර්පට්වාන්ට් සිං නමැති සීක් බෙඳුම්වාදී නායකයා ඝාතනය කිරීම සඳහා ඉන්දිය ඔත්තු සේවා නිලධාරියෙකු සැලසුමක් දියත් කර තිබූ බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කළේය.

අමෙරිකාවේ සහ කැනඩාවේ සීක් ඩයස්පෝරාව ඉන්දියාවේ සීක් බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කරන බවට ඉන්දීය රජය චෝදනා කරයි. ඉන්දියාවේ සීක් ජන කොටසේ බහුතරයක් වෙසෙන පන්ජාබ් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන කාලිස්ථාන් නමින් ස්වාධීන සීක් රාජ්‍යයක් බිහිකිරීම සඳහා උත්සහයක් ක්‍රියාත්මක වන්නේ 1930 ගණන්වල සිට ය.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය අවසන් වෙද්දී විශේෂයෙන් ඉස්මතු වූ කාලිස්ථාන් බෙදුම්වාදී අරගලය 1980 දශකය වන විට උපරිම මට්ටමකට පැමිණ තිබුණි. පන්ජාබයේ සීක් රාජ්‍යයක් පිහිටුවීම සඳහා එවකට පාකිස්තාන අග්‍රාමාත්‍ය සුල්ෆිකර් අලි භූතෝ ගේ සහාය පළ කිරීම 1971 ඉන්දු-පාකිස්තාන යුද්ධයට මුල් වූ බවටද මතයක් පවතියි. නැගෙනහිර පාකිස්තානය, බංග්ලාදේශය ලෙස වෙනම රාජ්‍යයක් බවට පත්වූයේ එම යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *