*සිංහල කෙටිකතාව, කළු-සුදු: ජීවන කතන්දර, මල්ටි කල්චරල්: පරිවර්තිත කෙටිකතාව- උඩුකබාය*

සිංහල කෙටිකතාව

කළු-සුදු

නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා. නයිස් නිදාගන්නෙත් පුංචි කන් දෙක උස්සගෙනමයි. “නයිස්.. නයිස්..” කිව්වහම කොහේ හිටියත් පණ කඩාගෙන දුවගෙන එනවා. සමහරවිට වෙන නමක් කිව්වත් දුවගෙන එයි. ඒත් හැමෝම කිව්වේ නයිස් කියලා. සිරිදාස අයියාට “උපකුලපති” කියලා නම දැම්මෙත් කවුද දන්නේ නැහැ. ඒත් නයිස්ගේ නම වගේ නෙමෙයි, මේ නමට නම් හේතුවක් තිබුණා. අධ්‍යයනාංශයේ කා.කා.ස වැඩේ කළත් සිරිදාස අයියාගේ වචනෙට ඉහළින් කවුරුත් වැඩ කළේ නැහැ.

“මිසීලා සර්ලා තේ බොනවා නම් තේ බොන්න … බැරි නම් නිකන් ඉන්න.. කෝප්ප තියෙනවා නම් විතරයි මම තේ දෙන්නේ..”

හැමදාම දහයට විතර ලොකු තේ පෝච්චියක් අරගෙන යන ගමන් සිරිදාස අයියා සද්දයක් දානවා. අහල පහළ ඉන්න මිසීලා, සර්ලා බාලාංසේ ළමයි වගේ තේ කෝප්ප අරගෙන එනවා.

නයිස් නම් හිනා වුණ ගමන්මයි හිටියේ. කුරු කකුල් හතරයි තනි කළු ඇඟයි, හොඳ බලු පෙළපතකට ඈත නෑකමක් කිව්වා. කොට නගුට වන වන, හිනාවෙවී, කියන ඕනෑම දෙයක් අහගෙන ඉන්න පුරුද්ද නයිස්ට තිබුණා.

සිරිදාස අයියා නම් හිනාවුණේ බොහොම කලාතුරෙන්.ළමයි එක්ක නම් කොහොමත්ම නැහැ. නිල ඇඳුම වගේ කොට කලිසමමයි ඇන්දේ.

“ඔය ළමයා රාමනායක සර්ගේ කලින් ටියුට් එකත්, දවස පරක්කු වෙලා නේද දුන්නේ? හැබැයි ඊළඟ දවසේ නම් බාරගන්නේ නැහැ. .. ඉගෙන ගන්නවාලකෝ වෙලාවට වැඩක් කරන්න..”

කොට කලිසමක් ඇඳපු තලස්තානි මනුස්සයෙක් හැඩිදැඩි කොල්ලෙකුට ඔහොම තර්ජනයක් කරනවා කියන එක නිකම් විහිළුවක් වගේ. ඒත් විශ්ව විද්‍යාලේ ඇතුළේ හුළඟක් හැමුවත් රණ්ඩුවට යන ඒ හැඩි දැඩි කොල්ලෝ සිරිදාස අයියාට නෙමෙයි වචනයක් කිව්වේ. ඔහේ කියන දෙයක් කරබාගෙන අහගෙන හිටියා විතරයි.

සිරිදාස අයියාට නයිස් මුණ ගැහුණේ අහම්බෙන්. සර් කෙනෙකුට වඩේ දෙකකුයි මාළු පාන් එකකුයි ගන්න කැන්ටිමට ගිය වෙලාවක. ඈත කවුද පාන් වාටියක් දෙන්න “නයිස්..නයිස්..!!” කියනවා ඇහිලා, පෙරළාගත්තු කුණු බක්කියත් අත ඇරලා නයිස් දිව්වේ සිරිදාස අයියාගේ කකුල් දෙක මැද්දෙන්මයි. ඒකෙන් වුණේ දෙන්නම පටලැවිලා බිම වැටුණ එකයි. සිරිදාස අයියාගේ හැටි දන්න නිසා කැන්ටිමේ හිටිය හැමෝම හිතුවේ නැගිටලා නයිස්ට හොඳවයින් පයින් පාරක් දෙයි කියලා. කොටින්ම කියනවා නම් නයිස් හිතුවේත් එහෙමයි. ඌත් වැටුණ තැනම ඔළුව පහත් කරගෙන ගුටිකන්න බලාගෙන හිටියා. ඒත් සිරිදාස අයියා එහෙමම බිම ඉඳගෙන නයිස්ගේ ඔළුව අතගෑවා. සර්ට ගත්ත වඩේ දෙකෙන් එකක් දුන්නා. නයිස්ටත්, බලාගෙන හිටිය හැමෝටමත් හිතාගන්න බැහැ. නයිස් බයෙන් බයෙන් නැට්ට වනලා කටට දෙකට වඩේ එක ගිල දාලා හිනාවුණා. වැඩි හොඳට සිරිදාස අයියාගේ අතකුත් ලෙවකෑවා.

ඒ තමයි නයිස්ගෙයි සිරිදාස අයියාගෙයි යාලුකමේ පළවෙනි පියවර. මොකක් නමුත් හේතුවකට සිරිදාස අයියාගේ ගල් හිතේ ඒ පුංචි බැල්ලි පදිංචි වුණා. වෙන කාටවත් නොපෙන්නුව කරුණාවක් වෙනුවෙන් වෙන් කෙරුණා. මුලින්ම වුණේ සිරිදාස අයිආ හැමදාම තමන්ට දවල්ට කන්න ගේන බත් මුලේ අන්තිම කටවල් හතර පහ හොඳට මාළු පිනි දාලා අනලා නයිස් වෙනුවෙන් වෙන් කළ එක. එයා කෑම පැයේ අන්තිමට ඒ බත් ටිකත් අරගෙන තට්ටු පහක් බැහැලා ඒ වෙනුවෙන්ම නයිස් හොයාගෙන ගියා. වැඩි කලක් යන්න කලින් නයිස් සිරිදාස අයියාට වෙලාව ඉතුරු කරන්නත් එක්ක පඩි පෙළේ පාමුල බලාගෙන ඉන්න පුරුදු වුණා. ටිකෙන් ටික පළවෙනි තට්ටුව ළඟට.. දෙවෙනි තට්ටුව ළඟට ඇවිත්, මාසයක් විතර යනකොට කෑම වෙලාවට නයිස් සිරිදාස අයියා හොයාගෙන අධ්‍යයනාංශයටම එන්න පටන් ගත්තා. හැමෝම මේ බව දැක්කත් කවුරුත් ඒකට විරුද්ධ නොවුනේ නයිස් හැමෝටම ලෙන්ගතු නිසාමත් නෙමෙයි. සිරිදාස අයියාට එරෙහි වෙන්න තිබුණ බය නිසා.

නයිස්ට කරුණාව පෑවා කියලා සිරිදාස අයියාගේ ගතිගුණ වෙනස් වුණේ නැහැ. සුපුරුදු විදිහටම අනිත් හැමෝටම කෑගැහුවා. හරියට උපදෙස් ලැබුණේ නැහැ කියලා දවස් දෙකක්ම උදේට දේශන ශාලා අරින්නේ නැතිව ළමයි දෙතුන් සීයක් රස්තියාදු කළා. හැඳුනුම්පතක් නැතිවෙලා ඒක හොයාගෙන ආව ළමයෙක්ව “වගකීමක් නැහැ!” කියලා බැනලා එළවා ගත්තා. මිසීලා සර්ලාට හැමදාම ගෝරනාඩු කළා. වැරදිලාවත් කවුරුවත් එක්ක හිනාවුණේ නැහැ.

“ඊයේ හවස බලු වෑන් එක ඇවිත්!” දවසක් උදේම ඒ ආරංචිය හැමතැනම පැතිරුණා. අවුරුද්දකට විතර සැරයක් නගර සභාවෙන් ඇවිත් විශ්ව විද්‍යාලේ තැන තැන ඉන්න බලු රංචුව එකතු කරගෙන යන එක සාමාන්‍ය දෙයක්. සමහර දාට දවාලේ දෙනෝදාහක් ඉස්සරහත් ඒ වැඩේ කෙරෙනවා. “ඔන්න සිරා.. ඔන්න චන්දරේ..බලු වෑන් එක ඇවිත්.. හැංගියන්..!!” කොල්ලෝ එදාට එකිනෙකාට විහිළු කරගන්නවා. ඒත් මේ සැරේ ඒ ආරංචිය අහලා කවුරුවත් කාටවත් විහිළු කළේ නැහැ. “එතකොට නයිස්?” හැමෝම හැමෝගෙන්ම ඇහුවා. වෙනදාට කුණු බක්කි ළඟ, කැන්ටිමේ මේස යට, කස ගස් ළඟ බංකු යට ඉඳන් හිනාවෙන නයිස් කොහේවත්ම හිටියේ නැහැ.

“උපකුලපතිගෙන් අහලා බලමුද?” එහෙන් මෙහෙන් යෝජනා ආවත් කෙළින්ම ගිහින් සිරිදාස අයියාගෙන් අහන්න තරම් චණ්ඩියෙක් ඉදිරිපත් වුණේ නැහැ.”මට බැහැ.. මට ගිය සතියෙත් බැන්නා..” “හපෝ ඔය මිනිහට මාව පේන්න බැහැ” එක එක්කෙනා ඉදිරිපත් නොවී පස්ස ගැහුවා. ඒත් නයිස්ට මොකද වුණේ කියලා දැනගන්න නම් හැමෝටම ඕනෑකම තිබුණා. අන්තිමට හැමෝවම නියෝජනය කරන්න දෙන්නෙක් බොහොම අකමැත්තෙන් ඉදිරිපත් උණා.

“මොකා…නයිස්???” නයිස් ගැන ඇහුව ගමන් සිරිදාස අයියා ඒ අයගේ ඇඟට කඩාගෙන පැන්නා.

“නෑ.. නෑ.. අර සිරිදාස අයියා කෑම දෙන පොඩි කළු බැල්ලි..”

“මම කාටවත් කෑම දෙන්නේ නැහැ… දැකලා තියෙනවද මම බල්ලොන්ට කෑම දෙනවා??” සිරිදාස අයියා කෑගැහුවා. නියෝජිතයෝ දෙන්නට කට උත්තර නැහැ.

“ඊයේ බලු වෑන් එක ආවලුනේ..ඌට මොකද වුණේ කියලයි අපි හෙව්වේ..”

එක්කෙනෙක් ආයෙත් උත්සාහ කළා.

සිරිදාස අයියා ඒ ප්‍රශ්නේ ඇහුණේ නැති ගානට ටිකක් වෙලා නිස්සද්දව ජනේලෙන් එළිය බලාගෙන හිටියා.

“ඌ හොඳට ඉන්නවා. බල්ලෝ අල්ලන්න එන බව දැනගෙන මම ඌව අර ඉස්ටෝරුවට දාලා වහලා තිබ්බා. හවස සර් කෙනෙක්ගේ කාර් එකක දාගෙන ගෙදර අරගෙන ගියා.” අහක බලාගෙනම හෙමින් කිව්වා.

“කියනවා එහෙම නෙමෙයි ඕවා කාටවත්…දැන් මට වැඩ තියෙනවා..තමන්ගේ රාජකාරියකට ගියොත් හොඳයි.!” ආයෙත් සුපුරුදු විදිහට සද්දේ දාලා සැර දාලා කිව්වා.

ඊටපස්සේත් සිරිදාස අයියා නිතරම හැමෝටම ගෝරනාඩු කළා. කලින් වගේම හැමෝම ඒවා කරබාගෙන අහගෙන හිටියා. ඒත් ඉස්සර තරම් හැමෝම සිරිදාස අයියාට හිත යටින් බනින එක, නැති තැනදී එකතුවෙලා බනින එක නම් ඉබේම වගේ අඩු වුණා. 

හෙල්මලී ගුණතිලක

Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි

http://hotchocolatedays.blogspot.com/

ජීවන කතන්දර

මල්ටි කල්චරල්

උදේ නැගිටගත් මා අසල්වැසි ජීන්ට සුභ උදෑසනක් කීවෙමි.  ජීන් සුදු කැනේඩියානු කාන්තාවකි. ඇයගේ මුල් බිම් එංගලන්තයේ ය​.  ඇය පසුගිය වසරේ ලන්ඩනයට ගියාය​. මාගේ වම් අත පැත්තේ ඉන්නා අසල්වැසියන් අයිරීෂ් ජාතිකයන් ය​. ගෘහ මූලිකයා සෙන් පැට්‍රික් දිනයට කොළ පැහැති විශාල  ටොප් හැට් එකක් පැළඳ සිටිනවා මම දැක තිබේ. 

බල්ලා කූඩුවට දමා උදෑසන ආහාර ගත් මා බිරිඳ සමග වාහනයට ගොඩ වෙමි. මුලින්ම ඇයව ඇයගේ කාර්‍යාලයේ බස්සන මා මගේ සේවා ස්ථානයට යමි. බිරිඳ වැඩ කරන්නේ නීතීඥයන් කිහිප දෙනෙකු සමගය. ඉන් එක් නීතීඥයෙක් එස්තෝනියානු ජාතිකයෙකි. ඔහු ඉතා ප්‍රියජනක පුද්ගලයෙකි. රුසියන් වචන කීපයක් ඔහු දනියි. මෙම නීතීඥ කාර්‍යාලයේ ඉංග්‍රීසි ජාතික කෙරී සහ අයිරීෂ් ජාතික ඩන්කන්  නීතීඥයන් ලෙස​ට සේවය කරති. 

ඩොන් මිල්ස් මාවතේ ගමන් කරන මම කෝපි කෝප්පයක් බීමට ටිම් හෝට්න්ස් අවන්හලක ඩ්‍රයිව් තෘ හරහා යමි.

 ” මීඩියම් කොෆී ඩබල් ඩබල්” මම කියමි. 

අවන්හලේ කවුළුව අසල සිටින්නේ ලංකාවේ ද්‍රවිඩ තරුණියකි. 1983 සරණාගතයන් ලෙස පැමිනි ඔවුන් ගේ දෙවන පරම්පරාව සමහර විට සිංහල අප කෙරෙහි සතුරු ආකල්පයකින් බලති. නමුත් මේ තරුණිය මට සිනහවකින් සංග්‍රහ කලාය​. 

1983 සරණාගතයන් ගේ දෙවන පරම්පරාවේ සමහර ළමුන් දැන් උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල උසස් තනතුරු දරති. කලකට ඉහතදී යෝක් විශ්ව විද්‍යාලයේ පී.එච්.ඩී අපේක්‍ෂිකාවක් වූ ද්‍රවිඩ සිසුවියක් ඇයගේ තීසීසයට මගෙන් අදහස් ද ලබා ගත්තාය​. ඇයගේ තීසීසය පස්චාත්  ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිළිබඳවද සාකච්චා කෙරෙන්නකි. ඇයට මුලදී මම සිංහල ජාතිකයෙක් නිසා යම් කුකුසක් තිබුනා කියා සිතමි. නමුත් මම ඇයට උපකාර කලෙමි. ලබන වසර වන විට ඇය තම ආචාර්‍ය උපාධිය නිම කරනු ඇත​.

කෝපි කෝප්පය අතට ගත් මා එය වාහනයේ කෝපි රඳවනය තුල බහා ශෙපර්ඩ් වීදිය දක්වා යමි. ශෙපර්ඩ් වීදිය කාර්‍යබහුලය.  කොණ්ඩය කපන මගේ බාබර් ඉන්නේ ශෙපර්ඩ් වීදියේය ​. ඔහු ඉරාන ජාතිකයෙකි. ඔහු තමා පර්සියානුවෙකු බව කියයි. ඉරානය යන වචනයට ඔහු කැමති නැත​.  ඔහුගේ නම රුස්බෙක් ය​. රුස්බෙක් සමරිසියෙකි . ඔහු  ටොරොන්ටෝ හි වාර්ශිකව පවත්වන ගේ ප්‍රයිඩ්  එකට යයි. ඉරානයේ සමරිසියෙකු වීම මරණ දණ්ඩනය ලැබෙන වරදකි. එහෙත් මේ රටේ කිසිවෙකු රුස්බෙක්ව සමරිසියෙකු කියා අවමානයට පත් කරන්නේ  හෝ ඔහුව හෙලා දකින්නේ නැත​. 

ශෙපර්ඩ් වීදිය හරහා ගිය මම බේ විව් මාර්ගයට අවතීර්ණ වෙමි. හැකි ඉක්මනින් යෝක් විශ්ව විද්‍යාලයේ ග්ලෙන්ඩන් කැම්පස් වෙත යාම මගේ අරමුණයි. බේ විව් මාර්ගයේදී චීන තරුණයෙක් අපරික්‍ෂාකාරීව ඔහුගේ මස්ටෑං රථය දැමූ නිසා මගේ පය තිරිංගය වෙත ගියේය​. 

චීනුන්ට ඩ්‍රයිවිං බැරිය කියා කොමඩිකාරයෙකු වූ රසල් පීටර්ස් කියයි. රසල් පීටර්ස් ඉන්දීය සම්භවයක් තිබෙන කැනේඩියානුවෙකි. ඔහුගේ විහිළු වලට මම ප්‍රිය කරමි. නමුත් ඔහුගේ සමහර විහිළු වාර්ගික ඒවාය​. 

පරික්‍ෂාකාරීව චීන තරුණයාගේ රථය පසු කල මා ප්‍රංශ පාසල දෙස බලමි. මෙහි ගොඩනැගිලි විශාලය​. ඉගැන්වීම ප්‍රංශ භාෂාවෙනි. මම ප්‍රංශ ඉගෙනුම සඳහා මරී ඇලෙක්සැන්ද්‍රා වෙත ගියෙමි. ඇය පැරිස් වල උපත ලැබූ එරිත්‍රියානු සම්භවයකින් යුතු කාන්තාවකි. මේ පන්තියට ජිපෑං ආවේය​. මුලදී ජිපෑං ඔහුගේ නම ඉයන් කියා මට කීවද ඔහුගේ නියම නම ජිපෑං කියා මම දැන ගත්තේ මරී ඇලෙක්සැන්ද්‍රා නම් ලකුණු කරන විටදීය​. ජිපෑං අන්තර්ජාතික සිසුවෙකි. ඔහු ආවේ බේජිං වලිනි.   ජිපෑං සහ මම එම ප්‍රංශ පන්තියේ මිතුරන් වූයෙමු. 

යෝක් විශ්ව විද්‍යාලයේ ග්ලෙන්ඩන් කැම්පස් වෙත ගිය මා රථ ගාලේ මගේ රථය  නවතා පැයක පාකිං ටිකට් එකක් ගත්තෙමි. ඉන්පසුමම මහාචාර්‍ය  ජිම් ඇල්කොක් ගේ කාමරය වෙත ගියෙමි. මහාචාරිය ජිම් ඇල්කොක් ගේ කාමරයට යන්නේ මහාචාර්‍ය Guy Proulx ගේ කාමරය පසු කරමිනි. මහාචාර්‍ය  Guy Proulx මට කියන්නේ ෆිලොසොෆ කියාය​. ඒ මන්ද යත් නිතරම දාර්ශනික කරුණු ඔහු සමග මම තර්ක කරන බැවිනි. Guy Proulx එන්නේ කුබෙක් වලිනි. ඔහු තම කුබෙක් ජන්මය ගැන යම් කිසි ගර්වයකින් සිටියි. එහෙත් ජාතිවාදියෙකු නොවේ. 

මහාචාර්‍ය  ජිම් ඇල්කොක්ට  මම  ප්‍රිය කරමි. ඔහු මාව පිලිගන්නේ සිනහවකිනි. සස්කචුවාන්    පළාතේ උපන් මහාචාර්‍ය ඇල්කොක් ජීවත් වන්නේ ඔන්ටේ‍රියෝවේය​. අන්තර්ජාතික තලයේ පිළිගත් මනෝ  විද්‍යාඥයෙකු වන ඔහු  ඉන්දියාවේද කලක් ජීවත්ව තිබූ බව මා සමග කියා තිබුණි. 

මහාචාර්‍ය  ඇල්කොක් සමග සංවාදයේ යෙදෙන විට කාලය යන බව නොතේරේ. ඔහු සමග සංවාදයේ යෙදීම ප්‍රියජනකය​. ඔහුගෙන් සමු ගන්නා මම රථ ගාලට යමි. යෝක් විශ්ව විද්‍යාලයේ වාහන පරීක්‍ෂකයෙක් මට ටිකට් එකක් ලියමින් සිටියි. මම ඔහු හමුවට ගොස් මම මහාචාර්‍ය  ජිම් ඇල්කොක් හමුවීමට ගිය නිසා මඳක් ප්‍රමාද වූවා යැයි කියමි. එහෙත් ඔහු මට සවන් නොදේ. මම ඔහු දෙස බලමි. ඔහු තුල ඉතියෝපියානු ජාතිකයෙකුගේ ලක්‍ෂණ තිබේ. එම නිසා මම තුරුම්පුව ගසමි. 

” කරුණාකර ටිකට් එක ලියන්න එපා ඔබ ඉතියෝපියාවෙන් නේද ? මට ඉතියෝපියානු මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවා  ටෙලහොන් , අස්රත් , සෙනයිද් … මම නම් වැලක් කියමි. මේ යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේ මා සමග ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් වෙති. 

” තව එකක් තෙස්ෆාය මබ්‍රාතු , ඔහුත් මගේ මිතුරෙක්. මබ්‍රාතු යනු අමර්ස්ක් බසින් ආලෝකය එහෙම නේද ? තෙස්ෆාය මබ්‍රාතු මා සමග පළමු වසර ඉගෙන ගෙන බටහිර ජර්මනියට ගොස් එහි නැවතුනේය​. 

” මම ඉතියෝපියානු ජාතිකයන්ට කැමතියි ඔවුන් ඉතා ආචාරශීලී පුද්ගලයන්. මම එම්පර හෙල්සිලාසිට කැමතියි ඒ වගේම අබ්බි බිකිලා ඔහු මගේ වීරයෙක් ” 

වාහන පරීක්‍ෂකයා මා දෙස බලා සිනාසුනේය​. අණතුරුව මට ලියූ ටිකට් එක අවලංගු කලේය​. 

” හොඳයි අදට විතරයි” 

මම ඔහුට ස්තූති කරමින් වාහනය පණ ගන්වාගෙන තෝන්හිල් හි සායනය වෙත යමි. එහි මා එන තෙක් ඊxxx සිටියි. 

ඊxxx  කොකේන් වලට ඇබ්බැහි වී ඇති තරුණයෙකි.   ඔහු රුසියන් ජාතිකයෙකි. මම ඔහුට රුසියන් බසින් කතා කල ප්‍රථම දිනයේ ඔහු මවිත විය​. මම ඊxxx ට මනෝ ප්‍රතිකාරයෙන් ඔහුගේ කොකේන් භාවිතය අවම කිරීමට උපකාර කරමි. මම ඊxxx ට හුරු පුරුදු රුසියන් බසින් ප්‍රතිකාරාත්මක සන්ධිය තබා ගන්නා බව දැනගත් වෛද්‍ය පෘස්කෝ මට ප්‍රසංසා කලේය​. මගේ තවත් රුසියානු රෝගියෙක් ඉන්නවා ලබන සතියේ ඔහු ඔබ වෙත යොමු කරන්නම් වෛද්‍ය පෘස්කෝ කීවේය​. 

වෛද්‍ය පෘස්කෝ එන්නේ පැරණි යුගෝස්ලාවියාවෙනි. ඔහු ක්‍රොඒෂියානුවෙකි . ඔහු මෙන් කාරුණික මිනිසෙකු මට හමුවී නැත​. වරක් සර්බියන් ජාතික නීතීඥයෙකු වූ ඩේවිඩ්ට වෛද්‍ය පෘස්කෝ හඳුන්වා දීමේදී  මම මෙසේ  කීවෙමි. 

” ඔහු තමයි ජේසුස් ක්‍රිස්තුස්ට පස්සේ ඉන්න එක්කෙනා” 

වෛද්‍ය පෘස්කෝ මත්ද්‍රව්‍ය සඳහා ප්‍රතිකාරයේ ප්‍රකට පුද්ගලයෙකි.ඔහුගේ කාරුණික දෙනෙත් ; කාරුනික වදන් ක්‍රිස්තුස් වහන්සේ සිහිගන්වයි.

ඊxxx ගේ ප්‍රතිකාර වටය අවසන් වීමෙන් පසු ඔහු මට ස්පසීබා කියා පිටත් වෙයි. මම මගේ ලැප්ටොප් එක විවෘත කොට ඊමේල් බලමි. ජෝ ගෝමස් මට ඊමේල් එකක් එවා තිබේ. ජෝ ගෝමස් මට හමු වූයේ සෙනෙකා කිං කැම්පස් හිදීය​. ඇය ගේ දෙමාපියන් කැනඩාවට එන්නේ පෘතුගාලයේ සිටය​. පෘතුගීසි ලේ තිබෙන ඇය වරක් මට මෙසේ කීවාය​. 

” අපගේ පෘතුගීසි ජාතිකයන් ඔබලාගේ රටේ බොහෝ කෘරකම් කල බව මම දන්නවා ” 

ඇය දොන් ජොරනිමෝද අසවේදෝ ගැන අසා තිබේද කියා මම නොදනිමි. ඒ කෘරකම් වූයේ එක්දහස් පන්සිය ගනන් වලය​. ඒ කාලයේ  එක්සත් ජාතීන් හෝ මානව හිමිකම් මණ්ඩල තිබුනේ නැත. එකී ඝාතන ගැන වර්තමානයේ ජීවත් වන පෘතුගීසින් වග කිව යුතු නැති බව මම ඇයට කීවෙමි. 

දෙවන ඊමේල් එක එවා තිබෙන්නේ කෙරන් ෆ්‍රෙxxx ය​. ඇය යුදෙව් ජාතික කාන්තාවකි. වෘත්තියෙන් දන්ත වෛද්‍යවරියකි මම ඇයගේ පුතාට EMDR ප්‍රතිකාරයෙන් සහාය වූයෙමි. ඔහු දැන් ඊශ්‍රායල හමුදාවේ සේවය සඳහා ගොස් තිබේ. 

දිවා ආහාරය සඳහා මම ජැමෙයිකන් අවන්හලට යාමට තීරණය කලෙමි. අතරමගදී මට අසීස්ව මුණ ගැසේ. ඔහු එන්නේ ඊජීප්තුවෙනි. වෘත්තියෙන් ඔහු ෆාමසිස්ට් කෙනෙකි. මම අසීස්ට අරාබි බසින් ආචාර සමාචාර කරමි. මම ඔහුව අමතන්නේ හබිබී කියාය​. අසීස් මා සමග ලෙන්ගතුව  සිනාසෙයි. වෛද්‍ය පෘස්කෝ විසින් නිකුත් කල සොබොක්සෝන් ප්‍රෙස්ක්‍රිප්‍ෂන් එක  ඊxxx ගේ ෆාමසිය වෙත ෆැකස් කරන ලෙස​ මම  අසීස්ට කීවෙමි. ඔහු එය වහාම කරන බව කීවේය. 

කොකේන් හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට තාවකාලික නිශේදන ඖෂධයක් ලෙස සොබොක්සෝන් වැදගත් වේ.  

ජැමෙයිකන් අවන්හලේ කළමනාකරු මා ” යියා මාන් ” කියා පිළිගනියි. මා නිතරම ඇණවුම් කරන ස්ටීම් රයිස් , ගෝට් මීට් සහ සැලඩ් මෙවරද ඇණවුම් කරමි. 

කවුන්ටරය අසල ජැමෙයිකානු තරුණයන් පිරිසකි. ඔවුන් ඉතා උනන්දුවෙන් රූපාවාහිනී තිරයේ යන පාපන්දු තරඟයක් නරඹති. ඉන් එක් තරුණයෙක් ට්‍රිනිඩෑඩ් වලින් බව මම දනිමි. ඔහු පසුගිය සතියේ මට  ජැමෙයිකන් ගීත අඩංගු වූ සීඩී එකක් අලෙවි කිරීමට තැත් කලේය​. ඔහු සිතාගෙන ඇත්තේ මම ගයනාවෙන් බවයි. සමහර ගයනීස් පුද්ගලයන් අප මෙනි. මට ගයනාවේ  හේමාවතී මතක් වේ. ඇය ජීවත් වන්නේ බ්රැම්ටන් වලය​. හේමාවතීලා තාරාවතීලා ගයනාවේ සිටිති. මා දන්නා තාරාවතී ටේ‍රා කියා නම පොෂ් කරගෙන තිබේ. 

දිවා ආහාරයෙන් පසුව මම වෛද්‍ය නහීම් ගෙ පේන් ක්ලිනික් (Pain Clinic) එක වෙත යමි. කාර්‍ය බහුල වූවද වෛද්‍ය නහීම් මා විසින් ලියාගෙන යන ගංජා භාවිතය සහ මානසික සෞඛ්‍යය පත්‍රිකාවට ඔහුගේ අදහස් දෙයි. මට එය වැදගත් ය​. එසෙම ඔහු මීට ඉහතදී මා සහ මැසචූසෙට්ස් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්‍ය Amy Wachholtz,විසින් ලියන ලද භාවනාව සහ වේදනා සමනය යන පරීක්‍ෂණ පත්‍රිකාව ගැන ධනාත්මකව කතා කරයි. තම සායනයේ මයින්ඩ්ෆුල්නස් භාවනා භාවිතය ගැන ඔහු විවෘතය​. 

වෛද්‍ය නහීම් උපත ලැබුවේ බ්‍රසීලයේය​. ඔහු යුදෙව් ජාතිකයෙකි. ඉංග්‍රීසි කතා කිරීමේදී සුළු ඇක්සන්ට් එකක් සහිතව කතා කරයි. නමුත් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම සඳහා ප්‍රතිකාරයේදී ඔහු විශේෂඥයෙකි.   මෙම කළාපයේදී විශේෂඥතාව ලැබෙනුයේ පෆෝර්මන්ස්  යන සාධකය මතය​. ලංකාවේ මෙන් විභාග කිරීමෙන් විශේෂඥතාව ලැබෙන්නේ නැත​. පෆෝර්මන්ස්  නිර්නායකය මත වෛද්‍ය නහිම්  වචනයේ පරිසමාප්තියෙන් විශේෂඥවරයෙකි. 

මෙවැනි විශේෂඥවරයෙකු වූ වෛද්‍ය ගබෝ මටේ‍ මගේ සිහියට නැගේ.  ඔහු හංගේරියාවේ උපත ලැබුවේය​. මේ කාලයේදී හිට්ලර් හංගේරියාව ආක්‍රමනය කරන්නේය​. ඔහුගේ සීයා සහ ආච්චී මිය යන්නේ Auschwitz වධකගාරයේය​. වෛද්‍ය ගබෝ මටේ‍ මට 2014 වසරේදී හමුවී තිබේ. 

වෛද්‍ය නහිම් මට රෝගියෙකු යොමු කරයි. ඔහු විශාල ශරීරයකින් හෙබි මුළු ගත පුරා පච්ච කොටා ගෙන සිටින හිටපු බයිකර් කෙනෙකි. ඔහු කාලයක් මෝටර් සයිකල් ගැන්සියක සාමාජිකයෙකු වී හැලිෆැක්ස් නගරය දෙවනත් කරගෙන සිටියේලු. ඔහුට තිබෙන්නේ ජර්මන් වාසගමකි. හෙරොයින් ශිරා වලට විදගත් ඔහු කොකේන් , එක්ස්ටසි , ඔක්සිකොන්ටින් යන නානාප්‍රකාර මත් ද්‍රව්‍ය භාවිතා කර තිබේ. වසර ගනනාවක් සිරගතව සිටි ඔහු පුනරුත්ථාපනය වීමට අදහස් කරයි. 

ඔහු දුඹුරු පැහැති මා දෙස බලන්නේ කුකුසෙනි. මම ඔහුට අතට අත දෙමි. මේ යෝධ මිනිසාගේ අත්ල තුල මගේ අත්ල සැඟවේ. වෛද්‍ය නහිම් මා පිලිබඳව ඔහුට හඳුන්වාදීමක් කරයි. මම ඔහුගේ රෝග ඉතිහාසය දෙස බලමි. විසි වසරකට අධික මත්ද්‍රව්‍ය භාවිතය බයිපෝලර් ආවේදනික ආබාධය , පස්චාත්  ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහ දුස්සාධ්‍ය පිට කොන්දේ වේදනාව නිසා මේ ජර්මන් කැනේඩියානු ජාතිකයා පීඩා විඳියි.  වෛද්‍ය නහිම් ගේ හැඳින්වීමෙන් පසු ඔහු මනෝ ප්‍රතිකාර වලට එකඟ වෙයි.  මම ඔහුට දිනයක් සහ වේලාවක් දෙමි. 

වෛද්‍ය නහිම් සමග තව කෙටි කාලයක් සංවාදයේ යෙදෙන මම  ටීඩී කැනඩා ට්‍රස්ට් බැංකුවට යමි. බැංකුවේ මැනේජර් ෆයිසාල් පාකිස්ථානයෙනි. ඔහු ඉතා මිත්‍රශීලී අයෙකි. ඔහු ඉතා කෙටි වේලවක් තුලදී මගේ අවශ්‍යතාව ඉටු කර දෙයි. මම ෆයිසාල් සමග කතා කරමින් සිටින විට මගේ ජංගම දුරකථනය නාද වෙයි. මා අමතන්නේ මයිකල් ඇපොලෝය​. ඔහු පෝලන්ත ජාතිකයෙකි. බෞද්ධ භාවනා ක්‍රම වලට යොමු වී ඇති මයිකල් සහ මහාචාර්‍ය රොබට් මැක් ෆාර්ඩ්න් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පරියේෂකයන් වෙති. ඔවුන් තමන් බෞද්ධ යැයි නොකීවද බුදු දහම පිළිබඳ ඔවුන් ගේ දැණුම ඉතා ගැඹුරුය​. මයිකල් ඔවුන් ගේ ඉදිරි වැඩසටහනක් පිළිබඳව මට විස්තර කියයි. 

 මම ෆයිසාල් ගෙන් සමු ගෙන වෙස්ටන් රෝඩ් සායනයට යමි. එහිදී පිලිපීන ජාතික හෙදියක වන මරියා මට සේවාර්ථියෙකු ගැන පවසන්නීය​. මරියා මේ කියන පුද්ගලයා මම දනිමි. ඔහු ඉතාලි කැනේඩියානුවෙකි. මීට මාස කීපයකට පෙර   විශේෂඥ මනෝ  වෛද්‍ය මේතා මේ පුද්ගලයා  පෞරුෂ අක්‍රමතාවයකින් පෙලෙන බව රෝග නිර්නය කොට තිබුනි. ඔහු තමන් මත්ද්‍රව්‍ය දැන් භාවිතා නොකරන බව තරයේ කීවද ඔහුගේ මුත්‍රා වල කොකේන් සංඝටක හමුවී තිබේ. මම ඔහු සමග කතා කරන බව කියා මම මරියාව අස්වැසුවෙමි.  

උතුරු ඉන්දියාවෙන් කැනඩාවට පැමිණි මනෝ  වෛද්‍ය මේතා මම ප්‍රිය කරන චරිතයකි . ඔහු ඉන්දියාවේද එංගලන්තයේද  මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබේ. ඔහු පෞරුෂ අක්‍රමතාවන් පිලිබඳ වෛඥානික පුද්ගලයෙකි.  ඔහු මා අමතන්නේ ජේ. කියාය​. සමහර පුද්ගලයන්ට මගේ මුල් නම වන රුවන් යන්න කියවෙන්නේ රෝවන් හෝ රොන් ලෙසටය​.  ඔවුන් බොහෝ විට මට ජේ කියා කතා කරති. 

මගේ සෙලියුලර් දුරකථනය නාදවේ. ඇමතුම අන්ඩ්‍රයාස් ගෙනි. ඔහු ඩවුන් ටවුන් ෆෝක්ස්වැගන් ඩීලර්  ආයතනයක සම්බන්ධීකරණ නිලධාරියෙකි. මගේ මෝටර් රථයේ මීලඟ සර්විස් කිරීම සබැඳිව ඔහු කතා කරයි. 

අන්ඩ්‍රයාස් වයස හැටක පමණ ප්‍රියශීලී මිනිසෙකි. මම ඔහුව අමතන්නේ මිස්ටර් අන්ඩ්‍රයාස් කියාය​. ඔහු උපත ලැබුවේ සයිප්‍රස් වලය​. ඔහු හමුවූ විටදී මම සයිප්‍රස්  හිටපු රාජ්‍ය නායකයෙකු වූ ආච් බිශොප් මකාරියෝස් ගැන කතා කරමි. ආච්බිශොප් මකාරියෝස් 1974 දී ලංකාවේ පැවති නොබැඳි සමුළුවට ආවේය​. අන්ඩ්‍රයාස් තරුණ කාලයේ ජීවත් වූයේ ආච්බිශොප් මකාරියෝස්  යටතේය​.  ලොකු හෝල්ඩන් රථයක නැගී දෙපස රැස්ව සිටි ජනයාට අතවනමින් ගිය ආච්බිශොප් මකාරියෝස් එකල පාසල් සිසුවෙකු වූ මම දුටුවෙමි. 

අන්ඩ්‍රයාස් මහතාගේ දුරකථන ඇමතුමෙන් පසු මම රොබින් අමතමි. රොබින් කැනඩා ආදිවාසී ඉනුඉට් ජාතිකයෙකි. රොබින් බොහෝ සෙයින් මධ්‍යසාර වලට ඇබ්බැහි වී ඇත​. ඔහුගේ අක්මාවේ එන්සයිම පරීක්‍ෂණ ද දුස්සාධ්‍ය මදිරාබාධයේ ලක්‍ෂණ පෙන්වන බව රොබින්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සඳහන් කොට තිබේ. රොබින්ට උපදේශනය අවශ්‍ය  වෙයි. එහෙත් ඔහු උපදේශනය සඳහා දක්වන්නේ උදාසීන බවකි. කෙසේ හෝ රොබින්ව ඔහුගේ බිළයෙන් එලියට ගත යුතුය​. නැතහොත් ඔහු තවත් සංඛ්‍යාලේඛනයක් වනු නියතය​. 

වෛද්‍ය මිශෙල් ක්ලෙමන්ට් පැමින ඇත​. ඇය තරුණ වෛද්‍යවරියකි. වෙස්ටන්  ඔන්ටේ‍රියෝ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඇය තුල සහජයෙන්ම ආසක්තිය ප්‍රතිකාර සඳහා දක්‍ෂතාවක් තිබේ. මෙතඩෝන් හෝ ක්ලොනැසිපෑම් වැනි ඖෂධ මාත්‍රාවන් වැඩි කරන ලෙස ඉල්ලා එකී ඉල්ලීම ඉටු නොවුන විට ඉතා තදින් කෝප ගන්නා රෝගීන් දමනය කිරීමට ඇයට හැකියාවක් තිබේ. ඇගේ සිනහව ; දයාන්විත කතා විලාසය ඉදිරියේ හෙල්ස් ඒන් ජල්ස් (මොවුන් මත්ද්‍රව්‍ය ගන්නා අපරාධ වූවද කිරීමට නොපසුබට මෝටර් බයිසිකල්කරුවෝය ) සාමාජිකයෝද දමනය වෙති. 

වෛද්‍ය මිශෙල් ක්ලෙමන්ට් මා අමතන්නේ ජේ කියාය​. ඇය මට සුභ දහවලක් ප්‍රාර්ථනා කරන්නීය​. මමද ඇයට සුභ දහවලක් පතමි. තමා යුදෙව් ජාතික කාන්තාවක් බව වරක් වෛද්‍ය මිශෙල් ක්ලෙමන්ට් මට කීවාය​. ඇය මනෝ ප්‍රතිකාරයන් සඳහා රෝගීන් මා වෙත යොමු කලාය​. 

මට පීටර් ගෙන් දුරකථන ඇමතුමකි. පීටර් වෘත්තියෙන් ෆයිනෑන්‍ෂල් කන්ට්‍රෝලර් කෙනෙකි. ඔහු ආයතන කිහිපයකට තම සේවාවන් ලබා දේ. පීටර් උපත ලැබුවේ කෙන්යාවේදීය​. වරක් මම මගේ විශ්ව විද්‍යාල මිතුරෙකු වූ කෙන්යා ජාතික කමාවූ ගැන කීවෙමි.  කමාවූ ගේ සම්පූර්ණ නම ඇසූ පමණින් ඔහුගේ ගෝත්‍රය මෙයයි යන්න පීටර් කීවේය​. මෙම අත්දැකීම මම මීට පෙරද ලබා තිබේ. වරක් කැනඩා -නයිජීරියා ජාතික ගණකාධිකාරිනියකට මම මගේ වෛද්‍ය පීඨයේ මිතුරියක වූ ජස්ටීනා ඇල් ගෝසි ගැන කීවෙමි. ජස්ටීනා ගේ නම ඇසූ ඇය ජස්ටීනා ඊබෝ ගෝත්‍රයට අයත් තැනැත්තියක් බව කීවාය​. 

පීටර් සමග  සංවාදය ඇදී ගියෙන් මට කාලය පිලිබඳ ගැටළුවක් මතු විය​. සවස් වන තෙක් මම අද වැඩ කරමි. මනෝ ප්‍රතිකාරයේදී රෝග ඉතිහාසයන් සහ චර්‍යාවන් දීර්ඝ වශයෙන් ලේඛන ගත කල යුතුය​. මේවාට කියන්නේ පේපර් වර්ක් කියාය​. මගේ උපදේශිකාවක වන ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් රෝහලේ මනෝ විද්‍යාඥ ආචාර්‍ය සුසන් රොජස් ගේ පරිගනක තිරය උඩ මෙවැනි වැකියක් ලියා තුබුන බව මට මතකය : සදාකාලික නින්දට පෙර පේපර් වර්ක් අහවර කරන්න​ (Before the eternal rest , finish your paper work). 

පේපර් වර්ක් අවසන් කරන විට සූර්‍යා අවරට යමින් තිබුනි. ඒ සමගම මගේ පුතා දුරකථනයෙන් මා අමතා අද සිකුරාදාවක් නිසා රාත්‍රී ආහාරය පිටතින් ගත යුතු බව කියයි. මම ඔහුට සිරියානු අවන්හලක් වන ජෙරුලම් රෙස්ටොරන්ට් එකේ නම යෝජනා කරමි. එහෙත් ඔහුගේ කැමැත්ත ජපන් අවන්හලකට යාමටයි. ඔහු සුෂී ප්‍රිය කරයි. මම නම් ඇත්තෙන්ම කැමති දෙමළ අවන්හලක් වූ හොපර් හට් එකට ගොස් ආප්ප කෑමටය​. නමුත් මේ තරුණ පරම්පරාව අප මෙන් තෝසේ අප්ප ඉඳි ආප්ප , පිට්ටු වලට ප්‍රිය නොකරති. එම නිසා මම හොපර් හට් නම යෝජනා නොකරමි. මට සුෂී එතරම් ප්‍රිය නැත​. අවසානයේදී පියාත් මවත් පුතාත් සම්මුතියකට එති. අප තිදෙනාම ග්‍රීක අවන්හලක් වූ ජිමී ද ග්‍රීක් අවන්හලට යාමට එකඟතාව පළ කෙරුවෙමු. 

අප ජීවත් වන්නේ බහු සංස්කෘතියකින් හෙවත් මල්ටි කල්චරල් සමාජයකය​. මේ සමාජයේදී අපට නානා ප්‍රකාර ජාතීන් මුණ ගැසෙති. නා නා විවිධ සංස්කෘතීන් සමග මුහු වීමට සිදුවේ. මේ මල්ටි කල්චරල් සමාජයේ ප්‍රශ්න නැතුවා නොවේ. එහෙත් එකිනෙකාට ගරු කරමින් විවිධ සංස්කෘතීන් ස්පර්ශ කරමින් මිනිසුන් සාමයෙන් සහයෝගයෙන් ජීවත් වෙති. එහෙත් චිරාත් කාලයක් ලංකාවේ වාසය කල සිංහල දෙමල මුස්ලිම් ජාතීන් මෙසේ සාමයෙන් සහයෝගයෙන් ජීවත් නොවන්නේ මන්ද කියා ඇතැම් විට මට සිතේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .

පරිවර්තිත කෙටිකතාව

උඩුකබාය

නවාරි මාසයේ එක්තරා සැඳෑවක, මෝල් මාවත දෙසට දිවෙන ඩේවිස් පාර දිගේ ඇවිදගෙන ආ ජේත්තුකාර තරුණයෙක් චාරිං ක්‍රොස් වීදියට හැරුණේය. ඔහුගේ සිනිඳු හිසකේ දිලිසුණු අතර කොපුල්වල දෙපැත්තේ මනාව වැවූ රැවුළු විය. ඔහුගේ තුනී උඩුරැවුල පැන්සලකින් ඇන්දාක් මෙන් වූයේය. බාගයට පිපුණු ක්‍රීම් පැහැති රෝසමලක් ගසන ලද දුඹුරුපැහැ උඩු කබායක් හැඳ සිටි ඔහු කොළපැහැති ‍ෆෙල්ට් හිස්වැසුමක් හිසෙහි ඇලයට පැලඳගෙන හුන්නේය. ධවල වර්ණ සේද සළුවක් ඔහුගේ ගෙල වටා ඔතා තිබිණ. ඔහු සිය එක් අතක් උඩුකබායේ සාක්කුව තුළ රුවාගෙන සිටි අතර අනෙක් අතෙහි වූයේ ඔප දමනු ලැබූ කෙටි වේවැලකි. හෙතෙම වරින්වර එය විනෝදයෙන් යුතුව කරකැවූයේය. 

ඒ ශීත ඍතුවේ මැද හරියේ සෙනසුරාදා සැන්දෑවකි. අයිස් බඳු ශීතල තියුණු සුළං පහරවල් යවුල් මෙන් පහර දුන්නද තරුණයා ඒ බව ගණන්ගත් වගක් නොපෙනිණි. ගතෙහි උණුසුම රැකගැනීම පිණිස සෙස්සන් වේගයෙන් ඇවිද යද්දී, අධික ශීතල මැදින් කෙරුණු සිය  සක්මන පැහැදිලිවම රසවිඳිමින් හෙතෙම සෙමෙන් ඇවිදගෙන ගියේය. 

ඔහු කෙතරම් ජේත්තුවට සිටියේද යත්, ඈත සිට පවා ඔහු එනු දුටු රෝද දෙකේ අශ්ව කරත්තකරුවෝ සිය අශ්වයන්ට සන්කොට ඔහු වෙතට වේගයෙන් පැමිණියෝය. සිය වේවැල වැනූ ඔහු ඔවුන් ඉවත යැවීය. කුලී මෝටර් රියක්ද ඔහු වෙතට ළඟා වූ අතර එහි රියැදුරා යමක් විමසන ලීලාවෙන් ඔහු දෙස බැලුවේය. මෝටර් රියද ඉවත හරවා යැවිණි. මෙවර එය කෙරුණේ ‘එපා, බොහොම ස්තූතියි,’ යන වදන් සමගිනි. 

මෝල් මාවතේ වඩාත් ජනාකීර්ණ, සජීවී කොටසට පැමිණෙන විට ඔහුගේ තුටුපහටු මනෝභාවයන් තවතවත් වර්ධනය විය. ‘ටැන්ගෝ’ නර්තනයට වාදනය කරන තාලයක් උරුවම් බාන්නට වූ ඔහු එහි තාලයට පියවර තබන්නට පටන් ගත්තේය. හිතට හදිසියේ නැඟුණු සිතිවිල්ලක් අනුව පියවර කිහිපයක් දිවගිය ඔහු ක්‍රිකට් පන්දුවක් යවන සැටි අභිනයෙන් රඟදැක්වීය. 

ලෝරන්ස් උද්‍යානයට හැරෙන මංසන්දියේදී, කුමන මඟ ගන්නේදැයි නිශ්චය කරගන්නට මෙන් ඔහු නැවතුණේය. එනමුදු ශීතල සැඳෑ ආලෝකයේ ගැලුණු උද්‍යානය ශෝකී ගතියක් සහ ආකර්ෂණීය නොවන බවක් මවා පෑ හෙයින් හෙතෙම දිගටම චාරිං ක්‍රොස් වීදිය දෙසට ඇවිද යන්නට විය. 

රැජනගේ ප්‍රතිමාව අසලට ළඟා වූ විට ගමන නැවැත්වූ ඔහු සිය උඩුකබායේ අත තුළ තබගෙන සිටි ලේන්සුවක් ඉවතට ගෙන ඉන් මුහුණ පිස දමාගත්තේය. 

ප්‍රතිමාව අසල තණපිටියේ ඉංගිරිසි ජාතික දරුවෝ කිහිප දෙනෙක් විශාල රබර් බෝලයක් සමඟ සෙල්ලම් කරමින් සිටියහ. ඔවුන්ගේ ක්‍රීඩාව නැරඹීම පිණිස හෙතෙම එතැන නතර විය. මුලදී ඔහු සිටින වගක් දරුවන්ට දැනුණේ නැත. එහෙත් ඔහු දිගින් දිගටම ඔවුන් දෙස බලා සිටින බව දැනුණෙන් ලජ්ජාවට පත් වූ  ඔවුහු සිය බෝලය අහුලාගෙන, සිනාසී කෑගසමින්, එකිනෙකා පසුපස එලවමින් තණපිටියේ අනෙක් කෙළවරට දිවූහ. මාර්ගය පසෙක වූ හිස් සිමෙන්ති බංකුවක් දුටු තරුණයා එහි දූවිලි පිසදමා එමත හිඳගත්තේය. 

සැන්දෑව ගෙවී යත්ම ශීතල වඩාත් දැඩි විය. එය සතුටෙහි ගැලී සැපපහසුව සොයන්නට මිනිසුන් පොළඹවන ශීතලකි. එවැනි අවස්ථාවලදී, පිටරටවල ඇවිද දුරාචාරයෙහි යෙදුණවුන් පමණක් නොව තමාගේ හුදෙකලාබවෙහි ගැලී සතුටින් ජීවත්වන මිනිස්සු පවා වීදිවල පැතිරී ඇති උත්සවශ්‍රීය සමඟ පෑහෙමින් එක ළඟ ඇති සිරුරුවලින් හටගන්නා උණුසුම විඳීමට ඔවුන් සැඟවී සිටින තැන්වලින් බැහැරට ආහ. 

එබැවින්, විවිධාකාරයේ හෝටල, අවන්හල්, කෝපිකඩ, අවුළුපත්කඩ ආදිය අතර තමාගේ ආර්ථික තත්ත්වයේ හැටියට විනෝදවීම පිණිස මිනිස්සු මෝල් මාවතට එක්රොක් වූවෝය. ඒ ගොඩනැඟිලි ඇතුළත වූ සැපපහසුකම් විඳීමට තරම් හැකියාවක් නැති අය බැහැර වූ වර්ණවත් විදුලි බුබුලු සහ දීප්තිමත් වෙළෙඳ දැන්වීම් ආදිය බලා සතුටට පත් වූහ. ප්‍රධාන මාවත දිගේ කෙළවරක් නැති මෝටර් රථ, බස්රථ, රෝද දෙකේ අශ්ව කරත්ත සහ පාපැදි ප්‍රවාහයක් උඩ පහළ ගිය අතර පදික වේදිකාවල් මිනිසුන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිබිණ. 

ඔහු ඉදිරිපිට පදික වේදිකාවේ යනෙන මිනිසුන් දෙස උනන්දුවෙන් යුතුව බලමින් තරුණයා සිමෙන්ති බංකුව මත හිඳගෙන සිටියේය. ඔවුන්ගේ මුහුණුවලටත් වඩා ඔහුගේ අවධානය යොමුවුයේ ඔවුන්ගේ ඇඳුම් වෙතය. ඒ මිනිස්සු විවිධ තරාතිරම්වලට අයත් අය වූහ.

වෙළෙන්දෝ,නිලධාරීහූ,රජයේසේවකයෝ,ශිෂ්‍යයෝ,කලාකරුවෝ, සංචාරකයෝ, වාර්තාකරුවෝ, ලිපි  කරුවෝ සහ සෙසු අය එහි වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උඩුකබා පැලඳ සිටියෝය. මිල අධික ආස්ත්‍රහාන්  කබාවල සිට පරණ ඇඳුම් විකුණන කඩවල විශාල මිටි බැඳ තිබෙන රළු කාකි හමුදා කබා දක්වා ඒවා ඒ අතර විය.

තරුණයා හැඳ සිටි උඩුකබාය පැරණි වූවද එය මනා ලෙස මසන ලද එකක් වූ අතර එය මැසූ රෙද්ද අනර්ඝ එකක් විය. කබායේ කොලරය ඍජුව තිබූ අතර එහි අත්වල නැම්ම මනාව පිහිටා තිබිණ. එහි බොත්තම් නිමවා තිබුණේ සත්ත්ව අංවලිනි. ඒ බොත්තම් විශාල දිලිසෙන ඒවා විය. එම කබාය පැලඳ තරුණයා ඉතා සතුටින් සිටින බවක් පෙනිණි. 

බුලත්විට සහ සිගරැට් විකුණන පිරිමි ළමයෙක් සිය බන්දේසිය රැගෙන එතැනින් ගියේය. 

‘ඒයි ළමයා,’

‘ඔව් සර්’

‘තමුසෙ ගාව රුපියල් දහයෙ කොළයක්  මාරු කරන්න තියෙනවද?’

‘නෑ සර්, හැබැයි මට මාරු කරලා ගෙනැල්ලා දෙන්න පුළුවන්.’

‘සල්ලිත් අරන් තමුසෙ ආපහු ආවෙ නැත්නම් මොකද කරන්නේ?’

‘සර්ට මාව විස්වාස නැත්නම් මාත් එක්ක එන්න පුළුවන්. සර්ට මොනවද ඕනෑ?’

‘නෑ, කමක් නෑ…. මෙන්න මට ඇනා එකක් හම්බ වුණා. දෙනවා මට හොඳ සිගරැට් එකක්. දීලා මෙතැනින් යන්න යනවා.’

ඔහු දුම් උරන විට පෙනී ගියේ ඒ සෑම උගුරක්ම ඔහු දැඩි ලෙස ආස්වාදනය කරන ආකාරයකි. 

කුඩා, කෙට්ටු, සුදුපාට බළලෙක් ශීතලෙන් වෙව්ලමින් ඔහුගේ දෙපාවල ඇතිල්ලෙමින් කෑ ගෑවේය. ඔහු උගේ පිට අතගෑවේය. බළලා බංකුව මතට පැන්නේය. බළලාගේ පිට අතගාමින් ඔහු මිමිණුවේය : 

‘අනේ අසරණ සතා.’

මිනිත්තු කිහිපයකට පසු ඔහු නැඟී සිටියේය. 

මෝල් මාවත තරණය කරද්දී සිනමා ශාලාවක පෝටිකෝවේ වූ දීප්තිමත් විදුලි බුබුලු දුටු ඔහු ඒ වෙත ඇදී ගියේය. චිත්‍රපටිය දැනටමත් ආරම්භ වී තිබූ හෙයින් එහි සිටියේ අනාගතයේ පෙන්වීමට නියමිත චිත්‍රපටිවල ඡායාරූප රැඳවූ පුවරු දෙස ඔහේ බලාගෙන සිටින කිහිප දෙනෙකු පමණි. ඒ මිනිසුන් අතර, ඡායාරූප ගොන්නක් දෙස බලමින් හිකිහිකි ගා හිනැහෙන ඇන්ග්ලෝ- ඉන්දියානු යුවතියෝ තිදෙනෙක් වූහ. තරුණයා ඔවුන් දෙසට ඇදුණද විනීතකම පවත්වාගත යුතු වු හෙයින් හෙතෙම ඔවුන්ට පියවරක් හෝ දෙකක් පිටුපසින් සිටගත්තේය. 

අනෙක් යුවතියන් දෙදෙනාගේ නෙතඟ බැලුම්  සහ ඇනීම්වලින් අනතුරුව ඉන් එකියක් පිටුපස හැරී ඔහු දෙස බැලුවාය. එකවරම ඇය කෙරෙන් මහත් වූ සිනාවක් පැනනැංගේය. තමන් පාලනය කරගැනීමට යත්න දැරූ අනෙක් යුවතියෝ දෙදෙන ඇය සිනමා ශාලාවේ පෝටිකෝවෙන් ඉවතට තල්ලු කර දැමූහ. තත්ත්පර කිහිපයක් ඇතුළත ඔවුහු නොපෙනී ගියෝය. 

ඔවුන්ගේ පිටව යෑම තරුණයා ගණනකට ගත් බවක් නොපෙනිණි. ටික වේලාවක් එතැන නිකරුණේ රැඳී හුන් ඔහුද සිනමා ශාලාවෙන් පිටවී ගියේය. 

මේ වන විට සවස හත පසුවී තිබිණ. ඔහු නැවතත් මෝල් මාවත දිගේ ඇවිදින්නට පටන් ගත්තේය. අවන්හලක් තුළ වාද්‍ය වෘන්දයක් සංගීතය වාදනය කරන හඬ ඇසිණි. එහි පිටත මිනිස්සු බොහෝ දෙනෙක් රැස්වී සිටියහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එතැන පසුකර ගෙන යන අය වූහ. කවුරුන් හෝ එන තුරු බලාගෙන සිටින අස්රියවල හෝ කුලී මෝටර් රථවල රියැදුරෝ කිහිප දෙනෙක්ද, කුලීකරුවෝ සහ සිඟන්නෝද එහි වූහ. සිය පළතුරු විකුණා අවසන් වූ පළතුරු වෙළෙන්දෝ කිහිප දෙනෙක්ද සිය හිස් කූඩා තබාගෙන එතැන රැඳී සිටියෝය. අවන්හල ඇතුළත හිඳගෙන සිටින්නන්ටත් වඩා මේ බැහැර සිටගෙන සිටියවුන් සංගීතය වින්දනය කරන බවක් පෙනෙන්නට තිබුණේ ඒ සංගීතය විදේශීය එකක් වූවද ඔවුන් එය නිහඬව අසාගෙන සිටි බැවිනි.

තරුණයාද මඳක් නැවතී සංගීතයට සවන් දී දිගටම ඇවිදගෙන ගියේය.

ඊට ටික වේලාවකට පසු බටහිර සංගීත භාණ්ඩ විකුණන විශාල සාප්පුවක් ඉදිරිපිටට පැමිණි ඔහු  කිසිදු පැකිලීමකින් තොරව එතුළට ගියේය. වටේට වූ බිත්තිවල සවි කළ රාක්ක මත විවිධාකාරයේ සංගීත භාණ්ඩ තැන්පත් කර තිබිණි. දිගු මේසයක් මත, ඒ දිනවල ජනප්‍රියතම ගීත අඩංගු තැටි සිත්ගන්නාසුළු ලෙස ප්‍රදර්ශනය කර තිබුණේය. ඒ තැටිවල කවරවල ඇඳ තිබූ චිත්‍ර අසභ්‍ය ඒවා වූවද ප්‍රීතිමත් ඒවා විය. ඒවා දෙස බැල්මක් හෙලූ තරුණයා බිත්තියේ එල්ලා තිබූ ස්පාඤ්ඤ ගිටාරයක් වෙත ඇවිද ගියේය. සංගීතය ගැන දන්නා රසවතෙකුගේ විලාසයෙන් එය පරීක්ෂා කර බැලූ ඔහු ගිටාරයේ එල්ලා තිබූ මිල සඳහන් ලේබලය කියවා බැලුවේය. ඊළඟට ඔහුගේ අවධානය ඇදගත්තේ විශාල ජර්මානු පියානෝවකි. එහි යතුරුපුවරුවේ ආවරණය ඉවත් කළ ඔහු යතුරු කිහිපයක් වාදනය කොට යළි ආවරණය වැසුවේය. 

සාප්පුවේ සේවකයෙක් ඔහු වෙත පැමිණියේය. 

‘සුබ සැන්දෑවක් වේවා සර්,’ ඔහු විනීත ලෙස පැවසීය. ‘සර්ට මුකුත් උදව්වක් අවශ්‍යද?’

‘නෑ, බොහොම ස්තූතියි,’ තරුණයා උදාසීන ලීලාවකින් යුතුව පිළිතුරු දුන්නේය. ඉන්පසුව හදිසියේම යමක් සිහි වූවාක් මෙන් ඔහු සේවකයාට කතා කළේය. 

‘ආ ඔව්… මේ මාසේ ග්‍රැමෆෝන් තැටිවල ලැයිස්තුවක් මට දෙන්න පුළුවන්ද?’

ඒ ලැයිස්තුව සිය උඩුකබායේ සාක්කුවකට දමාගත් ඔහු මෝල් මාවත දිගේ යළි පිය මනින්නට විය. 

ඊළඟට ඔහු නැවතුණේ පොත් සාප්පුවකය. සඟරා දෙක තුනක් පෙරළා බැලූ ඔහු ඒවායේ පටුන උඩින් පල්ලෙන් කියවා ඒවා  තිබූ තැනම ප්‍රවේසමෙන් යළි තැබුවේය. තව ටික දුරක් යන විට සාප්පුවක බැහැර එල්ලා තිබූ විශාල පර්සියානු පලසක් ඔහුගේ අවධානය ඇදගත්තේය. දිගු ලෝගුවක් සහ සේද ජටාවක් හැඳ සිටි සාප්පුවේ අයිතිකරුවා ඔහුට උණුසුම් ලෙස ආචාර කළේය.

‘මට මේ පලස ටිකක් බලන්න ඕනෑ කළා,’ තරුණයා පලස් වෙළෙන්දාට කීය.

‘බලන්න, බලන්න, සර්.’

‘හා හා ඕක පහළට ගන්න කරදර වෙන්න එපා. මෙතැන ඉඳන් මට හොඳට පෙනෙනවා. කීයද ඕකෙ ගාණ?’

‘රුපියල් එක්දාස් හාරසිය තිස් දෙකයි, සර්,’

‘ආ එච්චර වෙනවද?’ යැයි අසන්නාක් මෙන් තරුණයා රවා බැලුවේය. 

‘සර්ට තියෙන්නේ තෝරාගන්න විතරයි,’ වෙළෙන්දා මිත්‍රශීලී ලෙස කීය. ‘එතකොට අපි දෙන්න පුළුවන් උපරිම අඩු මිල වෙනකම් ගණන අඩු කරනවා.’

‘බොහොම ස්තූතියි,’ තරුණයා ප්‍රසන්න ලෙස කීවේය. ‘ඇත්තටම අපූරු පලසක්, මම ආයෙමත් තවත් දවසක එන්නම්,’ යැයි කියූ ඔහු ඉවතට ඇවිදගෙන ගියේය. 

ඔහුගේ උඩුකබායේ කොලරය හැඩගැන්වූ ක්‍රීම් පැහැති රෝසමල ඇල වී බිම වැටෙන්නට ළං වී තිබිණ. තෘප්තිමත්බවේ අමුතු සිනාවකින් යුතුව ඔහු එය යළිත් නිසි පරිදි සකස් කළේය.

ඔහු දැන් ඇවිදිමින් සිටියේ මහාධිකරණය අසල වූ පදික වේදිකාව මතය. ඔහු බොහෝ වේලාවක් තිස්සේ ඇවිද්දද තවමත් ඔහුගේ මනෝභාවය යහපත් විය. ඔහුට වෙහෙස දැනුනේවත් ඇවිදීම එපා වූයේවත් නැත.

මෝල් මාවතේ මේ හරියේ පදිකයන් සිටියේ තැනින් තැනය. එක් මිනිසුන් කණ්ඩායමක් අසල සිට තවත් මිනිසුන් කණ්ඩායමක් දක්වා ජනශූන්‍ය තැන් බහුලව තිබිණ. ඇවිදින අතර සිය වේවැල තනි ඇඟිල්ලක් වටා කරකවන්නට තරුණයා උත්සාහ ගත්තද ඒ උත්සාහයේදී වේවැල ඔහු අතින් ගිලිහිණි. 

‘සමාවෙන්න’ යැයි කියූ ඔහු නැවී වේවැල අහුලා ගත්තේය. 

මේ අතරතුර, ඔහුට පිටුපසින් පැමිණි තරුණ යුවළක් ඔහු පසුකර ගෙන ගොස් ඔහුට ඉදිරියෙන් ගමන් කරන්නට වූහ. ඒ යුවළේ තරුණයා උසැති කෙනෙකු වූ අතර ඔහු කලුපැහැති කොඩ්රෝයි කලිසමකින්ද, සිපරයක් සහිත සම් ජැකට්ටුවකින්ද සැරසී සිටියේය. යුවතිය සුදුපැහැ සේද රෙද්දෙන් කළ ලිහිල් ෂල්වාර් කලිසමක්ද කොළපැහැති කබායක්ද හැඳ සිටියාය. ඇය මිටි තරබාරු එකියකි. තනි කරලට ගෙතූ ඇයගේ දිගු කලු කොණ්ඩය ඇය ඇවිදින විට පිරුණු නිතඹෙහි වැදී ඔබමොබ වීසි විය. 

මේ දර්ශනය දැකීමෙන් ප්‍රීතියට පත්වූ තරුණයා ඔවුන් පසුපසින් ඇවිදින්නට පටන් ගත්තේය. ටික වේලාවක් යන තුරු ඔවුන් දෙදෙනා අතර කතාබහක් නොවීය. ඉන්පසුව යෞවනයා සිය පෙම්වතියට යමක් කී අතර ඇය ඊට දැඩි ස්වරයෙන් පිළිතුරු දුන්නාය:

‘බෑ.’

‘මම ඔයාට කිව්වා වගේ ඒ දොස්තර මගේ යාලුවෙක්. කිසි කෙනෙක් මේක දැන ගන්නේ නෑ.’

‘බෑ. මං කිව්වනෙ මට බෑ කියලා.’

‘ඒකෙන් වේදනාවක් ඇති වෙන්නෙ නෑ. හිතන්නත් කලින් වැඩේ ඉවරයි.’

යුවතිය පිළිතුරක් දුන්නේ නැත. 

‘ඔයා දන්නවනේ, ඔයාගේ අම්මලා තාත්තලා හරියට කනගාටු වෙයි. ඔයා ඒ ගොල්ලන්ගේ නම්බුව ගැන හිතන්න ඕනෑ.’

‘කට වහගෙන ඉන්න. නැත්නම් මම කෑ ගහනවා.’

ඒ සැඳෑ කාලයේදී ඔහු විසින් දකින ලද මිනිසුන් අතර තරුණයාගේ උනන්දුව අවුළුවා ලූ කෙනෙකු සිටියේ නැති තරම්ය. ඇතැම්විට ඔහු ඉතා ගැඹුරෙන් තමන් ගැනම සිතමින් සිටියා විය යුතුය. රොමෑන්තික නවකතාවක පිටු අතරින් එළියට බටවුන් සේ පෙනෙන මේ තරුණ යුවළ තුළ ඔහුගේ උනන්දුව අවුළුවා ලූ යමක් තිබිණි. 

ඔවුන්ගේ මුහුණු දකින අටියෙනුත් ඔවුන් තවදුරටත් කතා කරන දේවලට ඇහුම්කන්දීමේ අරමුණෙනුත් හෙතෙම ඔවුන්ට සමීපව ඔවුන් පසුපසින් ගියේය.

මේ වන විට ඔවුහු මහ තැපැල්හල ඉදිරිපිට වූ සුවිසල් මංසන්දිය වෙත ළඟා වී සිටියහ. මඳකට නතර වූ යුවළ, මෝල් මාවත මාරු වී මැක්ලියොඩ් පාර දෙසට යන්නට වූහ. එකවරම ඔවුන් පසුපස ගියේ නම් තමන් ඔවුන් පසුපස යන බව යුවළ දැන ගනු ඇතැයි සිතූ තරුණයා නතර විය. තමා මඳ වේලාවකට නතර වී සිටියහොත් එය වඩා හොඳය. 

යුවළ ඔහු සිටි තැන සිට යාර සියයක් පමණ ගිය විට ඔහු යළිත් හදිසියෙන් ඔවුන් පසුපස යන්නට පටන් ගත්තේය. පාරේ අඩක් දුර යන්නටත් ප්‍රථම, ගඩොල් පුරවාගෙන චණ්ඩ මාරුතයක් සේ ඔහු පසුපසින් පැමිණි ලොරියක් ඔහු යටකරගෙන මැක්ලියොඩ් පාර දෙසට වේගයෙන් ඇදී ගියේය. මිනිසෙකු මරහඬ තලන හඬ ඇසුණු ලොරියේ රියැදුරා සත්‍ය වශයෙන්ම එක් මොහොතකට රථයේ වේගය බාල කළේය. එහෙත් කිසියම් බැරෑරුම් දෙයක් සිදුවී ඇති බව වටහාගත් ඔහු අඳුරේ වාසියට මුවා වී රාත්‍රිය තුළට පලාගොස් තිබිණි. හදිසි අනතුර දුටු එතැන සිටි කිහිප දෙනෙක් කෑ ගැසූහ: ‘මිනිහව නවත්තා ගන්න…වාහනේ නොම්බරේ ලියා ගන්න,’ එහෙත් ලොරිය පේන තෙක් මානයකවත් නොවීය. 

ටික වේලාවක් යන විට එතැනට විශාල සෙනඟක් රැස් වූහ. මෝටර් සයිකලයක පැමිණි පොලිස් රථවාහන නිලධාරියෙක් එතැන නැවතුනේය. තරුණයා බරපතල ලෙස තුවාල ලබා සිටියේය. රුධිරය විශාල ප්‍රමාණයක් පාරේ ගලාගොස් තිබූ අතර තරුණයා සිටියේ දැඩි අවදානම් තත්ත්වයකය. මහමඟ ගමන් කළ මෝටර් රියක පටවා ඔහු අසල වූ රෝහලකට ගෙනියනු ලැබිණි. රෝහලට පැමිණෙන විට ඔහුගේ පණ යාන්තමින් රැඳී තිබුණේය.

එදා රාත්‍රියේ හදිසි අනතුරු අංශයේ සේවයේ යෙදී සිටියේ සහකාර ශල්‍ය වෛද්‍ය ඛාන් සහ ෂෙහ්නාස් සහ ගිල් නම් වූ තරුණ හෙදියන් දෙදෙනෙකි. ගිලන් ඇඳක තබා තරුණයා ශල්‍යාගාරය වෙත රැගෙන යන විටත් ඔහු සිය දුඹුරුපැහැ උඩු කබාය සහ සේද සළුව හැඳගෙන සිටියේය. ඔහුගේ ඇඳුම පුරාම විශාල රුධිර පැල්ලම් විය. කිසිවෙකු තරුණයාගේ කොළපැහැති ෆෙල්ට් හිස්වැසුම ඔහුගේ පපුව මත තබා තිබුණේ එය නැති නොවනු පිණිසය. 

‘යමක් කමක් තියෙන කෙනෙක් වගේ,’ ෂෙහ්නාස් ගිල්ට කීවාය. ගිල් ඊට පිළිතුරු දුන්නේ පහත් හඬිනි:

‘සෙනසුරාදා රෑ එළියට යන්න හොඳට ඇඳලා, අසරණයා.’

‘ඩ්‍රයිවර්ව අල්ලාගෙනද?’

‘නෑ, මිනිහා පැනලා ගිහිල්ලා.’

‘අපරාදේ !’

මුඛවාඩම්වලින් මුහුණු ආවරණය කරගත් සහකාර ශල්‍ය වෛද්‍යවරයා සහ හෙදියෝ දෙදෙනා ශල්‍යාගාරයේදී තරුණයාට ප්‍රතිකාර කිරීමට පටන් ගත්හ. ආවරණය නොවී තිබුණේ ඔවුන්ගේ දෑස් පමණි. ඔහු සුදු කිරිගරුඬ මේසය මත වැතිරී සිටියේය. ඔහුගේ කොණ්ඩය තවමත් හොඳින් බොරුඇස්වලට උඩින් පිළිවෙළට පීරූ වනම තිබුණේය. එදා සවස ඔහු සිය හිසෙහි ගැල්වූ සැර සුවඳ සහිත තෙල්වලින් තවමත් ළා සුවඳක් වහනය විය.

දැන් ඔහුගේ ඇඳුම් ඉවත් කරන්නට පටන් ගැනිණි. පළමුවෙන්ම ඉවත් කෙරුණේ ධවල වර්ණ සේද සළුවයි. එක්වරම හෙදියෝ දෙදෙනා එකිනෙකා දෙස බැලුම් හෙලාගත්හ. මුඛවාඩම් තිබියදී එකිනෙකා සමඟ සන්නිවේදනය කළ හැකි එකම මඟ වූයේ එයයි.

සළුවට යටින් ටයි පටියක් හෝ කොලරයක් හෝ තිබුණේ නැත. අඩුම වශයෙන් කමිසයක්වත් තිබුණේ නැත. උඩුකබාය ඉවත් කළ විට පෙනී ගියේ තරුණයා ඊට යටින් හැඳ සිටින්නේ හිල්වලින් පිරුණු කපු ස්වේටරයක් පමණක් බවයි. ඒ හිල් අතරින් පෙනුණේ ඊට යටින් හැඳ සිටින කිලිටි බැනියමයි. එහි තත්ත්වය ස්වේටරයටත් වඩා අන්ත විය. තරුණයා සේද සළුව එතූ ආකාරයෙන් ඔහුගේ ගෙලෙහි සහ පපුවේ විශාල පෙදෙසක් ඉන් ආවරණය විය. ඔහුගේ සිරුර පුරා කුණු තට්ටු බැඳී තිබිණි. මාස දෙකකින්වත් ඔහු ස්නානය කර නැත. ඔහුගේ ගෙලෙහි උඩ කොටස පමණක් හොඳින් පිරිසිදු කොට පුයර දමා තිබුණේය. 

ස්වේටරය සහ බැනියම ඉවත් කිරීමෙන් පසුව එළැඹුණේ ඔහුගේ කලිසම ඉවත් කිරීමේ කටයුත්තයි. හෙදියන් දෙදෙනාගේ නෙත් යළිත් වරක් එකිනෙක ගැටිණි. පරණ රෙදි පටියකින් කලිසම ඉනට තබා ගැට ගසා තිබිණි. ඒ පරණ රෙදි පටිය ඇතැම්විට කලෙක ටයි පටියක් විය හැකිව තිබුණේය. කලිසමෙහි බොත්තම්වත් ගාංචුවක්වත් නොවීය. කලිසමේ දණහිස් අසල කොටස වියැකී ඉරී තිබුණේය. එහෙත් මේ සියල්ල කබායට යටින් වූ නිසා ඒවා කිසිවෙකුට නොපෙනිණි. 

ඊළඟට පාවහන් සහ මේස් ගලවනු ලැබිණි. සපත්තු පරණ ඒවා වූවද හොඳින් ඔප දමා තිබුණේය. එක් කකුලක වූ මේස් එක අනෙක් කකුලේ මේස් එක සමඟ වර්ණයෙන්වත්, මෝස්තරයෙන්වත් ගැලපුණේ නැත. මේස්වල පතුල් හිල් වී තිබිණි. ඒ හිල් අතරින් පෙනුණේ කලු කුණු බැඳුණු අපිරිසිදු දෙපතුල්ය. මේ වන විට ඔහු මිය ගොස් සිටියේය. ඔහුගේ පණසුන් සිරුර සුදු කිරිගරුඬ මේසය මත වැතිරී තිබිණි. 

ඔහුගේ ඇඳුම් ඉවත් කරන්නට පළමුව ඔහුගේ මුහුණ සිවිලිම දෙසට හැරී තිබුණද ඇඳුම් ගලවන අතරතුර එය බිත්තිය දෙසට හැරී තිබුණේය. ඒ  ඇතැම්විට සිය සහෝදර මනුෂ්‍ය ප්‍රාණීන්ට මුහුණ දෙන්නට නොහැකි වන ලෙස සිරුරේත්, ආත්මයේත් වූ මේ ද්විත්ව නිරුවත් බව කරණ කොට ගෙන හටගත් ලජ්ජාව නිසාද?

ඔහුගේ උඩුකබායේ විවිධ සාක්කුවල තිබී හමු වූ ස්වල්ප දෑ පහත පරිදිය:

කලුපැහැති කුඩා පනාවක්, ලේන්සුවක්, ඇනා හයක් සහ පයිසා කිහිපයක්, බාගයට ඉරූ සිගරැට්ටුවක්, මිනිසුන් කිහිපදෙනෙකුගේ නම් සහ ලිපින සටහන් කළ කුඩා දිනපොතක්, ග්‍රැමෆෝන් තැටි ලැයිස්තුවක් සහ ඔහුගේ සැඳෑ සක්මන අතරතුර අත්පත්‍රිකා බෙදන්නන් විසින් බලෙන් ඔහුගේ ඇ‍ඟේ ගසන ලද අත්පත්‍රිකා කිහිපයක්.

ඇතැම්විට හදිසි අනතුර අවස්ථාවේදී නැතිවන්නට ඇති ඔහුගේ කුඩා වේවැල අවාසනාවකට මෙන් මේ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණේ නැත.

 ගුලාම් අබ්බාස් (1909-1982)

(සයිනාබ් ගුලාම් අබ්බාස් විසින් උර්දු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

නිලූක කදුරුගමුව 

පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com/

*අවසර ඇතිව උපුටා ගැනුනකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *