සිංහල බ්ලොග් කවි මුතු

සයුරු රළක කවිය…

පාළු නැතිවද

ඔය ඔතැන

හුදෙකලාව ම

ඉන්නා ඉඳුම…

“පාළුව” කියන්නේ

කුමක්ද ?

අහස, මහ පොළව, සමුදුර

යාවෙන ඉසව්වක…

ගී මුමුණනා සුළං

රැල්ලක

දැවටී නැතුවාද

ස්නේහය…

ඔව්, මේ මෙතැන

දහසක් ජීවිත

සයුරු රළ හා මුසු ව

දිවමන් වන තැන…

නොඇසේද ඒ විලාපය

කෙමෙන් සන්සුන් ව…

සැනසුම් සුසුම් හෙළනා හඬ….

තරුර​සී

https://tharurasi.blogspot.com

ඔබට

ඔබ ඔතන මම මෙතන ඉතිං අප අතර

ගව් සියක් හා තවත් දුර දහසකි පියවර

වහා තරණය කර අප වටා ඇති සමුදුර

“ප්‍රේමයෙනි” කියන් මා බදා හිරකර

හුදකලාවේ ලියු කවි

https://hudakalakavi.blogspot.com

හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම 

ප්‍රේම ගායනා නිමා නොවේ…

නිමාකලයුතු නොවන අයුරින්

නිමාකල පෙම් කතාවක තතු

හොරෙන් ලිවුවා වලාවක් මත

දකින්නට නුඹ බලද්දී තරු

නුඹම පමනක් දැන සිටිය මට

නුඹම පමනක් අහිමිවුන තැන

තවම පිපෙනා මිනී මල් ගෙන

සැරසුවා හද දම්පාට පෙති රැගෙන

දිනකි නුඹ මා හමුවියම යුතු

තැනකි දහසක් කතා සිරවුන

එවනි දවසක වදන් ගොලුකර

බලාඉමු අප නෙතින් අපිවම

කටුසු හදවත

https://katusuhadawatha.blogspot.com

ලොව සිනිඳුතම වළාකුළු

ලොව ඇති සිනිඳුතම වළාකුළු

පාව එනුයේ රෝහලට ඉහල අහසෙනි…

තටු කැඩුණු සුරදූතයන්,

මෙ ලෝ එළිය දකිනට මත්තෙන්

ඇස් පියාගත් සුරදූතිකාවන්,

සනීපෙට නිදයි එහි…

ලොවේ කොතැනක හෝ

මවකගෙ මුවින් ගිලිහෙන ගී

මුහුවී අවුත් සුළඟේ

පෙරී විත් වළාකුළු ඉමට

ගැයෙයි ඒ තුළ ලොව ඇති 

මිහිරිතම නැළවිලි…

ආකාශ ගංගාවේ

සඳේ සඳසාවුන් නිදන

සඳවළල්ලෙන් බේරී

ගලා එයි ඒ වළාකුළු තුළට

සඳෙහි සියුමැලිම සඳ කෙඳිති…

ඒ සියළු මිහිරයි

වැහි මන්දාරමේ අඳුරින්

ආකහේ බොඳ වෙද්දී

පායා එන්නෙ දේදුන්නක් වී…

සඳෙහි පෙදෙසක 

https://hashanrandika.blogspot.com

මට මග පෙන්වු පහන් ටැඹයි නුඹ

නීල ගුවන් ගැබ

නිල්වන් දිය රල

හමනා මදනල

සොදුරුය දියදම

මා ආ මාවත

එලිය කරන්නට

මට මග පෙන්වු

පහන් ටැඹයි නුඹ

නුඹ පෙනෙනා ඉම

නැවතී නිසලව

නුඹ දෙස බලමින්

ගිමන් හරිමි මම

මතුයම් දවසක

සෙනෙහෙ ලබන්නට

පහන් ටැඹේ

ආලෝකය වන්නට

සිහනද Lion’s Roar

https://jawiru.blogspot.com

බිඟුවනි මුලා නොවන්

නෙක උයන් වතු පුරා

පාට මලින් පිරිලා හැඩයි,

හෙට දවසේ පල බරින්

අතු ඉති පුරවන වහසි බසින්

සුරඟන රැඟුම්…

ගුමු ගුමුවෙ ඇදී

මුලා නොවන්,

ඉටි මලින් සරසලා

අහස උස තුඹස්

යසසින් වැජඹෙන වේයන්… 

කලබලෙන් උන් ඇදෙන්නේ

රැකෙන්නට උනුන්,

රකිමින් උන්ගේ රජුන්

මිස නිමාකරන්නට ද

උන් පැටවූ අපේ කරුමයන්…

පුංචි පුංචි බිඟුවන් ලෙසින්

පෙළින් පෙළට යමන්,

හෙට පලබර වෙන්න නම්

පරිස්සමෙන් නියම මල තෝරාගනිව්

මුලා නොවෙව්!

ගල්මල් – Coral

https://galmal.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *