කැනේඩියානු සංචාරයක මතකය
කැනඩාවේ තිබෙන පැරණිතම පලාත් උද්‍යානය වන Algonquin වර්ග කිලෝමීටර 7653 විශාල එකක්. ටොරොන්ටෝ සහ ඔටාවා නගරවල සිට පහසුවෙන් එන්නට පුළුවන් මේ උද්‍යානයට උතුරින් Trans – Canada Highway එකත් දකුණින් Highway 60 එකත් වැටිලා තියෙන හින්ද කාට වුනත් එතැනට එන්න හරිම ලේසියි. 19 වන සියවසේ ලෝක දැව නිෂ්පාදනයේ විශාල දායකත්වයක් දැරූ රටක් විදිහට කැනඩාවේ White Pine සහ Red Pine දැව සැපයුම් ඉසව්වක් වුනු හින්ද පරිසර විනාශය සමතුලනය කරන්නට 1893 දී මේ උද්‍යානය පිහිටුවා තිබෙනවා. අදත් මේ උද්‍යානයේ 35% ක පමණ කොටසක දැඩි පාලනයක් යටතේ දැව කර්මාන්තය සිදු කෙරෙනවා.
Northern Canada සහ Southern Canada වෙන්කරන මායිම විදිහට හැදින්වෙන මේ උද්‍යානය සංචාරකයෙකුට වැදගත් වෙන්නෙ ගිම්හාන කාලයට කදවුරු බිම් ගත කරන්න , ඔරු පදින්න , බයිසිකල් පදින්න , ඇවිදින්න වගේම දින චාරිකාවක යෙදිලා විලකින් නාලා තරමක විවේකයක් ගත කරලා හවසට ආපහු ගෙදර එන්න කදිම තැනක් හින්දයි. ඍතු විපර්යාසයත් එක්ක ගස්වල කොල, කොලපාටින් රතු, තැඹලි , කහ පාටට වෙනස්වෙලා හැලිලා යනකොට මවන අපූරුව බලන්න විශාල වශයෙන් සංචාරකයින් යනෙන තැනක් බවට පත්වෙලා තියෙනවා. ඒකට යන්නෙ Highway 60 corridor එකටයි.
මේ ලිපියෙන් මම සුදානම් වෙන්නෙ පහුගිය දවසක මා එලෙස විදි අසිරිය ඔබත් එක්ක බෙදා ගන්නයි. පලාත් උද්‍යානයේ නිලධාරීන් සහ වෙබ් පිටුවට අමතරව Algonquin උද්‍යානයට පෙම් බැදි පිරිස් පවත්වා ගෙන යන අන්තර්ජාල තොරතුරු අඩවි සහ මුහුණු පොත් පිටු මේ ගමන සැලසුම් කරගන්න ඔබට බොහෝ උදව් වේවි. ඒ තොරතුරු වලට දිනපතා අළුත්වන සේයාරූ , සජීවී Webcam දර්ශන වගේම කොලවල පාට වෙනස් වන රටාව ගැනත් තොරතුරු ඇතුලත්. Algonquin park fall colour report ඉන් ප්‍රධානයි.
ඒ තොරතුරු බලල මම නම් ගමන සැලසුම් කරගත්තා. දවස් 5 කට කලින් උදෙන්ම අන්තර්ජාලයෙන් Day pass එකක් book කරගත්තා. ටොරොන්ටෝවේ ඉදන් පැය 3 ක විතර ගමනකට පස්සෙ Huntsville නගරයෙන් දකුණට හැරිලා Highway 60 එකෙන් බටහිර දොරටුවෙන් උද්‍යානයට ඇතුළු වුනා. Fall colours අසිරිය බලාගෙන කිලෝමීටර 80ක වේගයෙන් Ottawa පැත්තට යන්න ඔබට Day Pass එකක් අවශ්‍ය නොවුනත් තනි මං තීරුවක් තියෙන ඒ පාරෙ ඔබට කිසිසේත්ම වාහනය පාර අයිනෙ නවත්වලා Fall colours බලන්න අවසර නැහැ.
අන්තර්ජාලයෙන් හරි උද්‍යානයේ මායිම් දොරටුවල තියෙන තොරතුරු මධ්‍යස්ථාන වලින් හරි ගන්න පුළුවන් සිතියම් ඔබේ ගමනෙදි වාහනය නවත්වන්න පුළුවන් තැන් , Trails සහ Hikes වල තොරතුරු දැනගන්න පුළුවන් හොද මුලාශ්‍රයක්. අපි බටහිර දොරටුවේ තොරතුරු මධ්‍යස්ථානයෙන් සිතියමක් ගත්තා. දවසේ වෙලාව අනුව යන්න පුළුවන් Trail කිහිපයක් ගැන කෙටි සටහනක් ගහගත්තා. West Gate එකේ ඉදන් East Gate එකට කිලෝමීටර 55 ක් තියෙනවා. ඔබට යන්නට පුළුවන් තැන් සිතියමේ ලකුණු කරලා තියෙන්නෙ ඒ මාර්ගයෙන් හැරිලා යන විදිහටයි.
Algonquin Art Centre
West gateඑකේ ඉදන් කිලෝමීටර් 20 ක් ගියාමAlgonquin Art Centre එක හමුවෙනවා. කැනඩාවේ ස්වභාව සෞන්දර්ය චිත්‍ර කලාවේ නම තැබූ Group of Seven චිත්‍ර ශිල්පීන් ගැන මීට පෙර චාරිකා සටහන් වල විස්තර සටහන් කොට තිබෙනවා. ඔවුන්ට ආභාෂය සැලසූ Tom Thomson ගේ පටන් වර්තමානයේ ප්‍රකට චිත්‍ර ශිල්පී Michael Dumas දක්වා චිත්‍ර ශිල්පීන් රැසකගේ තෙල් සායම්, දිය සායම් ඇතුළු විවිධ වර්ගවල චිත්‍ර රැසක් ඔබට මෙතැනදී දකින්න පුළුවන්. ඒ වගේම මෙතැනදී චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර මිලදී ගන්නත් පුළුවන්. ගණන් තරමක් ඉහල වුණත් ඔබට ගන්නට පුළුවන් නම් ඒවා හරිම අගෙයි. ඒ වගේම ඒ පරිශ්‍රයේ පැවැත්වෙන චිත්‍ර පන්ති සහ සමූහ ක්‍රියාකාරකම් බාල මහළු ඕනෑම වයසක කෙනෙකුට හොදයි.
Algonquin logging Museum
මේ කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ උද්‍යානයේ නැගෙනහිර දොරටුව කිට්ටුවයි. නැපෝලියන් බොනපාට් යුරෝපයෙන් එංගලන්තයට එන දැව සැපයුම නැවැත්තුවට පස්සේ බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා වලට අවශ්‍ය සුදු සහ රතු පයින් දැව ලබාගත් ප්‍රධාන තැනක් විදියට Algonquin ප්‍රදේශය ඉතිහාසගත වෙනවා ජල පහරවල් හරහා Old Quebec City වෙතට ගෙන ගිය ඒ විශාල දැව කොට එතැනදී යුරෝපයට යන නැව් වලට පටවලා තියෙනවා. පස්සේ කාලෙකදී ඇමරිකාවට අවශ්‍ය දැව සපයන ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් විදියට සංවර්ධනය වූ මේ ප්‍රදේශයේ ලී මෝල් , දුම්රිය මාර්ග ඉදි කරලා පංච මහා විල් හරහා නැව් මගින් ඇමරිකාවට ඒ දැව ප්‍රවාහනය කළ හැටි ඔබට මේ කෞතුකාගාරයේ දී විස්තර ඇතුව දකින්න පුළුවන් . ඉතා දුක් ගැහැට මැද්දේ එදා වෙහෙස මහන්සියෙන් විශාල සේවක පිරිසක් කල කාර්යය වෙනුවට අද ඒ කටයුතු කෙරෙන්නේ යන්ත්‍රානුසාරයෙන් ඉතාම සුළු සේවක පිරිසක්.
වන වගාවන් කරමින් භාවිතය සඳහා අවශ්‍ය දැව ලබා ගන්නා අතරම පරිසරය සමතුලනය සඳහා අවශ්‍ය වන ගහනයක් පවත්වාගෙන යන්නත් , පරිසරය රස විඳින්නන් සදහා ක්‍රියාකාරකම් සහිතවත් මේ අපූරු උද්‍යානය ක්‍රියාත්මක වෙනවා. කූඩාරම් කඳවුරු බිම් , බයිසිකල් පදින්න, ඇවිදින්න වගේම මේ උද්‍යානය තුළ තිබෙන විශාල විල් ප්‍රමාණය , Canoe, Kayak , මෝටර් බෝට්ටු පදින්නත් ඔබට ඕනෑතරම් ඉඩකඩ ලබා දෙනවා.
අපි තවත් වැඩිපුර Fall colours බලන්නට කිලෝමීටර් 70ක් විතර ගෙවල Peterborough පැත්තෙන් ආපහු ආවා. ඔබත් කැමතිනම් ඒ වැඩිදුර ගෙවන එක පාඩු නැහැ කියලයි මට හිතෙන්නෙ.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ – අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
ඇමෙරිකානු සංචාරයක මතකය
කෝටිපති ගෙටී ගේ කලාකෘති එකතුව බලන්නට ලොස් ඇන්ජලීස් නුවරට ගියදා
ජේ පෝල් ගෙටී කියන්නෙ කලක ලෝකෙ අංක එකේ ධනවතා ලෙස හිටි කෙනෙක්. ඛනිජ තෙල් කර්මාන්තය නිසා අති විශාල මුදල් සම්භාරයකට හිමිකම් කී ගෙටී බිරියන් පස් දෙනෙකු සහ දුසිමක තරමේ අනියම් කාන්තා ඇසුරක වාර්තා තිබූ අපූරු චරිතයක් .එංගලන්තය, ඇමරිකාව ඇතුළුව ලෝකය පුරා විවිධ රටවල දේපළ සහ මුදල් ආයෝජනවලට හිමිකම් කී ඔහු සතුව තිබූ කලාකෘති වල වටිනාකම එදා 1976 දී මිලියන හතරකට වඩා වැඩි වූ බව සඳහන්.
මේ ඔබට ජේ පෝල් ගෙටී ගැන වැඩි විස්තර සදහා දිගුව
https://en.wikipedia.org/wiki/J._Paul_Getty
1930 දී නිව්යෝර්ක් නගරයේ දිවි ගෙවද්දී තමන්ගේ මහල් නිවාස හිමිකාරිනිය වූ එමී ගෙස්ගේ කලාකෘති දැකීමෙන් පටන් ගත් කලාකෘති එකතු කිරීමේ ආශාව වැඩිදියුණු වන්නට ජීවිතයේදී ඔහුට හමුවූ විවිධ කාන්තාවන්ගේ සහ මිතුරන්ගේ බලපෑම ද හේතුවන බව ඔහු ගැන කෙරුණු වාර්තා වැඩසටහන්වල කියවෙනවා.
කලක් තිස්සේ වෙහෙස මහන්සි වී කල ව්‍යාපාරික කටයුතු තම පුත්‍රයාට පවරා තමන්ගේ සිත් ගත් ග්‍රීක සහ රෝම ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන ගෙටී විලා නම් ගොඩනැගිල්ල තුළ ඒ කලාකෘති තැන්පත් කිරීමේ කටයුතුවල යෙදෙන අතරතුර ඔහු මරණයට පත් වූ බවයි කියවෙන්නේ.
අතිවිශාල ධනයකට හිමිකම් කී ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව පුතුන් දෙදෙනකුට සහ කාන්තාවන් දොළොස් දෙනකුට මුදල් වෙන් කර තිබුණත් ඔහුගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණය වෙන් කර තිබුණේ කලාකෘති සංරක්ෂණය සඳහා පිහිටුවා තිබූ ගෙටී භාරයටයි.
මේ ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ දිගුවයි.
https://www.getty.edu/about/getty/pdfs/gia_getty_comp_will.pdf
ඒ සුවිසල් ධනය ආයෝජනය කරමින් එම භාරය මේ වන විට ලෝකයේ කලාවට කරන මෙහෙය අතිමහත්. පසුගියදා ලොස් ඇන්ජලිස් නගරයට ගිය මොහොතක ගෙටී කෞතුකාගාරයට සහ ගෙටි විලාවලට යන්නට මම තීරණය කළේ ඒ ගැන අසා දැන සිටි තොරතුරුවලින් ඇතිව තිබූ උනන්දුව හින්දයි.
අන්තර්ජාලයෙන් කලින් නියමිත දිනය සහ වේලාව වෙන් කරවා ගැනීම් කරන්නට හැකි ගෙටී සෙන්ටර් එකට යන විට කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. කැලිෆෝනියාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක් අසබඩ තිබෙන මේ පරිශ්‍රය තුළ තිබෙන බිම් ගත රථවාහන නැවතුමට නම් ඩොලර් 20ක ගාස්තුවක් ගෙවන්නට සිදුවෙනවා.
Getty centre & Museum
මම නවාතැන් අරන් හිටපු හෝටලයෙන් කුලියට ගත් වාහනයට නැග්ගා. ගූගල් සිතියමෙන් පාර අහගෙන ගියේ කැලිෆෝනියාවේ සුපුරුදු වාහන තදබදය මැද්දෙන්. වාහනය රථ ගාලේ නවත්වලා ආරක්ෂක සෝදිසි කිරීම් වලින් පස්සේ කෞතුකාගාරයට යන ට්‍රෑම් රථයට නැගුනා . වාහන පාලනය කරන අරමුණින් කෞතුකාගාරය අද්දරට පුද්ගලික වාහන ගෙන යන්න ඉඩක් දෙන්නේ නැහැ. මා රැගෙන ගිය කුඩා ගමන් මල්ල සහ කැමරාව ඉදිරිපසට තියාගන්න කියන උපදෙස ලැබුණා. ඒ කලාකෘති වලට හානි වීම් වළක්වන්න වගේම අනෙකුත් නරඹන්නට වන හිරිහැර අවම කරන්නයි.
Santa Monica කඳු අතර අක්කර 120 ක් පුරා පැතිරුණු ඉඩක පිහිටුවා තිබෙන මේ පරිශ්‍රය ඩොලර් බිලියන එකයි දශම හයක වියදමකින් නිම කරන ලද්දේ 1997 දෙසැම්බර් 16 වැනිදා. කිලෝ මීටර් එකයි දශම දෙකයි එකක දුරින් තිබෙන කඳු පාමුල වාහන අංගනයේ සිට කෞතුකාගාරයට පිරිස් ගෙනයන්නේ කේබල මගින් උඩ පහළ යන ට්‍රෑම් රටකට දෙකකින්. Richard Meier නම් ගෘහ නිර්මාණ ශිල්පියා සැකසූ මේ පරිශ්‍රය ජීවිතයේ වරක් හෝ බලන්නට වටිනා තැනක් . GRI – Getty Research Institute , GCI – Getty Conservation Institute යන ආයතන දෙකත් තිබෙන්නේ මේ පරිශ්‍රයමයි. මේ උද්‍යානය සැලසුම් කර තිබෙන්නේ රොබට් අර්වින් විසින්.(Gardener Jim Duggan and landscape architects Spurlock Poirier.)
Richard Meier
Robert Irwin
උතුර, දකුණ , නැගෙනහිර, බටහිර ලෙසින් ගොඩනැගිලි සංකීර්ණ 5 ක් , පවුල් කාමරයක් (Family Room ) , විශාල ප්‍රදර්ශන ශාලාවක් , ශ්‍රවණාගාරයක් සහිත මේ පරිශ්‍රයේ විශාල මධ්‍යම උද්‍යානයක් (Central Garden ) සහ පතොක් උද්‍යානයක් (Cactus Garden) තිබෙනවා. වාර්ෂිකව මිලියන දෙකකට ආසන්න සංචාරක පිරිසක් පැමිණෙන බවට තොරතුරු වාර්තා වන මෙහි වින්සන්ට් වැන්ගෝ ගේ චිත්‍ර මධ්‍යකාලීන යුරෝපීය චිත්‍ර, විවිධ යුගවල ගෘහ භාණ්ඩ , පැරණි පොත් අත්පිටපත් , අලංකාර වීදුරු කැටයම්, පැරණි පෝසිලේන් භාණ්ඩ , ප්‍රතිනිර්මාණය කළ යුරෝපීය රජ මාලිගා විසිතුරු ගෘහ අලංකරණ උපකරණ සේම නූතන කලාකෘති ඇතුළත් සංකීර්ණ කිහිපයක්ම තිබෙනවා.දළ වශයෙන් විවිධ අයිතම 125,000 කට වඩා මෙහිදී දකින්නට පුළුවන් බවයි කියන්නේ . මට සිහියට ආවෙ පැරීසියේ ලුවර් කෞතුකාගාරයට ගිය ගමන.
ඒ ලිපියේ බ්ලොග් සටහන් දිගුව
https://ahasgawwenehalokaya.blogspot.com/2018/07/1.html
ගොඩනැගිලි වටා ඒ මත සහ ඒ වටා තිබෙන උද්‍යාන ඉතාමත්ම දැකුම්කළුයි. මුළු පරිශ්‍රයම විවිධ හැඩතලවල ප්‍රතිමා සහ කැටයම්වලින් අලංකාරව තිබෙනවා. කලින් සඳහන් කළ පර්යේෂණ ආයතන දෙක හරහා විශාල තරුණ කණ්ඩායමකටත් කලාකරුවන් පිරිසකටත් මහත් මෙහෙයක් වන බව පෙනෙන්නට තිබෙනවා.
පෝල් ජේ ගෙටී විසින් ජීවත්ව සිටියදී ඉදි කළ මුල් කෞතුකාගාරය මේ වන විට නම් කර තිබෙන්නේ ගෙටිවිලා යන නමින්. ඒ පරිශ්‍රය තිබෙන්නේ ගෙටී සෙන්ටර් එකේ සිට පැය භාගයක තරමේ දුරින්. ඔබ ගෙටි සෙන්ටර් එකේ කාර්යාලයෙන් ලබාගන්නා අවසර පතක් මගින් එදිනම එතැනට යන්නේ නම් යළිත් රථ ගාලට ඩොලර් 20ක් ගෙවන්නට අවශ්‍ය වන්නේ නැහැ . මම ආපහු රථයට නැග්ගේ ගෙටී විලා එකට යන්නයි.ඒ තොරතුරුත් එක්ක ලබන මාසයේදී හමුවෙමු.
අනුරුද්ධ වැලිගමගේ
ගෙටී මධ්‍යස්ථානය සතියේ සඳුදා දිනවල වසා තැබෙනවා. ගෙටී විලා එක වසා තැබෙන්නේ සතියේ අඟහරුවාදා දවසේයි. ඒ හින්ද මේ දෙකම එක දවසේ බලන්න හිතනවා නම් සති අන්තය අත ඇරලා බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දවසක උදේම පටන් ගත්තොත් නිවී හැනහිල්ලේ ඒ වැඩේ කරන්න පුළුවන්. මේ ඔබට කලින් වෙන්කරවා ගැනීම් සදහා දිගුව
සේයාරූ – අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.