අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය (23)වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු (23) වැනිදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත්තේය.තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව ඊට පෙර දින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබුණි.
මේ අතර අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබුණි. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී නොසිටියේය. ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කිරීම සිදුකෙරුණි.
මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ළඟ තබාගත් බව පැවසෙන ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව පැවසෙයි.අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බව විමර්ශන නිලධාරීන් පවසා තිබේ.ප්‍රශ්නගත BMW මෝටර් රථය සොරාගන්නා ලද අංක තහඩුවක් සහිතව භාවිත කර ඇති බවත්, එය නීත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවත් විමර්ශන නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේය.
වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරින් කියා සිටියේ නීති විරෝධිව මෙරටට ගෙන්වීමෙන් පසු කොටස් දෙකක් එකට පෑස්සීමෙන් මෝටර් රථය එකලස් කිරීමක්ද සිදුවී ඇති බවයි.අනතුරුව සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ප්‍රශ්නගත මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද පැවසුවද, එම සොරකමට සිය සේවාදායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුට විරුද්ධව මුදල් විශුද්ධීකරණ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවය.එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටියේය.දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකාර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.