ආරුගම්බේ මෙන්ම දකුණු සහ බස්නාහිර වෙරළ කලාපවලින් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය ශ්‍රී ලාංකාවේ රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට පසුගිය 23 වැනිදා දැනුම් දුන්නේය.ඒ අනුව ආරුගම්බේ වෙරළතීරයට අමතරව ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන්නැයි ඔවුන් ඊශ්‍රායල පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ.එමෙන්ම වහාම කොළඹ වැනි පොලිස් ආරක්ෂාව තරකර ඇති කලාපයක් වෙත ගමන් කරන ලෙස හෝ වහාම ශ්‍රී ලාංකාවෙන් පිටවෙන ලෙස ද ඊශ්‍රායල රජය මෙම නිවේදනය මගින් ඔවුන්ට දැනුම් දී තිබුණි.මේ අතර හීබෘෘ සංකේත සහ යුදෙව් ආගම ප්‍රචාරණය කරන කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවල ඒකරාශීවීම් සිදුනොකරන ලෙසත්, එම නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.
එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය හැකියැයි විශ්වසනීය තොරතුරක් ලැබී ඇති බැවින් නැවත දැනුම්දෙනතුරු එම ප්‍රදේශයට යෑමෙන් වළකින ලෙස කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අමෙරිකානු පුරවැසියන්ට සහ මෙරට තානාපති කාර්යාලයේ නිලධාරීන්ට පසුගිය 23 වැනිදා පෙරවරුවේ නිවේදනය කරනු ලැබීය.අමෙරිකානු තානාපති කාර්යාලයේ නිවේදනය පසුබිම් කරගනිමින් ශ්‍රී ලාංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාල ද ඊට සමගාමීව රැඳී සිටින ශ්‍රී ලාංකාවේ සිය පුරවැසියන්ට නිකුත් කරන සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර ඇත.
මේ අතර විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ දැනටමත් පියවරගෙන ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළා. මේ අතර ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදු කලා.එහිදී ඔහු සඳහන් කළේ, මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවයි
ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර ඇත්තේ ඉන්දීය බුද්ධි අංශ විසින් බව පසුගිය (23)වැනිදා හෙළිදරව් විය.අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි.
එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇත.
අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණි.ප්‍රහාරය සඳහා ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ලබාදී ඇතැයිද එම තොරතුරුවල සඳහන් වේ.ඒ අනුව අදාළ පුද්ගලයන් දෙදෙනාගේ නම්ගම් ඇතුළු සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදී තිබේ.
එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මගින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තරකර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මගින් තහවුරුකර ඇති අයුරු දක්නට ලැබුණි.ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට එල්ල වන ආරක්ෂක තර්ජන පිළිබඳ බුද්ධි අංශ වාර්තා සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.
විජිත හේරත් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ මේ සම්බන්ධයෙන් අද පැවැති ජනමාධ්‍ය හමුවකදීය.එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
“මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක ලංකාවට පැමිණිලා ඉන්න සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ වගකීමක්. යම් යම් තොරුතුරු අනාවරණය වුණා. ලංකාවට පැමිණි සංචාරයගේ ආරක්ෂාවට යම් බාධා ඇතිවිය හැකියි කියලා. ඒ පිළිබද බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබීමත් එක්ක අපි වහාම ක්‍රියාත්මක වුණා. අදට හරියටම මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාසයයි. මාසය තුළ අවස්ථා කිහිපයකදීම රැස්වුණා.
“තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නා. එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල ඉදළම යොදවන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු ගැඹුරින් සාකච්ඡා කළා. බුද්ධි අංශත් පොලීසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.
සැකපිට තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. ඔවුන් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇතිකරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහය කරලා තියෙනවාද කියන එක ගැන. ඒ අයගෙන් තොරතුරු ලබාගනිමින් තිබෙනවා. ලබාගත් තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා”
.