මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විසිවෙයි.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නියෝග කෙරිණි.දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියම කර ඇති බවත් මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබුණි.පෙත්සම ගොනු කර ඇත්තේ, මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම, මැතිවරණ පනතේ විධි විධානවලට පටහැනි බව පවසමින් ය.

ඉන් පෙන්වා දී තිබුණේ, පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ 10 වැනි වගන්තිය අනුව නාමයෝජනා කැඳවීමට ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා දින නියම වූ බවයි.

මැතිවරණ පනත ප්‍රකාරව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු කාලයක් සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතු බව ද එහි දැක්වෙයි.

ඒ අනූව නාම යෝජනා භාරගැනීම අවසන් වූ ඔක්තෝබර් 11 වැනිදා සිට සති 5ක කාලය, නොවැම්බර් මස 15 වැනිදා අවසන් වන අතර, සති 07 කාලය නොවැම්බර් මස 29 වැනිදා සම්පූර්ණ වන බව පෙත්සමේ සඳහන් ය. මැතිවරණ සංශෝධන පනතට අනූව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට සහ මැතිවරණය පැවැත්වීමට නිවැරදි කාලය වන්නේ, නොවැම්බර් 15 වැනිදා සිට නොවැම්බර් 29 වැනි දක්වා බව පෙන්වා දෙන පෙත්සම්කරු, ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් එය නීතියේ ආධිපත්‍යය කඩ කිරීමක් බවත් පෙන්වා දී තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *