මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සදහන් කළේ, තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බවයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි ඔක්තෝබර් (31) වන දින නිකුත් කළ ලිපියෙන් 50 දෙනෙකුගෙන් යුත් තම ආරක්ෂක පිරිස 30 දක්වා අඩු කිරීමට නියම කර ඇති බවත් අනෙක් හිටපු ජනාධිපතිවරුන්ට 243 දෙනෙකු සහ 200 දෙනෙකුගෙන් සහ 109 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායම් ලබාදෙන බවත් තමාට පමණක් ආරක්ෂකයින් 30ක් ලබාදීමට තීන්දු කළේ කුමන නිර්ණායකයන්ට අනුව දැයි තමාට ප්රහේළිකාවක් බව හිටපු ජනාධිපතිනිය සදහන් කළාය.
විශ්‍රාමික ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් වැඩිම තර්ජන තිබෙන්නේ තමාට බවත් ඝාතන උත්සාහයකට ලක්ව තුවාල ලැබූ එකම ජනාධිපති තමන් බවත් විශ්‍රාම ලබා සිටියත් ඝාතනය කරන බවට LTTE සංවිධානය විසින් 2006 සහ 2014 යන වසරවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බව පොලිස් බුද්ධි වාර්තාවලින් තමාට දන්වා ඇතැයි ද හිටපු ජනාධිපතිනිය සදහන් කළාය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හමුදා නිලධාරීන් 63ක් සහ පොලිස් නිලධාරීන් 180කින් යුත් ආරක්ෂක නිලධාරීන් 243 දෙනෙක් සහ මෛත්‍රීපාල සිරිසේනට පොලිස් නිලධාරීන් 109ක්, ගෝඨාභය රාජපක්ෂට පොලිස් නිලධාරීන් 25ක් සහ හමුදා නිලධාරීන් 175කින් යුත් ආරක්ෂක නිලධාරීන් 200කගේ ආරක්ෂාවක් ලබාදී තමාගේ ආරක්ෂාව 50 සිට 30ට අඩුකර ඇති බවද හිටපු ජනාධිපතිනිය සදහන් කළාය.
මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට පසුගියදා එක්වෙමින් ඹහු මේ බව පැවසීය.
“දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත්කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩුකරනවා කියලා ඒක වැරදියි. එතුමියට දැනටත් 57 දෙනෙක් දීලා තිබෙනවා.” යනුවෙන් කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියා.
මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදෙන තීරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවයි.