ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් ලියාපදිංචිය තහවුරු කර ඇති එකම සංගමය ලෙස ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය ඉකුත් නොවැම්බර් 03 වැනිදා තවත් පුළුල් තලයකට පැමිණියේ වෘත්තීය ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ ප්‍රවීන විනිසුරුවරුන් ද සමග 53 දෙනකු නිල වශයෙන් සංගමයට එක්වීමත් සමගමය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ආශිර්වාදය මත 2026 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති තනතුරට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ පූර්ණ මැදිහත්වීම මත වෘත්තීය ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ව සිටි එම විනිසුරුවන් 53 දෙනා නිල වශයෙන් සංගමයට එක්වීම එදින පානදුර ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාර පරිශ්‍රෙය්දී සිදුවිය. මෙහි කැපී පෙනෙන සිදුවීම වූයේ එම වෘත්තීය විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන ලද රවීන්ද්‍ර විමලසිරි මහතා සහ ලේකම් රැන්මෝ මාටිනස් යන මහත්වරුද පසුවීමය. ඊට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරනු ලබන රුචිර පල්ලියගුරුගේ, සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුද එදිනද ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගත්හ.
ඒ අනුව ශ්‍රී ලාංකේය ක්‍රිකට් විනිසුරුන් වෙනුවෙන් ඇති එකම සංගමය බවට පත්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය තව තවත් ශක්තිමත්වී අනාගතයේදී ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ක්‍රිකට් විනිසුරුවන්ගේ සුරක්ෂිතභාවය ඇති කිරීම උදෙසා සාමාජිකයන්ගේ අදහස්වලට ගරු කරමින් ඒකමතික ප්‍රවේශයක් ගනු ඇත. අලුතින් එක්කරගනු ලැබූ ප්‍රවීන විනිසුරුවරුන් හරහා ඉදිරියේදී විනිසුරු සංගමයේ සිටින සියලුම විනිසුරුවන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමද දෙපාර්ශ්වය එක්වීමේ තවත් අරමුණක් වී තිබේ.
වසර 1944 දී ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ වැදගත්ම පරිච්ඡේදයක් ලෙස සැලකෙන 1982 පෙබරවාරි 17 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයට විනිසුරුවන් සැපයීමේ කාර්ය ඉටු කිරීම ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවී ඇත. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු ක්ෂේත්රයට ශ්‍රී ලංකා ක්‍රිකට් මැදිහත්වීම ලැබීමෙන් ජාත්‍යන්තරයට ගැළපෙන පරිදි විභාග හා වැඩමුළු පවත්වා එය තව තවත් ශක්තිමත් වූවේය. ඒ කෙසේ වුවද සියලුම ක්‍රිකට් විනිසුරුවෝ මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට අයත් ධජය යටතේ එක්රොක්ව සිටිති.
“මින් ඉදිරියට දෙගොල්ලක් කියලා හිතන්න එපා. එකම සංගමයක්, එකම සාමාජිකත්වයක් එක්ක අපි ඉදිරියට මේ ගමන යමු විනිශ්චයකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසායි” යැයි මෙම එක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියේය.
එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ පරිපාලනය මෙරට අති දක්ෂ විනිසුරුවන්ගේ මැදිහත්වීමෙන් ඉදිරියට ගිය අතර, වෘත්තීය ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයන් 53 දෙනා පැමිණීමත් සමග එහි සාමාජිකත්වය 1200 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා පුළුල්වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය ශ්‍රී ලංකාව පුරා පුළුල්වී ඇති අතර, අනුබද්ධ දිස්ත්‍රික් සංගම් 17ක සාමාජික සාමාජිකාවෝ තම ක්ෂේත්රයේ විනිවිදභාවය හා අපක්ෂපාතීත්වය වෙනුවෙන් අමිළ මෙහෙවරක නිරතවී සිටිති. එම දිස්ත්‍රික් සංගම්වල සියලු සාමාජික සාමාජිකාවන් කිසිදු බේදයකින් තොරව විනයවත් පසුබිමක් යටතේ රැකබලා ගැනීමේ වගකීම මව් සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය භාරගෙන ඇත.