කෙහෙළියගෙ බාල බෙහෙත් සිද්ධීයට හිටපු කැබිනට් මණ්ඩලයෙනුත් ප්‍රශ්ණ කරයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැර රෝගී ජීවිත අනතුරට පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවට අදාළ විමර්ශන කටයුතු සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (නොවැ. 11) නියෝග කළා ය.
එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි කෙහෙළිය රඹුක්වැල්ලට අදාළ බෙහෙත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දුන් කැබිනට් මණ්ඩලයේ සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු එවකට කැබිනට් අමාත්‍යවරුන් වශයෙන් සිටි 18 දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගැනීමට එසේ නියෝග කෙරිණි.
එම බෙහෙත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අනුමැතිය ලබා දුන් එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය දැරූ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියම කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන පළමුවන සැකකාර සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය සී.ටී.කේ. ප්‍රනාන්දු අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාව සීමාව ඉක්මවා ඉදිරිපත් කර ඇති බව ත් ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නවා ද නැද්ද යන්න පිළිබඳව ඊළඟ නඩු වාරයේදී තීරණයක් ගනු ලබන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා ය.
මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා සිදු කරන ලද ප්‍රකාශ ඇතුළත් ඡේද දෙකක් එම වෛද්‍ය වාර්තාවේ තිබෙන බව ත් එවැන්නක් ඇතුළත්වීම ප්‍රශ්න සහගත බව ද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා ය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය තමන්ගේ ඇප ලබා ගැනීමේ අයිතියට බාධා කරන බව ත් එය පෞද්ගලික පළිගැනීමේ චේතනාවෙන් කර ඇති බවට සැකකරු කරන චෝදනාවට අදාළ නිශ්චිත සාක්‍ෂි නොමැතිව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට හැකියාව නොමැති බව ද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා ය.
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගිරිහාගම මෙනෙවිය කියා සිටියේ, ඉකුත් වසරේදී නීතිපතිවරයා විසින් තමන්ව එම තනතුරට පත් කළ බව ත් තමා සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේ නම් නීතිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව ත් ය.
නඩුව ලබන 25 වන දා නැවත කැඳවීමට නියමිත අතර පළමු සැකකරු එදින දක්වා තවදුරට ත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *