නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරයෙන් වළකින ලෙසට මින් පෙර නිකුත් කර තිබූ ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇති බව එහි ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබේ.එක්සත් ජනපද තානාපති කාර්යාලය ඔක්තෝබර් 23 වැනිදා අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර තිබිණි.
එහි සඳහන් වූයේ, “ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු තානාපති කාර්යාලයට ලැබිණි. මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතළ අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට වහාම සහ නැවත දැනුම්දෙනතුරු ආරුගම් බොක්ක වෙත ගමන් තහනමක් පනවා ඇත. නැවත දැනුම්දෙනතුරු ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරයෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.” යනුවෙනි.
එක්සත් ජනපද ආරක්ෂක අනතුරු ඇඟවීමෙන් පසුව, ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය ඊශ්‍රායල ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දකුණුදිග ඇතැම් සංචාරක ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙසයි.අනතුරුව ශ්‍රී ලංකා රජය සංචාරක ව්‍යාපාරය සඳහා මෙරට ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ද දැනුවත් කළේය.ආරක්ෂක තර්ජන සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ද පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පාර්ශ්වය එක්සත් ජනපද බලධාරීන්ගෙන් ඉල්ලා තිබේදැයි කළ විමසීමකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු තහවුරු කළේ විදේශ ඇමැති විජිත හේරත් විසින් එම ඉල්ලීම සිදු කර ඇති බවයි. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා පසුගිය නොවැම්බර් 10 වැනිදා නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වූයේ ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමිනි.මෙම සංචාරයේදී ප්‍රදේශයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානය යොමුකර ඇති අතර, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් දැනට ක්‍රියාත්මක සැලැස්ම පිළිබව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලදී.ඒ අනුව එම ප්‍රදේශයේ සහ දිවයිනේ අනෙකුත් සංචාරක ස්ථානවල ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කළ බව එම අමාත්‍යාංශය පවසයි.
මේ අතර ශ්‍රී ලංකාවේ රැදීසිටින ඊශ්‍රායල සංචාරකයන්ට ප්‍රහාර එල්ල කිරීමේ වගකීම පවරා සිටි බව කියන ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ සාමාජිකයකු වන ෆර්හාඩ් ෂකේරි සම්බන්ධ හඬපට ගණනාවක් හෙළිදරව් කර ගැනීමට හැකි වී ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවතින්නේ ඉරානයේ උත්තරීතර නායකයාගේ අධිකාරිය යටතේය.ඉරාන මිලිටරි සහ ප්‍රති-බුද්ධි ආයතනයක් ලෙස ද ක්‍රියා කරන එම බලකාය 2019 වසරේ අප්‍රේල් 15 සිට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් විසින් විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.එම සංවිධානයේ සාමාජිකයකු වන ෆර්හාඩ් ෂකේරි ඉරානයේ ටෙහෙරාන් හි දැනට පදිංචිව සිටින බවට විශ්වාස කෙරේ.
ෂකේරි කුඩා කාලයේදීම එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇති අතර සොරකම් කිරීමේ වරදකට වසර 14ක සිර දඬුවම් විඳීමෙන් පසු 2008 වසරේ හෝ ඊට ආසන්න කාලයේදී පිටුවහල් කර තිබේ.ෂකේරි ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ලබාදෙන ඉලක්ක නිරීක්ෂණ කිරීම සඳහා සහ ඝාතන සිදු කිරීම සඳහා එම බලකාය වෙත පිරිස සැපයීම වෙනුවෙන් යොදාගෙන ඇත්තේ එක්සත් ජනපද සිරගෙදරදී ඔහුට හමු වූ අපරාධ සගයන්ගේ ජාලයකි.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ මීට අමතරව, එක්සත් ජනපදයේ සිටින එක්සත් ජනපද සහ ඊශ්‍රායල පුරවැසියන් ඝාතන කිරීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ශකේරි වෙත පවරා ඇති බවයි.
විශේෂයෙන්ම, ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමක් සැපයීමට 2024 ඔක්තෝබර් 7 වැනි දින ඔහුට පැවරුණු බව ෂකේරි දන්වා ඇත.ෂකේරි ප්‍රකාශ කර ඇත්තේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් නියම කරන ලද කාල රාමුව තුළ ට්‍රම්ප් මරා දැමීමේ සැලැස්මක් යෝජනා කිරීමට තමා අදහස් නොකළ බවයි.