මුහුණු (කෙටිකතාව)
සන්දීරා බස් එකේ ඇගේ ප්‍රියතම ආසනයේ වාඩි වෙලා උන්නා. දකුණු පැත්තේ තුන්වෙනි යුගල ආසනය. කවුළුව අසල. තුන්වෙනි යුගල ආසනය වෙනුවට හතරවැනි ආසනය ලැබීම ඒ තරම් ප්‍රශ්ණයක් නෙමෙයි. පස්වැනි ආසනය වුනත් තරමක් නොමනාපයෙන් දරාගන්න පුලුවනි. හැබැයි දෙවෙනි ආසනය කියන්නේ කවදාවත් හිඳ නොගත යුතු තැනක්. ඒක වෙන්කරලා තියෙන්නෙ ගැබිණි මවුවරුන්ට. එතන ඉඳ ගැනීම අනවශ්‍ය අවධානය ලැබෙන දෙයක්. සන්දීරා අකමැතිම දේවල් අතරෙ ඉහළින්ම තිබුන දෙයක් තමයි “අනවශ්‍ය අවධානයට ලක්වීම”.
සන්දීරා අකැමති දේවල් බොහොම දිග ලැයිස්තුවක් තිබුනා. මේ මොහොතත් ඒ අකැමති ලැයිස්තුවේ ඉහලින්ම තියෙන දෙයක්. අකැමති රස්සාවකට – අකැමති නගරයක, අකැමති වාහන තදබදයක් මැද, කැමතිම අසුනේ ඉඳගෙන ගමන් කිරීම. ඒත් එක්කම ඈට මතක් වුනේ දුම් අංශු තැවරුන කොළඹ දූවිලි හුළඟටත් තමන් අකැමති බව. හුළඟ හැමවෙලේම උත්සාහ කරන්නේ හෙයා ස්ප්‍රේ තවරලා එක්තැන් කරපු කෙහෙ කැරලි එකක් හරි ගලවලා නළලට ඇද දාන්න. ඒ වෙනුවෙන් හුළඟ විනාඩි ගණනාවක් එක සීරුවට මහන්සි වෙනවා. බැරිම තැන පරාජයේ ලැජ්ජාව වහගන්න හිතාගෙන ඇහැට වැලි අහුරක් ඉහලා පැනල යනවා.
ඉතින් ඈ කවුළුව වහල දැම්මා. කොහොමත් කවුළු තියෙන්නේ ඇස් දෙකයි හිතයි පාර දිගේ දුවවන්න මිසක හුලං වදින්න නෙමෙයි.ඈට එහා පැත්තේ උන්නු මැදි වයසේ පිරිමියා පැහැදිලි “චුක්” හඬක් නගමින් වහපු කවුළුව ආයෙමත් විවර කලා. ඔහුගේ වැලමිටක් තමන්ගේ දකුණු පියොවුරේ වැදුනේ වැරදීමකින් වෙන්න ඇති කියල සන්දීරා හිත හදාගත්තා.ආයෙමත් අර වේලිච්ච හුලඟ. පිරිමියා ගැන හිත ඇතුලෙ බුබුලු දාන තරහවක්. පියොවුරු ස්පර්ශ වීම වුනත් අහම්බයක් වෙන්න බැහැ. මහ නොසන්ඩාල, අසික්කිත මිනිහෙක්. ඈට පිරිමියාගේ දකුණු කන පිටුපසට වෙන්න තැනින් තැන පැලවෙච්ච සුදු කෙස් ගස් පේනවා. පොඩි අතපසුවීමකදිත් පැය ගණන් දේශන පවත්වන, වැරැද්දක් වුනොත් කවුන්ටරය ඉදිරියේම පුපුරා හැලෙන, අතිකාල දීමනා අනුමත නොකරම හැන්දෑ වෙනකල් වැඩ කරන්න බල කරන බැංකු කලමනාකරුගේ හිසත් මේ වගේමයි. තැනින් තැන අපිළිවෙල සුදු කෙස්.
විය යුතු පරිද්දෙන්ම සන්දීරා බැංකු රස්සාවට කැමති වුනේ නැහැ. ඒත් ඈ හොඳ ක්‍රිස්තියානි පවුලක දැරියක්. ඉගෙනගත්තෙ සුදු පරෙවියෙක්ගේ ලාංඡනය සහිත කන්‍යාරාමයක. ඉතින් දෙමව්පියන් තෝරා බේරා දෙන දේවල් අවිවාදයෙන් යුතුව පිළිගන්න පුරුද්ද ඇගේ ලේ නහර වලට කා වැදී තිබුනා. බැංකු රස්සාව එවැනි තෝරා දීමක්. වැදගත් රස්සාවක්. සාරි ඇඳන් වැඩට යන්නෙ. බැබලෙන පටි සහිත අඩි උස සපත්තු.
කොල්ලුපිටිය පැත්තට ඇදෙන ඝන වාහන දුමාරය තරණය කරලා ඈ නිල් පැහැ ටයිල් ඇල්ලූ පඩිහතර පහු කලා. අසීරු සිනහවක්. උදෑසන කියන්නේ අසීරුවෙන් වුනත් හිනා වීම අත්‍යාවශ්‍ය වෙලාවක්.
‘ගුඩ් මෝර්නින්ග් සර්!’
‘ගුඩ් මෝර්නින්ග්!’
‘මෝර්නින්!’
‘මෝනිං!’
ඊළඟට එළැඹෙන්නේ පෝලිමට ඇවිත් තමන්ට කරදර කරන මිනිස් ගංගාවට කිසිම වෙනසක් නොපෙන්වා සිනාසීමේ දීර්ඝ පැය අටක කාලය. උදේ දහය විතර වෙනකම් තදබදය වැඩියි. දහයයි තිහ කියන්නේ ඇස් ආලේපන සහ තොල් ආලේපන අලුත් කරගන්න සුදුසු වෙලාව.
පෝලිමට එකතු නොවී බිත්තියට හේත්තු කර තියෙන දුඹුරු පැහැ කුශන් පුටුවල වාඩි වී ඉන්න ගෑනු මිනිස්සු කියන්නෙ අමුතු දසුනක් නෙමෙයි. ඒත් නුහුරු ගතියෙන් පුටුවෙන් බාගෙක වාඩි වෙලා ඉන්න කෘශ ගැහැණු සිරුර අසාමාන්‍ය දසුනක් බව දැනුනේ ඈ එතනට ඇවිත් පැයකටත් වැඩි බව හදිසියේම සන්දීරාට මතක් වීමත් එක්ක.
තදබදය යම් තරමකට තුනී වේගෙන එනකොට ගැහැණියගේ විමසිලිමත් ඇස් කවුන්ටරයෙන් කවුන්ටරයට ගමන් ගන්න හැටි පැහැදිලිව පෙනුනා. වම් කෙලවරේ සිට දකුණට. ආයෙමත් වමට. පලින් පල මද තිගැස්මකින් යුතු ඇහිබැම සැලීමක්ද සහිතව.
ඇස් එහා මෙහා ගමන් කල එකොලොස් වැනි වාරයේදී සන්දීරා ඇගේ ඇස් අල්ල ගත්තා. අගුළු ලා ගත්තා කීවොත් තමයි වඩා නිවැරදි. දිගැටි මුහුනේ විඩාපත් සිනහවක් මතුවුනා.
දෙවරක් හිස සැලීමක්. එයින් තත්පර කිහිපයකට පස්සෙ කෙසඟ සිරුරැති ගැහැණිය ඈ ඉදිරියේ හිටගෙන උන්නා.
“ඇයි?”
“මනෝහරී? මනෝහරී මැඩම් එන්න තව පරක්කු වේවිද?”
“මනෝහරී මැඩම්?”
“හ්ම් ම්හ්! තළෙලලු, උස. මනෝහරී මැඩම්. වම් පැත්තෙ ඉඳන් තුන්වෙනි පුටුවෙ වාඩි වෙන්නෙ.”
‘ඔහ්! එයා හදිස්සියෙම නාරාහේන්පිට බ්‍රාන්ච් එකට මාරු වුනා නෙ. මේ.. මේ… මං කියන්නේ, එයා දැන් මෙහෙ නෑ.”
කෙසඟ සිරුරැති ගැහැණිය ආපහු යන්න වගේ ආපිට හැරුනා.
“පොඩ්ඩක් ඉන්න. මොකද්ද නම?”
“ඉයුජීන්.”
“බැංකුවෙන් කෙරෙන්න වුවමනා දෙයක් ඇත්නම් කියන්න. අපිට පුලුවනි උදව් කරන්න.”
කෙසඟ ගැහැණිය එකෙල මෙකෙල වෙන අතරේ තමන්ගේ කවුන්ටරය ඉදිරියේ පෝලිම් ගැසී හුන් තරුණියන් තිදෙනෙක් අනිත් කවුන්ටරයේ පෝලිමට එකතු වෙනවා සන්දීරා දැක්කා. ඉක්මන් කරන්නැ’යි කියන්න හිතාගෙන ගැහැණියගේ මුහුණ දිහා බලපු ඈ මොහොතකට ගල් ගැසුනා. සිය ගණනක් රේඛා සහ පැල්ලම් ඇගේ කම්මුල් මත ඉල්පෙමින් එකකට එකක් නොපරදින නෝක්කාඩු දහස් ගණනක් මුමුණමින් උන්නා. ඒ කිසිත් නොදන්නා විදියට ඉයුජීන් තමන්ගේ අත් බෑගය අවුස්සනවා.
“පාස් පොත” ඈ වෙවුලන සුලු අතැඟිලි වලින් පැරණි බැංකු පොතක් වීදුරුව දිගේ මෙපසට තල්ලු කලා. එතුල වූ මුදල් ආපසු ගැනීමේ ලියැවිල්ලේ ‘රුපියල් හත්සිය හැත්තෑවක් පමණයි’ යනුවෙන් සටහන්ව තිබුනා.
සන්දීරා ඇගේ ගිණුම් දත්ත කියවා බැලුවා. එහි තිබුනේ රුපියල් නමසිය විසි තුනයි ශත ගණනක්. අනිවාර්යය තැන්පතුව වන රුපියල් තුන්සියය ඉවත් කල පසු ඉයුජීන් වෙනුවෙන් රුපියල් හත්සිය හැත්තෑවක් නිකුත් කරන්න බැහැ.
සන්දීරා නැවත වරක් හැඳුනුම් පතේ වූ හඬන්නට ආසන්න ඉදිමුණු මුහුණත්, තමා ඉදිරියේ හිස පසකට ඇල කරගෙන ඉන්නා ගැහැණියගේ දිගැටි, වියළුණු මුහුණත් සංසන්දනය කර බැලුවා. ඈ ඇඬුම්බර මුහුණුවලට අකැමතියි. ගැහැණියගේ කඳුළු වියළී තිබීම ඈට ලොකු සතුටක් වුනා.
‘මේ මුදල ලබාදෙන්න හැකියාවක් නෑ.’ කියලා කියන්නයි සන්දීරාට වුවමනා වුනේ. ඒත් ඈ අහලා තිබුනේ “ඔයාට මේ වගේ ගානක් වුවමනා උනේ මොකටද?” කියලයි.
අසරණ සිනහවක තැනින් තැන මතුවුන කහට පැහැ දත්.
“පොඩි පුතාට. පේමන්ටෙකේ, පාර එහාපැත්තෙ පේමන්ටෙකේ අවුරුදු සේල් දාල ඉස්කෝල බෑග් විකුණනවා. රුපියල් අටසීයක් කියලයි කියන්නෙ. වැඩිපුර තිහක් තියෙනව අතේ. මනෝහරී නෝන මාව දන්නවා, ඔව්.”
සන්දීරා ආයෙමත් ‘මේ මුදල ලබාදෙන්න හැකියාවක් නෑ.’ කියන්න ගියේ, ඒත් ඈ කියල තිබුනේ “මම ලොකු මහත්තය එක්ක මේ ගැන කතාකරල එන්නම්.” කියලයි.
‘නීතියෙන් බැඳී සිටිනවා’, ‘නොවැදගත් ප්‍රශ්ණ පුම්බවා ගැනීම’, ‘රාජකාරීමය ඇහැකින් බැලීමේ නොහැකියාව’ වගේ වාක්‍යාංශ වරින් වර වීදුරු දොර අතරින් පිටතට ඇහුනා. ඉයුජින් ඒ දිහා හිස් බැල්මෙන් බලා උන්නත් සන්දීරාට නම් දැනුනේ කළමනාකරුගේ වායුසමීකරණය කල කාර්යාල කාමරය උණු වී වැගිරෙනවා වගේ.
සන්දීරාට එතැනින් පලා යන්න වුවමනා උනා. අකැමති හැමදේකින්ම ඉවත් වෙන්න. ඒත් ඈට තෝරාගැනීමක් කරන්න පුරුද්දක් තිබුනේ නැහැ. මේ දක්වා සියල්ල සිදුවුනේ අනිච්චානුගව. ඇගේ මෙහෙයවීමක් නැතිවම. ඉතින් ඈ උපන් දා ඉඳන් හැඩගැසී තිබුනෙත් එහෙම.
ඒත්, ඉයුජින්ගේ දැල්වෙන ඇසුත්, කතන්දර දහස් ගනනක් සඟවාගෙන සිටි රැලි වැටුන දෙකොපුලත් දකිනකොට සන්දීරාට නොදැනුවත්වම අත් පසුම්බියට එබුනා.
“ඇයි රුපියල් අටසීයක්?” කියන ප්‍රශ්ණෙ ඉදිරිපත් නොවීමම ලොකු සහනයක්.
සන්දීරා විවේකාගාරයට ගිහින් ලහිලහියේ නෙත් ආලේපන සහ තොල් ආලේපන අලුත් කලා. මහත් තෘප්තියකින් ඇගේ හදවත ඉපිලෙන්නට අරන්.
****************************
හරියටම පැයක් ගතවුන තැන, ඉයුජින් වෙනත් බැංකුවක වෙනත් ශාඛාවක අසුන්ගෙන හිටියා. ඇගේ අතේ වූ මුදල් ආපසු ගැනීමේ ලියැවිල්ලේ “රුපියල් අටසිය පනහක් පමණයි” යනුවෙන් සටහන්ව තිබුනා.
යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )
බස්සීගේ නවාතැන https://bassigenawathana.blogspot.com/ බ්ලොග් අඩවිය
* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර කිහිපයක්
හෝඩියේ පන්තියේ ටීචර්
හෝඩි පන්තියේ අවුරුදු තුනක් සිටි මම හෝඩියේ සිටි තුන් වැනි අවුරුද්දේදී පාසැල් ගමන නතර කර දැමුවෙමි. මගේ බලාපොරොත්තුව උනේ හීන් බණ්ඩා මෙන් හරක් රංචුවක් බලා කියා ගෙන වෙල් දෙනි වල ඇවිදිමින් නිවී සැනසිල්ලේ සිටීමටය. එහෙමත් නැත්තම් දාස මෙන් ගොල්ෆ් පිට්ටනියේ බෝල ඇහිඳින අත් උදව් කාරයෙකු වන්නටය. එත් මගේ අනාගත සිහින බිඳ වැටුනේ අපේ අම්මා නිසාය. අනෙක් අතට මට හෝඩියේ පන්තියේම අවුරුදු තුනක් ඉන්නට වුනෙත් අපේ අම්මා නිසාය.
මම ඉස්සෙල්ලම හෝඩියට ගියේ අවුරුදු හතරෙනි . හෝඩි පන්ති බාර ගුරුතුමිය අපේ අම්මාය. නම් ලැය්ස්තුව කතා කරන විට අම්මා මගේ නමද කියවය්. මම ආඩම්බරෙන් ‘ඉන්නවා’ යැය කියමි. අනෙක් සියලු දෙනාම තමන්ගේ නම කතා කරන විට ‘ඉන්නවා’ කිව්වේ ලජ්ජාවෙන් ඇඹරෙමින් මුත් දැඩි සන්තොශයකිනි. මම අනුකරණය කරමින් අපේ පන්තියේ ළමයින් සියලු දෙනාම අපේ අමමාට ‘අම්මා’ යැය් කීවෝය. එත් මගේ පළවෙනි බලාපොරොත්තුව කඩ වුනේ අනිත් සියලුම ළමයන් දෙකේ පන්තියට පාස් වෙද්දී මට හෝඩියේම ඉන්නැය් අම්මා ඉල්ලු දවසේදීය. අම්මාත් හෝඩියේම සිටින නිසාත් දෙකේ පන්තියට නියමිත පොත්ද මට ලැබුණු නිසාත් මම ඒ යෝජනාවට ටිකින් ටික අනුමැතිය දුන්නේම්.
තවත් අවසනාවන්ත දවසක් උදා වුනේ මම හෝඩියේ සිටි දෙවැනි අවුරුද්දෙදීය. අම්මා අසනීප වූ දවසක මට තනියම ඉස්කෝලේ යන්නට සිදු විය. එදා පන්තියේ නම් ලැය්ස්තුව ලකුණු කලේ වෙනත් ගුරුවරියකි. ඇය ලැය්ස්තුව කියවා හමාර කළද මගේ නම කියවුනේ නැත. මම මහා හඬින් හැ ඩු වෙමි. තැති ගත් ගුරු තුමිය නැවත ලය්ස්තුව පීරා බැලුවාය. ‘ ඔයාගේ නම මේකේ නෑනේ’ . මගේ පපුව හෝස් ගා පත්තු විය. මගේ බෙරිහන් දීම නතර කිරීමට බැරි වූ නිසා ලොකු පන්තියක ළමයන් දෙදෙනෙක් සමග මාව ගෙදර අරලන්නට සිදුවිය.
පසුව මා දැනගත් පරිදි ඉස්කෝලේ බාර දෙන වයසට කලින් අම්මා සමග මා පාසල් ගොස් තිබු අතර ඊළඟ අවුරුද්දේදී ළමුන් පාසල් භාර දෙන වයසද අවුරුදු පහ නොව හය ලෙස වෙනස් වී තිබිණි. ඒ නිසා අම්මාට අවුරුදු දෙකක් මාව නිකන් පාසැලට එක්කරගෙන එන්නට සිදු විය. අපේ අම්මා මගේ නම කියවා කර තිබුනේ අහිංසක බොරුවකි.ඊ ලඟ අවුරුද්දේ අම්මා මාව ඇත්තටම ඉස්කෝලයට භාර දුන්නාය. ඒ මගේ හෝඩියේ පන්තියේ සිටින තුන් වෙනි අවුරුද්දය්. අවුරුදු ගානක්ම පාසැල් ඇවිත් සිටි නිසා මම පුංචි ‘පොරක්’ වී සිටියෙමි.
ඒ පාසැල පටන් ගත ජනවාරි මාසයේ මුල් සතියය්.
අපේ පාසැල ඉදිරිපස පාර තද බැවුම් සහිත පටු එකක් විය. පාරේ ඉබි ගමනින් කන්ද නගින පරණ හමුදා බසයක් මගේ නෙත ගැටුනේ උදේ විවෙකයේදීය. තවත් තක්කඩි පැන්චන් පිරිසකට කතා කර ගත් මම බස් එක පස්සේ දිව්වෙමි. ටිකදුරක් එහි පිටිපස ඉනිමග දිගේ එල්ලී යන්නටද අපට පුළුවන් විය. වහා බස් එක නතර කළ හමුදා බටයන් අපිට සැහෙන තරවටු කර, අපව පාසලට ගෙන ගොස් බාර දුන්හ.එය ඉතා බර පතල වරදක් විය. අම්මා නඩුව ඇසුවාය ඉස්කෝලේ මිදුලේ පේලියට දන ගසා ගෙන සිටියා මදිවාටවේවැල් පහරවල් කීපයක් කන්නටද මට සිදු විය. මේ සිද්දිය මා කෙතරම් කම්පනයට පත් කළාද යත් ඒ මොහොතේම ගෙදර දුවගෙන ආවේ නැවත කිසි දාක පාසල් නොයන දැඩි තීරණයකිනි.
එදා සිට දවස් ගණනාවක්ම මාව සෝදා කවා අන්දවාගෙන පාසැල් හැරලන අම්මාගේ අත ලිහිල් වූ සැනින් මම ගෙදර දුවගෙන ආවෙමි. ආච්චිලගේ ගෙවල් පැත්තේ රවුමක් ගියෙමි. බත්කූරන් පස්සේ ගියෙමි. කොට්ටෝරුවන් හා ඇති කුකුලන්ගේ හඬ අනුකරණය කරමින් ඇවිද්දෙමි. ගඩා ගෙඩි කමින් මහා අනාර්ග කාලයක් ගෙව්වෙමි. මාසයක් ගත විය දෙකක් ගතවිය. පාසැල් ගමන ඇත හැර තිබූ දාසත් හීන් බණ්ඩාත් මා සමග මිතුරු වුයේ මේ කාලයේදීය.
දැන් අවුරුදු නිවාඩුවට කලින් සතියය්. අම්මා මට පෙනෙන්නට මහා උත්සවයකට සරසේන්නීය.ඒ වාර අවසාන විබාගයේ තෑගි බෙදා දීමේ උත්සවයටය්. තාත්තා සමග මට ඇහෙන්නට ඒ ගැන නිතර කියවය්. පන්තියේ පළ වැනියා වන්නට සිටින සුනිල්ගේ දස්කම් ගැනත් ඊට නොදෙවෙනි හපනෙකු වන ගාමිණී ගැනත් කියය් . බ්‍රිස්ටල් බෝඩ් ලස්සනට කපා පාට පැනින් සරසා සහතික පත්ද සාදා අවසානය. ඒවා මට පෙනෙන්න්නට මේසය මත තබා තිබේ. සහතික පත් වල නම් ලියන්නට ඉඩ ඉතිරි කරලාය .
හෝඩියේ වාර විබාගය දවසේ අම්මා ඉස්කෝලේ යන්නට සුදානම් වී බලන විට මමද හැඳ ගෙනය. මොකුත් නොකියාම තනියෙන් සිනාසෙමින් මාවත් අතින් අල්ලාගෙන අම්මා පාසැල් ගියාය.විබාගයට ආ චිත්‍රය පාට කිරීමටත්, අකුරු බලාගෙන ලිවීමටත් මට වැඩියෙන්ම ලකුණු තිබුණු අතර පැමිණීමට ලකුණු අඩු වූ නිසා පන්තියේ පළවැනියා වන්නට බැරි විය. එත් එදාය්න් පසු මට පැමිණීමටද පළවෙනි තැන ලැබුණි .
ලොකු කන්තෝරුවල රැස්වීම් මැද ඒකාකාරී දවස් ගෙවෙද්දී දාස හා හීන් බණ්ඩාගේ ලෝකයේම ඉන්නට තිබුනානම් හොඳ යය් මට හිතෙන වෙලාවල්ද තිබේ. එත් හෝඩියේ පන්තියේ ගුරුතුමියගේ ආදරබර සම්යක්ප්‍රයෝග මතක් වෙද්දී පළවෙනියාම නොවී පලා යන්නට මගේ සිත ඉඩ නොදේ .
බාබර් උන්නැහේ කෙනෙක්
1987 අවුරුද්දේ අග හෝ 88 අවුරුද්දේ මුල දවසක සුපුරුදු පරිදි සරසවිය හිටි හැටියේම වසා දැමිණි. රැ කෝච්චියෙන් ගෙදර යන්නට තීරණය කළ මම කල් වේලා තිබු බැවින් නුවර පැත්තේ ගියෙමි. මුලින්ම කුඩා සැලුනයකට ගොඩ වුනෙමි .එහි සිටියේ එකම එක කරණවෑමියෙකි .ඔහු මැදි විය ඉක්මවමින් සිටි නූස් පුද්ගලයෙක් විය.
ඔහුට දේශපාලන දැනුමක් තිබෙන්නට නුපුළුවන. අපගේ කතා බහ හෝ බරපතල විහිලු තහළු ඔහුට නොතෙරෙනු ඇත. මේ ආදී මගේ පූර්ව නිගමන වලට අනුව ඔහුගේ කිසියම්ම විශේෂත්වයක් මට නොපෙනිණි.
මම කොණ්ඩය කපන්නට වාඩි වූ විට රැවුලදැය් කොණ්ඩයදැයි ඔහු අසුවේය .එවිට මම ‘කොණ්ඩේ විතරයි ‘ කියා උස් හඬින් කිව්වේ මගේ රැවුල කපන්නට ඔහු සිතු එකත් වැරදි බව අඟවන්නටද එක්කය.මා කී දෙයට හිස සලා එකඟ වුනත් ඔහු පනාවත් කතුරත් අතට ගත්තේ එතරම් මනාපයකින් නොවේ .
විනාඩියක් යන්නටත් මත්තෙන් ඔහු නැවතත් මාව කේන්ති ගැස්සුවේ මෙසේ කියමිනි ‘ ඒ වුනත් මහත්තයෝ රැවුලත් කපා ගත්තොත් හොඳය් නේද ? .
මම එකඟ නොවුනා මෙන්ම මා ඉදිරියේ කන්නාඩියෙන් පෙනෙන ඔහුගේ මුහුණ දෙස රළු බැල්මක්ද හෙළුවෙමි . එවිටම බිත්තියේ එල්ලා තිබු දුර්වර්ණ දැන්වීමක් මගේ නෙත ගැටිණි
මහතුන්ගේ කොණ්ඩය කැපීමට රුපියල් දහයයි, රැවුල බෑමට රුපියල් පහයි
‘ මොහු මේ සැරසෙන්නේ කලාතුරකින් ආ එකාගෙන් උපරිම ගානක් කපාගන්නටය. මම අහු වෙයි ඕවට!’
මගේ සිතුවිලි තේරුම් ගත්තාක් මෙන් ඔහු මෙසේ කිව්වේය . ; ‘මම කිව්වේ මහත්තයෝ දැන් රටේ තොටේ වෙන දේවල් දැකල. ඉස්සරහට රටේ කරදර තව තව වැඩි වෙයි කියල මගේ හිත කියනවා. දැන් බලන්න අදත් ගලහ හන්දියේ කඳුළු ගෑස් ගහලා .කැම්පස් වහල නේද?’
මේ යකා එකත් දැනගෙන ! මම හිතුවෙමි.
කෙස් ගසින් ගස පරිස්සමට කපද්දී , අපේ පරපුරේ පොදු දුර්වලතාවයක් ලෙස ඔහු දුටු අධි තක්සේරුවටත්, අනුන්ගේ මතයක් ගරු නොකරන හිතුවක්කාර කමටත් සියුම් ලෙස දෙහි කැපුවේය.
මුලින් මහත්තයා වූ ඔහුගේ ඇමතුම මල්ලී , පුතා ලෙස වරින් වර වෙනස් විය.
‘පුතා මම ගැන වරදවා හිතන්න එපා මටත් ලොකු මහත් වෙච්ච දරුවෝ ඉන්න නිසා කියන්නේ,
මේ වගේ කාලෙක රැවුල වවන එක වුනත් අවදානම්’.
ඔහුගේ වදයෙන් බේරීමට බැරි වූ තැන, මාස කීපයකට පෙර රැග් සීසන් එක ඉවර වූ දා සිටම පරිස්සමින් වැවු මගේ එළු රැවුල කපා දමන තෙක් ඉවසා සිටියෙමි.
අවසානයේ ඔහුගේ ගාස්තුව වන රුපියල් පහළොව දෙන්නට සුදානම් වෙන විට රැවුල අහිමි වීම පිලිබඳ දුකක් තිබුනද ඔහු පිලිබඳ එතරම් කහටක් මගේ හිතේ නොතිබිණි. මට සල්ලි දෙන්නට ඉඩ නොතබාම ඔහු ඉතා දැඩි ලෙස මෙසේ කීවේ ඔහු ඉදිරියේ මා කුරුමිට්ටේකු බවට පත්කරමිනි.
සල්ලි එපා !!
ඔහු එයට මෙවැන්නක්ද එක් කළේය
‘මහත්තය පරිස්සමින් ගෙදර යන්න අම්මලා බලාගෙන ඇති ‘
කිතුල් හකුරු
සිකුරාදා නිවාඩු දවසේ මා බලන්නට ආ මිතුරාට කිරි කහට සමග ගෙදරින් ඒවා තිබු කිතුල් හකුරු කැබැල්ලක් දුනිමි. නිතරම රටඉඳි කමින් තුර්කි කෝපි බොන ඔහු , ජීවිතයේ මුල් වරට කෑ කිතුල් හකුරු කැබැල්ලේ රසයෙන් පිනා ගියේය.
මගේ ප්‍රියතම ගස කිතුල් ගස බවත් ප්‍රියතම මල කිතුල් මල බවත් ඔහුට කියන්නට ඕනෑ වුනත් සංස්කෘතියක කොටසක් වෙනත් භාෂාවකට පෙරළන්නට මා නොදත් නිසා කර බා ගතිමි. . ඒ වෙනුවට මම කළේ ඔහු නික්ම ගිය පසු සුපුරුදු පරිදි නොස්ටැල්ජික් චාරිකාවේ යෙදීමය්.
කිතුල් යන වචනය පවා මට මෙතරම් ආශ්වාදනීය එකක් වන්නේ අනුවේ අවුරුද්දේ මා විදුසරට ලියු ‘කිතුල් ගැනම වූ පිටු දෙක තුනක සතියේ විශේෂාංගය නිසාම නොවේ.කිතුල් ගැන කතා කරමින් මහැදුරු නිමල් ගුණතිලකයන් හා ගැමුණුලා අප්පච්චී සමග ගෙවූ රස බර සැන්දෑවන් කිහිපය නිසාමද නොවේ
ඇත්තෙන්ම ඒ පසු පසින් තිබෙන බලගතුම හේතුව නම් නමුනුකුල කඳු පාමුල පිහිටි සුන්දර ගම්මාන පිලිබඳ මතකයය්.මගේ ප්‍රාණ සම මිතුරා වූ ගැමුණුවාගේ ගම හමු වන්නේ නමුනණුකුල කඩ මන්ඩියේ සිට එක සීරුවට හැතැප්ම කිහිපයක් පල්ලම බැස්සාට පසුවය . එම ගම්මානය පුරා නැවුම් කිතුල් පැණි සුවඳක් නිරන්තරයෙන්ම පැතිරෙමින් තිබිණි. මනස්කාන්ත භූමි දර්ශණ නිසාත් ගම මැදින් ගලා ගිය සොඳුරු ගඟුලැල්ලේ පහස නිසාත්, ඔය සියල්ලටම වඩා එහිදී නිතර දැනුණූ මිහිරි කිතුල් පැණි රසය නිසාත් කාන්දම් බලයකින් මෙන් මියනකඳුර ගමට අපව ඇඳ බැඳ තබා ගෙන තිබිණි .
එහි ගත කළ දිනවලදී උදේට ලොකු එලකිරි වීදුරුවක් සමග අග්ගලාවක තරම් හකුරු ගුලියක් ලැබුණු අතර හවස තේ වෙලාවට පීරිසියකට දැමු කිතුල් පැණි සමග තවරා කන්නට පොල් රොටී හෝ කුරක්කන් රොටී පළු දෙකක් ලැබුණී. පැසුණු කිතුල් රා ගැන මම මෙහි කිසිත් නොලියමි.
එහෙත් කිතුල් රා යන වචනය සමග මට සිහියට නැගෙන ලොක්කම්මාගේ කතාව නම් නොලියා සිටීමට අපහසුය.
ලොක්කම්මාගේ සරු ගෙවත්තේ තිබු කිතුල් ගස් හතඅටෙන් අඩුම තරමේ දෙක තුනක් වත් ගැබ්බර නොවී තිබු දවසක් කාටවත් මතක තිබුනේ නැත. කවුරුන් හෝ ලවා අලුතින් පීදුණු කිතුල් මලක් බෙහෙත් තබා ගත් පසු මාස ගණනාවක් ඉන් නොකඩවා වෑස්සෙන ප්ලෝයම සාරය, උණු කර කිතුල් හකුරු හා පැණි සාදා ගැනීම වෙනම කුස්සියක් තිබිණි. ඒ පැණි කුස්සියය්. ඊට මදක් ඔබ්බෙන් තිබු දර මඩුවේ තම සැමියා විසින් හොර රහසේ පැසෙන්නට තබන තෙලිජ්ජ මුට්ටිය ගැන ලොක්කම්මා දැනුවත්ව සිටියාය. කොහොමටත් අනලස් ප්‍රියමනාප පුද්ගලයෙකු වූ ලොක්කප්පා හැන්දෑ වෙද්දී වඩාත් විනෝදබර මිනිසෙකු බවට පත්වීමේ රහස ඇත්තේ මේ මුට්ටියේ බවත් දැන සිටි නමුදු රහමෙර පානය පිලිබඳ දොසක් මිස අනුබලයක් නම් ඇයගෙන් ඔහුට නොලැබිණි.
මේ නය්න් සරුසාර වූ ලොක්කම්මලාගේ සරල ලෝකය ඉතා අවිහින්සකද විය.
ඒත් ලොක්ක්කම්මලා ගෙදරටද පොලිසියෙන් ආවෝය. එදා ගෙදර සිටියේ චුටා විතරමය .
‘කෝ ළමයෝ මේ ගෙදර මහා මිනිස්සු?’
‘අප්පච්චි ගමනක් ගියා අම්ම කුඹුරේ’ .චුටා තැති ගත් ස්වරයෙන් බයාදු ලෙස කිව්වේය.
ඉන්පසු ගේ වටේ වටයක් කැරකුණු පොලිස් රාළහාම්ලා දෙන්නා කෙලින්ම ගියේ දර මඩුවටය්. දර මඩුවේ අඟලක් නෑර අවුස්සා බලු ඔවුන් චුටාගෙන් පාර අසා ගෙන පිටත් වුනේ ලොක්කම්මා මුණ ගැසීමටය . ගෙට පිටුපසින් හරිත වර්ණ පඩි පෙළක් මෙන් ඉහළට ඇදුනු හෙල්මළු ලියදි නගිමින් ලොක්කම්මා එළවලු පැලවලට සාත්තු කරමින් සිටි ලියද්ද්ටම ගොඩවූ ලොකු රාලහාමි මෙසේ කීවේය.
‘ අම්මේ උඹලා ගෙදර රා පෙරනවා කියල ආරංචියය් . මනුස්සය ආවම පොලිසියට එන්න කියපන්.
එඩිතර ගැහැනියක වූ ලොක්කමමා මේ කතාවට දැක්වුයේ රලහාමිලා කිසි සෙත් බලපොරෝත්හු නොවූ ප්‍රතිචාරයකි
‘”රාලහාමි ඕක අනිවාර්තයෙන්ම කවුරු හරි ඉරිසියා කාරයෙක්ගේ කේලමක්.
අපි ගොවිතැනක් බතක් කරගෙන කාටවත් අත නොපා අපේ පාඩුවේ ඉන්න මිනිස්සු. මගේ මිනිහනම් කීයටවත් පොලිසි ගානේ එවන්නේ නෑ .රාලහාමිලා රාජකාරියක් බලාගෙන යන්න”.
මේ ගරු සරුවකින් තොර කතාවෙන් කිපී පසු බා ගියත් ලැබුණු ඔත්තුව එහෙමට වරදින්නට පුළුවන් එකක් නොවූ නිසා ඔවුන් දෙවන වතාවටත් ගොස් නතර වුනේ දර මඩුව ළඟය.
ඔබ මොබ ඇස් කරකවමින් සිටියදී මඩුව පිළිකන්නේ හණ පතුරු මිටියක් අස්සේ හංගා තිබු මුට්ටි පොඩිය එකෙකුගේ උකුසු ඇසට අසු විය.
පැසී උතුරන තෙලිජ්ජ මුට්ටිය මෙන් සතුටින් උතුරා යන මුහුණින් යුතුව නැවතත් හෙල්මළු ලියදි නගිමින් ඔවුන් ලොක්කම්මා ලඟට ගියේ කට සැර අම්මණ්ඩියට පාඩමක් උගන්වන්නටය .
‘අම්මේ උඹ දැන් මොකක්ද කියන්නේ?’ අසමින් ලොක්කම්මාගේ දෙපාමුල නඩු භාණ්ඩය තැබූ ලොකු රාළහාමි ඉණට අත් දෙක තබා ගෙන බලා හිටියේ මේ ගැහැණිය දැන් දැන් තමන් ඉදිරියේ පින්සෙන්ඩු වෙන හැටි බලන්නටය.
ඒත් එවැන්නක් සිදු නොවිණි . මේ දෙස බය බිරාන්තව බලා සිටි චුටා පසු කලක කිව්වේ එය එදා මෙදා තුර තමා දුටු රසවත්ම ජවනිකාව බවය්.
‘රටේ මංකොල්ල කාරයෝ මිනී මරුවෝ නැතුවටද රාලහාමි කොහෙන්දෝ හුලිජ්ජ මුට්ටියක් උස්සගෙන ආයෙත් පාරක් ආවේ ?’ කියා බෙරිහන් දෙමින් ඉදිරියට අඩියක් තැබූ ලොක්කම්මා මුට්ටියට වැරෙන් පා පහරක් දුන්නාය.
මේ අනපෙකිෂිත පහරින් පසු මුට්ටිය හෙල්මළු ලියදි දිගේ පෙරලි පෙරලී ගොස් නියරි ගැටිත්තක වැදී කැබලි වී ගියේය.
මුට්ටිය පල්ලමට පෙරලී යන වේගයෙන්ම රාළහාමිලාගේ රාජකාරී තේජසද පල්ලම් බැස්සේය. පෙරළුණු මුට්ටියෙන් ලියැදි පුරා තෙලිජ්ජ හැලී ගියා සේම , භයානක අපරාදයක බලගතු සාක්කිය සොයාගැනීමේ ප්‍රීතියද රාළහාමිලා වෙතින් හැලී ඉවතට ගලා ගියේය. අන්තිමේදී බිඳුණු මුට්ටියේ පිළිබිඹුව සහිත මුහුණින් ආපසු හැරී යද්දී එකෙක් අනිකාට කිව්වේ ‘ මේ ගෑනි තමය් දවසකටවත් ගෑනි ‘ කියලාය.
තිලකසිරි ඒකනායක
තිලකසිත බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
https://thilakasitha.blogspot.com
මැලාර්ඩ් මහත්මිය හෘද රෝගයෙන් පෙලුණු කෙනෙක් බැවින් ඇගේ සැමියාගේ මරණය පිළිබඳ ප්‍රවෘත්තිය හැකි තරම් සීරුවෙන් ඇයට සැල කරන්නට මහන්සි ගැනිණි.
ඇගේ සොයුරිය වන ජෝසෆීන් මේ ප්‍රවෘත්තිය ඇයට කීවේ ව්‍යංගාර්ථයෙන් යුතු වූ අසම්පූර්ණ වාක්‍ය වලිනි. මැලාර්ඩ් මහත්මියගේ සැමියාගේ මිතුරකු වන රිචර්ඩ් ද ඈ අසල විය. මිය ගිය අයගේ නම් ලයිස්තුවේ ඉහළින්ම බ්‍රෙන්ට්ලි මැලාර්ඩ්ගේ නම සහිතව දුම්රිය අනතුර පිළිබඳ පුවත පුවත්පත් කන්තෝරුවට එද්දී, එහි සිටියේ ඔහු යි. තවත් විදුලි පුවතක් යවා මේ ආරංචිය සැක හැර දැනගත් රිචර්ඩ්, වෙනත් අසංවේදී මිතුරෙකු මේ ශෝකජනක පුවත ඇයට සැල කරන්නට පෙර වහා වහා එහි පැමිණියේය.
මෙවැනි පුවතක් අසන වෙනත් ගැහැනුන් මෙන් ඈ එය ඇසූ සැණින් විශ්වාස කරන්නට අපහසු ව, ගල් ගැසී සිටියේ නැත. ආරංචිය කන වැකුණු සැණින් ඇය තම සොයුරිය වැළඳගෙන වියරු ලෙස හඬා වැටුණා ය. ශෝකයේ කුණාටුව පහව ගිය පසු තනිවම තම කුටිය වෙත ගිය ඇය, කිසිවෙකුට තමන් සමඟ පැමිණෙන්නට ඉඩ දුන්නේ නැත.
කාමරයේ විවර කවුළුව ළඟ, සැප පහසු සනීප පුටුවට ඈ වාරු වූයේ ගත පෙළා ආත්මය වෙතම කාන්දු වූ අධික වෙහෙසිනි. නිවස ඉදිරිපස චතුරශ්‍රයේ ඇති තුරු වල මුදුන්, වසන්තයේ අලුත්ම ජීවයෙන් පිරී වෙව්ලමින් පසුවනු පෙනුණි. වර්ෂාවේ සුන්දර හුස්ම හාත්පස දැනුණි. දුර ඈත කිසිවෙකු විසින් ගයමින් සිටි ගීයක පද කීපයක් ඇයට යන්තමින් ඇසුණි. අගුවේ බාල්ක අතරේ ගිණිය නොහැකි තරම් ගේ කුරුල්ලෝ කිචි බිචි ගාමින් පසු වූහ. කවුළුවෙන් එපිට බටහිර දෙස අහස වළාකුලින් පිරී තිබුණත් ඒ අතර තැන තැන නිල් අහස පෙනුණි.
මැලාර්ඩ් මහත්මිය පුටුවේ කොට්ටය මත හිස රඳවා නිසොල්මන් ව සිටියා ය. ඉඳහිට උගුරෙන් නැඟුණු ඉකියකින් ඇගේ සිරුර වෙව්ලනු පෙනුණි. ඇගෙන් දිස් වූයේ නින්ද යනතුරු හඬමින් සිටි දරුවෙකු සිහිනයෙනුත් ඉකි ගසන දසුනකි. තරුණ වියේ පසු වූ ඈට තිබුණේ පැහැපත් සන්සුන් මුහුණකි. ඉන් හැඟීම් යටපත් කරගත් බවක් මෙන්ම ශක්තිමත් බවක් ද දිස් විය. නමුත් දැන් නම් ඒ දෑසේ වූයේ මලානික බැල්මකි. ඈත අහසේ වලාකුළු අතර නිල් පදාස වෙත යොමු ව තිබුණු ඒ දෑසේ තිබුණේ ආවර්ජනයට බර බැල්මක් නොව ප්‍රඥාවත් කල්පනාවක ලකුණු ය.
ඈ වෙත යමක් පැමිණෙමින් තිබුණු බව ඇයට දැනුණු අතර ඈ බියෙන් යුතුව ඒ ගැන අපේක්ෂාවෙන් සිටියා ය. ඒ කුමක්ද? ඒ කුමක්දැයි ඈ නොදැන සිටි අතර එය හඳුනාගැනීමට හෝ නමක් දීමට ඇයට හැකියාවක් තිබුණේ නැත. නමුත් අහසින් නික්ම හාත්පස ශබ්ද, සුවඳ සහ පාට හරහා තමන් වෙත එය ළඟා වනු ඇයට දැනුණි.
ඇගේ ළැම වේගයෙන් උස් පහත් විය. ඈ වෙතට පැමිණෙමින් තිබුණු දේ ඈ යන්තමින් හඳුනාගනිමින් සිටියය. ඒ ආවේගය හා සටන් කරන්නට ඇයට අවශ්‍ය වුවත් ඇගේ සිහින් සුදුමැලි දෑත ඊට ශක්තිමත් නොවනු ඇත. ඒ බලවේගයට මඳක් නතු වෙද්දී ඇගේ යන්තමින් විවර ව තිබුණු දෙතොල් අතරින් එකම වචනයක් ගිලිහිණි. ඈ එය නැවත නැවත මිමිණුවා ය: “නිදහස්, නිදහස්!” ඇගේ දෑසේ වූ හිස් බැල්මත් බියගුළු බවත් අතුරුදන් විය. ඒ දෑස උද්යෝගයෙන් දිලිසුණි. ඇගේ නාඩි වේගවත් වූ අතර සිරුර පුරා වේගයෙන් ගැලූ රුධිරයෙන් මුළු සිරුරම උණුසම් වී සන්සුන් විය. තම සිතේ මේ පිරී ඇත්තේ මහත් ප්‍රීතියක්දැයි සිතන්නට ඈ තාවර නොවූවාය. ඒ මොහොතේ තියුණු ව තිබුණු ඇගේ සංජානනය, ඇයට මේ දැනෙමින් තිබුණු දේ නිර්වචනය කිරීම වැදගත් ලෙස සැලකුවේ නැත.
මරණයේදී ඒ කාරුණික, සිලිටු දෑත එකට බැඳී තිබෙනු දකිද්දීත්, තමා දෙස ආදරයෙන් හැර වෙනත් කිසිම ආකාරයකින් නොබැලූ මුව අළු පැහැතිව නිසොල්මන් ව දකිද්දීත් තමන් නැවතත් වැළපෙනු ඇති බව ඈ දැන සිටියා ය. නමුත් ඒ අඳුරු මොහොතට ඔබ්බෙන් ඇති වසර ගණනාවක කාලය තමන්ටම පමණක් අයිති වන අයුරු ඈ දුටුවාය. ඒ කාලය ආදරයෙන් පිළිගැනීමට ඈ දෑත විවර කළා ය. මින් ඉදිරියට තමන් තව කෙනෙකු උදෙසා ජීවත් වීමට අවශ්‍ය නැති වුවත් තමන්ට තමන් වෙනුවෙන් ජීවත් විය හැකි බව ඈ මෙනෙහි කළා ය. තම ජීවිතය තුළ තමන්ගේ කැමැත්ත අන්ධ ව පාගා දමන ප්‍රබල බලාධිකාරයක් යළිත් නොමැති වනු ඇත. මිනිසුන් සහ ගැහැනුන් විවාහය තුළදී තමන්ගේ කැමැත්ත අනුන් වෙත පැටවීම කරුණාවෙන් සිදු කළත්, කෘර ලෙස සිදු කළත් ඒ අවස්ථා දෙකම අපරාධයක් බව එක් කුඩා මොහොතකදී ඇයට වැටහිණි.
නමුත් – සමහර වෙලාවල් වලට පමණක්- ඈ ඔහුට ප්‍රේම කළා ය. එහෙත් බොහෝ වෙලාවට එතැන ප්‍රේමයක් තිබුණේ නැත. දැන් මේ කිසිවකින් වැඩක් වේ ද? මේ මොහොතේ ඇයට ඉබේම මෙන්ම ප්‍රබල ව දැනෙමින් තිබුණු ස්ථිර ආත්ම විශ්වාසය හමුවේ ප්‍රේමය නම් ලිහනු නොහැකි අභිරහස ගැන කල්පනා කර වැඩක් වේ ද?
“නිදහස්! සිරුරත් ආත්මයත් නිදහස්!”
ජෝසෆීන් වැසූ දොරෙහි අනෙත් පස දණ ගසාගෙන තම දෙතොල යතුරු හිලට තබාගෙන තමන්ට ඇතුලට එන්නට ඉඩදෙන මෙන් ඉල්ලමින් බැගෑපත් වෙමින් සිටියාය. “ලුවීස්, අනේ දොර අරින්නකෝ! ඔයා දැන් අසනීප වෙනවා ඔහොම ඉඳලා, ඔයා මොකද කරන්නේ ලුවීස්? දෙයියන්ගේ නාමෙට දොර අරින්න!”
“ඔතැනින් යන්න, මම අසනීප වෙන්නේ නැහැ.”
ඈ ඒ විවර කවුළුව අද්දර සිට ජීවිතයේ අමෘතය පානය කරමින් සිටියා ය. තමන් ඉදිරියේ ඇති දවස් ගැන සිතමින් ඈ රසවත් සිතුවිලි මවමින් සිටියා ය. තමන්ටම පමණක් සතු වන අනාගත වසන්ත දවස්, ගිම්හාන දවස්, විවිධ වර්ගයේ දවස්! ජීවිතය බොහෝ දිගු වේවා යැයි ඈ ඉක්මන් යාඥාවක් මිමිණුවාය. ජීවිතය දිගු වැඩි වනු ඇතැයි ඈ අකමැත්තෙන් සිතා තිබුණේ මීට පෙර දවසේ ය.
ටික වෙලාවකට පසු ඈ තම සොයුරියගේ ඉල්ලීමට කන් දී දොර විවර කළා ය. ඇගේ දෑසේ තිබුණේ දිනුමක් ලැබූ කෙනෙකුගේ අමුතු ආකාරයේ වියරු පෙනුමකි. නොසිතාම ඈ ඇවිද ගියේ විජයග්‍රහණයේ දෙවඟන මෙනි. මැලාර්ඩ් මහත්මිය තම සොයුරියගේ බඳ වටා අත යවා ඈ සමඟම පඩිපෙළ බැස පහත මාලයට ගියා ය. ඔවුන් එනතුරු රිචර්ඩ්ස් පහත මාලයේ බලා සිටියේ ය.
එවිටම කවුරුන් හෝ පිටත සිට නිවසේ ප්‍රධාන දොරටුව යතුරකින් විවර කරමින් සිටියේ ය. ඉනික්බිති නිවසට ඇතුළු වූයේ බ්‍රෙන්ට්ලි මැලාර්ඩ්ය. දීර්ඝ ගමනකින් පසු මඳක් වෙහෙස බවක් පෙන්වූ ඔහුගේ අතේ ගමන් මල්ලත් කුඩයත් විය. දුම්රිය අනතුර වූ තැනින් බොහෝ දුරක හිඳ තිබූ ඔහු එවැනි අනතුරක් ගැන දැනගෙන වත් සිටියේ නැත. ජෝසෆින් ගේ විලාපය ඇසෙද්දී, තමන්ව තම බිරිඳ ගෙන් මුවා කිරීමට රිචර්ඩ්ස් දරන උත්සාහය දැක පුදුමයට පත්වී ඔහු දොරකඩට වී සිටිවනම බලා සිටියේය.
නමුත් රිචර්ඩ්ස් ප්‍රමාද වැඩි වී තිබිණි.
දොස්තරවරු පැවසුවේ ඇගේ මරණය සිදු ව තිබුණේ හදිසි සතුට නිසා වූ හෘදයාබාධයකින් බවයි.
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
‘The Story of an Hour’ by Kate Chopin (1894)
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
http://hotchocolatedays.blogspot.com/