සිංහල බ්ලොග් කවි මුතු

සැඟව ගිය දින

ලියන්නට

සිතෙහි වී

මැකී ගිය

කවිය සේ …..

මතකයක

මතකයක් 

පමණි එය 

නෑ සිතේ ….

සඳ සොඳුරු

බව දුටිමි

සැඟව ගිය 

පසු නුබේ …..

මිහිරි නද

ඇසෙනු ඇත

බිඳුනු 

වීනා තතේ ….

තට්ටයාගේ කොලම 

https://thattayagekolama.blogspot.com

කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම යෑමත්…

සොඳුරු මතකේ මැරී ඉපදී අතීතෙක සුව මවා               පෑවත් 

සිඳුරු වූ හිත රිදෙනවාමයි දෙනෙත් අතරට කඳුළු          නාවත්

අඳුරු අහසද වැලපි වැලපී වියෝ ගීයක අරුත               කීවත්

   කිඳුරු පෙම්වත යළිත් එනතුරු උරුම නෑ මේ ගතට        මාවත්…

‍රුදුරු වෙස් ගෙන සළෙල බඹරුන් සැරිසැරූවද වෙවී        හාමත්

ගොදුරු නොවුණෙමි බැල්ම අභියස සුවඳ පිවිතුරු මලකි   තාමත්

නුදුරු සසරේ යළිත් හමුවෙමු එතෙක් සෙනෙහස රැඳෙයි කෝමත්

   කිඳුරු පෙම්වත ඔබේ නාමෙන් සැපකි මෙලොවින් නික්ම    යෑමත්…

දුමින්ද අබේසේකර 

https://dumindasanchare.blogspot.com

කරදරකාර සුළඟ

අනේ පලයන් යන්න සුළඟ!

ඇහුවෙත් නෑ මම උඹෙන් වගතුග,

නලව නලවා අතන පොඩි සීනුව

දුකෙන් වග ඈ , මට කියන්නේ කුමට?

ජර්බරාස් මල් ; මම අදත් දුටුව

මොකට ගෙනියන්නේද උඹ ඒ සුවඳ?

නිකන් හිටපන් විකාර නොකර!

ඈ උනත් කැමති ඇති දැන් – මේ නුහුර

 වැඩක් නම් තියෙනවා මිතුර

උඹ කරනවා නම් ඉතින් නියම!

වෙලාවක පුළුවන් උනොතින් එහෙම

ඈ යවන සරුංගල

ගෙනත් දෙනවද හොරකම්කර??

මන්ජි

https://kadadasikole.blogspot.com

කඩා හැලෙනා තරු

අදුනන මුහුණු 

නාදුනන ලෙස මුණගැහෙයි

සිහින් මන්දස්මිතයක් පාව එයි.,

අසයි සහන් ස්වරයෙන්

කොහොමද ඉතිං

වෙනස් වෙලා දැං

මොකද කරන්නෙ

දුවෙක් ඉන්නවය ආරංචියි.,

පිළිතුරක් නොවිමසන

පිළිතුරක් නොම කියන

ඒ පැන වලට උත්තරත්

සිනහවක් විතරමයි…

ඉතින් නුඹ හොඳින් නේදැයි අසන්නට

නුඹ දොඩන වදනතර සිරවෙන්නට

⁣උමතුවෙන් වියරුවෙන් තැත්දරන හදවතට

කියා දෙමි සන්සුන්ව අත තබා පපුතුරට

මඟ හැරුණු තරු වලට හිනා වෙනවා මිසක

කඩාවැ⁣ටෙනා තරුවලට පපුව පෙන්නීම සුදුසු නැත…

මහේෂ් රත්නායක 

https://awanhala.blogspot.com

නොනවතින

රෑ මැදියමට පැය තුනයි 

ඉර තාමත් උඩ වැඩ 

දහඩිය පෙඟුණු පුටුවක 

කැරකෙමි එක තැනක අපි වැඩ

විටෙක දුරබනුව නද දෙයි 

ඒ තව ‘ටාස්කයක්’ එන හඬ

ලිස්ට් එක නම් එහෙමමයි 

ඕටී නැතිවමත් අපි වැඩ 

මීටිම් කැලැන්ඩර් පුරවයි

හොය හොයා ඉඩකඩ 

ලන්ච් ප්ලෑනින් කැචප් දැම්මයි 

කන්නත් වෙලාවක් නැති හැඩ

ඇස් කෙවෙණි තදට කකියයි

මොනිටරේ දිස්නයට තද

ජනේලෙන් එළිය ‌බැලිමි මඳකට  

හිටියා කුරුල්ලෙක් පොඩි හරි හැඩ

නාඩියා නාඩිරත්න

https://naadiyaonline.blogspot.com

SHHHHHHHHHH…..

තොරතුරු දැනගැනීමෙ පනත – ඒක

අහෝසි කරලද

හදිස්සි නීතිය –  එතකොට

ඒක බලාත්මකද දැන්

ඒ උනාට ,

ද්වීපාර්ශික ගනුදෙනුවකදි

ඒකාධිපති තීරණ

කැතයි නේද…

මං දැන් පිපිරෙන්න ඔන්න මෙන්න

මං ගැනම දුකින්

මං ගැනම ආත්මානුකම්පාවෙන්

ඔයාට බැරිද මට වෙඩි තියන්න

පපුවටම – ඔව් පපුවටම…

නිහඬවීම  කියන්නෙ ඉවසීමට නම්

ඉවසීම කියන්නෙ දරාගැනීමට නම්

ඔව් ඔයා දිනුම්…!

ඒත්

මඟහැරීම කියන්නෙ අත්හැරීමට නම්

අත්හැරීම කියන්නෙ අවසානයට නම්

නොකියාම යන්නෙපා හොදේ …!

සොඳුරු සඳවතී 

https://kavisandalla.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *