අයහපත් කාලගුණයෙන් විපත් රැසක්.

කුණාටු හා ගංවතුර ඇතුලු පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 21 ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 166 කට සිදුවූ බලපෑමෙන් පවුල් 98,635ක පුද්ගලයන් ලක්ෂ හතර ඉක්මවා  අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා පැවසීය.

තවද නිවාස 82ක් පූර්ණ හානි වී ඇති බවත් නිවාස 1,465ක් අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවත් වාර්තා විය.ආරක්ෂක ස්ථාන 267ක පවුල් 8,358කට අයත් පුද්ගලයින් 26,625ක් රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙසේ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම වාර්තා වූ මරණ වලින් 8ක් වාර්තා වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. තුවාල ලැබූ ගණන 17ක් වන අතර දෙදෙනෙක් අතුරුදන් ය.

පැවති අධික වැසි තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශ 73න් 37ක් විට වාන් දැමූ අතර  ගංගා ද්‍රෝණි 12ක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කෙරිණි.

මල්වතු ඔය, කලා ඔය, කනගරායන් ආරු, පරංගි ආරු, මා ඔය, යාන් ඔය, මහවැලි ගඟ, මාදුරු ඔය, මුන්දෙනආරු, ගල්ඔය, හැඩ ඔය, විල ඔය යන ගංගා ද්‍රෝණි ප්‍රදේශ සඳහා එම අනතුරු ඇඟවීම් කර තිබිණි.අධික වැසි තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් සමස්ත ජලාශයන්හි ජල මට්ටම සියයට 67 ඉක්මවා තිබූ බවද වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් විය.

කැලණි ගඟේ  ඡල මට්ටම ඉහල යාමත් සමග සීතාවක, ‍දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, අවිස්සාවේල්ල ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සුළු ගංවතුර එම ගංවතුර ඇති විය.බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින පීඩන තත්ත්වය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර සුළි කුණාටුවක් දක්වා තවදුරට ත් වර්ධනය වී තමිල්නාඩුව දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  මීට පෙර අනාවැකි පලකර තිබිණි.එම කුණාටුව (නොවැ. 29) හා (නොවැ. 30) ඉන්දියාවේ තමිල්නාඩුවට ඇතුලුවු අතර එහි වක්‍ර බලපෑමෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය වැඩි වීමක් වාර්ථා විය.

මේ අතර, අධික වර්ෂාවෙන් රට පුරා කුඹුරු අක්කර 4,800ක් සහ එළවළු, පළතුරු වගාවන් රැසක් විනාශ වී ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පවසයි.වී ගොවීන් දෙදාහකට වැඩි පිරිසක් අසරණව සිටින අතර තවත් ගොවීන් 3,200ක් පීඩාවට පත්ව සිටින බව ත් කී නියෝජ්‍ය ඇමතිවරයා එම ගොවීන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ද කීය.

උඩරට හා පහතරට එළවළු වගාවන් බොහොමයක් වැසි ජලයෙන් යටවී ඇතැයි කී හෙතෙම රාබු, නෝකෝල් හා බීට්රූට් වගාවන් විනාශ වී ඇතැයි සඳහන් කළේය.එසේ ම, කෙසෙල් වගාවන්ට ද දැඩි හානි සිදුව තිබෙන බව ද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.මෙම සියලුම වගා හානි පිළිබඳව ගණනය කිරීමක් සිදුකර ගොවීන්ට සහනයක් ලබා දීමට පියවර ගන්නා බව ද කරුණාරත්න මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *