ඩොලර් මිලියන 333ක IMF තෙවැනි ණය වාරිකය දෙසැම්බරයේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇත.

වසර 2023 මාර්තු 20 වැනි දින IMF විසින් ඩොලර් බිලියන 03ක ණය පහසුකමක් අනුමත කරන ලැබූ බවත්, ඉන් වාරික 02ක් මේ වනවිට මෙරටට ලබා දී ඇති බව ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා කීය. පීටර් බෲවර් මහතා මේ බව කියා සිටියේ ඉකුත් 23 වැනිදා කොළඹ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. පීටර් බෲවර් මහතා සමඟ මේ මාධ්‍ය හමුවට එහි නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කට්සියරිනා ස්වර්යඩ්සෙන්කා මහත්මියද එක්ව සිටියාය. වසර හතරක විස්තීර්ණ ණය පහසුකම යටතේ වන තෙවන සමාලෝචනයේ දී ජා.මූ. අරමුදලෙහි කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹුණු බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු.

මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා ඉදිරි කාලසීමාව තුළ ජා.මූ. අරමුදලෙහි කළමනාකාරිත්වය සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත. විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254ක් (එ.ජ.ඩොලර් මිලි¬යන 333ක් පමණ) සඳහා ප්‍රවේශය ලැබෙනු ඇති අතර, ඒ අනුව මෙම පහසුකම යටතේ ජා.මූ.අරමුදල විසින් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දුන් සමස්ත අරමුදල් ප්‍රමාණය වි.ගැ.හි.මිලියන 1,016ක් (එ.ජ.ඩොලර් මිලියන 1,333ක් පමණ) වනු ඇත.

විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් පවතියි.

2024 ජූනි මාසයෙන් අවසන් වන කාර්තු හතර තුළ ආර්ථිකය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව සාමාන්‍යයක් ලෙස සියයට 4කින් වර්ධනය විය. ඉහළ සංඛ්‍යාත දර්ශක මඟින් ආර්ථිකයේ සියලු අංශයන්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි. තුන්වන කාර්තුව තුළ සාමාන්‍යයක් ලෙස මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය සියයට 0.8කට සහ සියයට 3.8කට සීමා වී පැවතුණි.

මහ බැංකුව විසින් සිදු කරන ලද සැලකිය යුතු ලෙස ඉහළ විදේශ විනිමය මිලදී ගැනීම් සමඟ 2024 ඔක්තෝබර් මාසය අවසානයේ දළ නිල සංචිත එ.ජ.ඩොලර් බිලියන 6.4ක් දක්වා වැඩි විය. සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *