
ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වඩාත්ම මිල අධික ක්‍රීඩකයා බවට පත්වූ රිෂාබ් පාන්ට් ( Rishabh Pant )ලක්නව් සුපර් ජැයන්ට්ස් පිල ඉන්දීය රුපියල් කෝටි 27කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 93කට) මිලට ගනියි. රුපියල් කෝටි දෙකක මූලික ලංසුවකින් ආරම්භ වූ පාන්ට්ගේ වෙන්දේසි ක්‍රියාවලියට සන්රයිස් හයිද්‍රාබාද් හා ලක්නව් සුපර් ජැයන්ට්ස් දැඩි ලංසු තැබීමේ යුද්ධයකට පිවිසි අතර, සන්රයිස් හයිද්‍රාබාද් කෝටි 20.75ක් ලෙස මිල කියවද්දී ලක්නව් සුපර් ජැයන්ට්ස් අවසන් මිල ප්‍රකාශ කළේය.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග 111කදී ලකුණු 3284ක් ලබා ඇති රිෂාබ් පාන්ට් ශතකයක් හා අර්ධ ශතක 18ක් සමඟ 35. 31ක සාමාන්‍යයක් රඳවා සිටී. සවුදි අරාබියේ ජෙඩාහි ඊයේ පැවති අයිපීඑල් මෙගා වෙන්දේසියේ ලංසු තැබීමේ ක්‍රියාවලියේදී වඩාත් ආකර්ෂණීය ක්‍රීඩකයා බවට රිෂාබ් පාන්ට් පත් වූවේය.
අයිපීඑල් වෙන්දේසියේදී දෙවැනි වටිනාකම හිමි වූ ශ්‍රේයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 26.75කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 92කට) පන්ජාබ් කිංග්ස් මිල දී ගත්තේය. එය පසුගිය වසරේ කොල්කටා නයිට් රයිඩර්ස් රුපියල් කෝටි 24.75කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 85.28කට) අලෙවි වූ මිචෙල් ස්ටාක්ගේ වාර්තාව අබිබවා යෑමකි. අයියර් ආරම්භ කළේ රුපියල් කෝටි දෙකක මූලික ලංසුවකින් වූ අතර, දිල්ලි කැපිටල්ස් ඔහු වෙනුවෙන් රුපියල් කෝටි 26කට ඉල්ලා තිබියදී, පන්ජාබ් කිංග්ස් අවසන් මිල තීරණය කළේය.
අයියර් පසුගිය රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔඩිෂා ප්‍රාන්තයට එරෙහිව ලකුණු 233ත් ලබා තම ක්‍රිකට් දිවියේ හොඳම ලකුණු ගණන වාර්තා කළ අතර, රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග හතරකදී ශතක 3ක් ලබා දස්කම් දැක්වීය. ඔහුගේ අයිපීඑල් වාර්තා අතර තරග 115කදී ලකුණු 3127ක් ඇතුළත් වන අතර එය 127.48ක පහර අනුපාතයකින් යුක්ත වේ.
වමතින් පිත්ත හසුරුවන අර්ෂ්දීප් සිංගේ ස්ථාවරත්වය හේතුවෙන් ඔහුට රුපියල් කෝටි 18ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 62කට) පන්ජාබ් කිංග්ස් තීරණය කළ අතර, ජොස් බට්ලර් ඉන්දීය රුපියල් කෝටි 15.75කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 54කට) ගුජරාට් ටයිටන්ස් මිලට ගත්තේය. දිල්ලි කැපිටල්ස් පිල ඉන්දීය පිතිකරු කේ.එල්. රාහුල් ඉන්දීය රුපියල් කෝටි 14කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 48කට) මිල දී ගත්තේය.
ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන මිචෙල් ස්ටාක් ඉන්දීය රුපියල් කෝටි 11.75කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 41කට) දිල්ලි කැපිටල්ස් හා දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා ඉන්දීය රුපියල් කෝටි 10.75කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 41කට) ගුජරාට් ටයිටන්ස් විසින් මිල දී ගන්නා ලදි.
ශ්‍රී ලාංකික දඟ පන්දු යවන වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ සමඟින් ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඔවුන්ගේ නම් කෙටි ලැයිස්තුගත කර ඉන්දීය රුපියල් කෝටි 2ක ඉහළම අගයට ඇතුළත් කොට තිබිණි.එම ලැයිස්තුවට අනුව මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් 07 දෙනෙකුට IPLවරම් හිමිවිය. නුවන් තුෂාරව රෝයල් චැලෙන්ජ්රස් බැංග්ලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.60කට(ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.5කට පමණ) මිලදී ගෙන තිබේ.පසුගිය 2024 IPL තරගාවලියේදී ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදි ගන්නා ලදී.
මේ අතර අයිපීඑල් ක්‍රිකට් ඉතිහාසයේ වයසින් අඩුම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූ වෛබාව් සූර්යවංශී ඉන්දීය රුපියල් ලක්ෂ 30ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.4ක) මුදලකට අයිපීඑල් වෙන්දේසියේදී මූලික ලංසුවකට යටත් කොට තිබේ.