නිදහසට අත තියන්නේ නෑ-හැබැයි බොරු බෑ – ජනපති මාධ්‍ය ප්‍රධානීන්ට කියයි

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක් ලබාදීමේ කාර්යයේදී ජනමාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, පසුගිය (05) වැනිදා ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදීය.

ජනතාව යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන බවත්, ඒ වෙනුවෙන් ඔවුන් වත්මන් ආණ්ඩුව පත්කර ගත් බවත් මෙහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ජනතාව අපේක්ෂා කරන එම නව දේශපාලන, සමාජ සහ ආර්ථික වෙනස රට තුළ ඇති කිරිමට එක් වන ලෙස සියලු ජනමාධ්‍ය ආයතනවලට ආරාධනා කර තිබේ.

දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට ජනමාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික සමගියට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත.

රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට මුහුණදුන් බව සිහිපත් කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බවත්, ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බවත් සඳහන් කර තිබේ.

රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳ රජයේ ස්ථාවරය මෙහිදී පැහැදිළි කර ඇති ජනාධිපතිවරයා, අද වන විට ප්‍රධාන ගැටලුවක්ව පවතින දුප්පත්කම තුරන්කිරීම සඳහා රජය ගෙන යන වැඩසටහන මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් ද ජනමාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය නියෝජනය කරන සාමාජිකයන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සමූහ අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *