අශෝක රංවල කථානායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

කථානායක අශෝක රංවල මහතා මහතා පසුගිය 13 වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.ඔහු ලිපියක් මගින් දන්වා තිබුණේ පසුගිය දින කිහිපය තුළ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ ඇති නමුත් තමන් කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර නැති බවයි.

එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය ඇතැම් ලියකියවිලි තමන් සතුව නොමැති බැවින් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇතැයි ද ඔහු එම ලිපියේ දක්වා තිබේ.ෙනමුත් එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීමට අපහසු බවත් ඔහු සිය ලිපිය මගින් පවසයි.

තමා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර එම ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවත් ඔහු එමගින් දන්වා තිබේ.කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට නොහැකි බවත් ජනතාව ආණ්ඩුව වෙත තබා ඇති විශ්වාසයෙන් ජනතාව අපහසුතාවට පත් කළ නොහැකි බැවිනුත් තමා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් අශෝක රංවල මහතා සිය ලිපිය මගින් දන්වා තිබේ.

මේ අතර ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ තබන්නේ නැති බවත්, සිය ආණ්ඩුවේ කුමන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ පසුගිය(13) වැනිදා උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේදීය.එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“දශක හතකට වැඩි කාලයක් තිස්සේ මේ රටේ ජනතාව විවිධ ආණ්ඩු බිහි කළා. විවිධ ආණ්ඩු පෙරළුවා. ඉතිහාසයේ පළමු වෙනි වතාවට මෙවර මේ රටේ ජනතාව අවස්ථා දෙකකදී අපට සහ ජාතික ජන බලවේගයට ලබා දුන් ඓතිහාසික ජන වරමේ අර්ථය සහ හරය කුමක්ද කියන එක සම්බන්ධව අපට පුළුල් කියවීමක් තියෙනවා.ප්‍රමිතිගත සහ ස්ථාවර රටක් නිර්මාණය කරනු ඇතැයි යන විශ්වාසය ඇතිව මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බිහි කළා. ඒ සුවිශේෂී විශ්වාසයට අබමල් රේණුවකින් හෝ හානියක් වන්නට අපේ ආණ්ඩුව කිසි විටෙකත් ඉඩක් තබන්නේ නැහැ.

ඉතාම කෙටියෙන් කිවහොත්, රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවානම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතු නිවැරදිම මොහොතේ ගැනීමට අප දෙවරක් කල්පනා කරන්නේ නැහැ.”.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ඇතුළු රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

මේ අතර කථානායක අශෝක රන්වලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට  සමගි ඡන බලවේගය කටයුතු කර තිබුණා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබීම පසුගිය 13 වැනිදා ආරම්භ කලා.එවැනි පසුබිමකයි අශෝක රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස් වුණේ.

කථානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ආන්දෝලනය මධ්‍යයේ, ආණ්ඩුවේ තවත් දේශපාලකයන් කිහිපදෙනකුටද අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ චෝදනා එල්ලවී තිබේ.මෙම තත්වය හමුවේ සිය අධ්‍යාපන සුදුසුකම් රටට හෙළිකිරීමට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි පියවර ගෙන ඇත.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය කථානායකවරයා පවසා ඇත්තේ, තමා පාකිස්ථානයේ මුල්තාන් හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධියක් ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇති බවයි.

පහතින් දැක්වෙන්නේ ඔහු තබා ඇති සටහනයි.

“නායකත්වය පිළිබඳ විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරමි. එම පසුබිම තුළ, මගේ වෘත්තීය සුදුසුකම් විවෘතව බෙදාගැනීමට මම කැමැත්තෙමි.මම 1986 දී සම්පූර්ණ කරන ලද පාකිස්ථානයේ මුල්තාන් හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධියක් ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත්තෙමි.

මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකු වන අතර වසර 38ක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටිමි.මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ රජයේ සේවයෙන් වන අතර, මම පළාත්වල සහ කොළඹ විවිධ රෝහල්වල සේවය කළෙමි. වසර 12ක රාජ්‍ය සේවයෙන් පසු, මම සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර වෙත සංක්‍රමණය වී පුළුල් ධාරිතාවකින් ප්‍රජාවට දිගටම සේවය කළෙමි.මගේ සුදුසුකම් බෙදාගැනීමෙන් මා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගේ විශ්වාසය යළි තහවුරු කිරීම මගේ අරමුණයි.”

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් යෙදීම තාක්ෂණික දෝෂයක් බව පාර්ලිමේන්තුව කරුණු පැහැදිලි කරමින් සඳහන් කර ඇත.අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් යොදා, පසුව එය ඉවත්කළ බවට ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවූ අතර, එම තත්වය ආන්දෝලනයකට තුඩුදී ඇත.මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන පාර්ලිමේන්තුව පවසන්නේ, අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ජීව දත්තවල ‘ආචාර්ය’ යන්න ඇතුළත් කර නොතිබූ අතර, දැන් ගැටළුව නිවැරදි කර ඇති බවයි.මේ හා සමාන දෝෂ වැළැක්වීම සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු සමාලෝචනය කරන බව ද පාර්ලිමේන්තුව නිවේදනය කරයි

මේ අතර ජාතික ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පිහිටුවීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පිළිබඳව වාර්තා වේ.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ජීවන් තොණ්ඩමන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *